Image

රනිල් කොලම - එජාප ය මෙවර මැයි දිනය සමරන්නේ නැති හේතුව රනිල් පහදයි

රනිල් කොලම - එජාප ය මෙවර මැයි දිනය සමරන්නේ නැති හේතුව රනිල් පහදයි

සැත්කමින් පසුව තවමත් වෛද්‍ය උපදෙස් මත නිවසේ රැඳී සිටින රනිල්ට පසුගිය සතිය කාර්යබහුල එකක් වූයේ ඔහු ගේ නඩුව බදාදා විභාගයට ගැනුණු හෙයිනි.

එම නිසා නීතිඥවරුන් සම. වට  කීපයක්ම හමුවීම් සිදුවිය. කෙසේ වුවද රනිල් දේශපාලන උපදෙස් ලබා දීමේ වැඩ කටයුතුවල ද නිරත විය.

සජබ ආරාධනයේ හිස් තැනක්

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්., වජිර, තලතා, සාගල කැඳවා උපදෙස් දීමට අමතරව දුරකතනයෙන් විටින් විට රුවන්, හරීන් සම්බන්ධ කරගෙන දේශපාලන කටයුතු පිළිබඳ උපදෙස් ලබාදීමට කටයුතු කළේ ය. මොවුන් ගේ හමුවල දී විශේෂයෙන් රටේ තත්ත්වය පිළිබඳවත් අවධානය යොමු විය. ප්‍රධාන වශයෙන් අවධානයට ලක් වූ කරුණක් වූයේ සමගි ජන බලවේගය මැයි දිනයට කළ ආරාධනය යි. එහි දී සජබ වෙනුවෙන් එහි මහලේකම්වරයා ආරාධනා කර තිබුණේ පක්ෂ සාමාජිකත්වයට පමණි. එහි කිසි තැනක පක්ෂයේ නායකයකුට හෝ නියෝජිතයකුට කළ ආරාධනයක් සඳහන්ව නොතිබිණි. එම ආරාධනය ලැබෙන විටත් එක්සත් ජාතික පක්ෂය මැයි දිනයේ දී පමණක් නොව ඊට පෙර දිනයේ දී කළ යුතු වැඩසටහන් සංවිධානය කර අවසන්ව තිබිණි. ඒ සියල්ලක් ම ආගමික වැඩසටහන විය. පක්ෂය එවැනි පියවරක් ගත්තේ ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ දී රණසිංහ ප්‍රේමදාස අගමැති  ලෙස කළ යෝජනාවකට අනුව ය. මැයි පළවෙනිදා පොහොය දිනයක් යෙදුනොත් දේශපාලන කටයුතු නොකළ යුතු බව එම යෝජනාවයි. එම ස්ථාවරයට අනුව යමින් පක්ෂය මෙම තීරණය ගෙන තිබිණි. මේ අනුව 30 වෙනිදා රාත්‍රියේ සිට ම පිරිත් දේශනා ආදී පින්කම් ද පෝදා දවස පුරා ආගමික වැඩසටහන් සංවිධානය කෙරිණි. ඒ අනුව මද්දුම බණ්ඩාරගේ ලිපියට පිළිතුරු යවන්නට තලතාට පැවරිණි.wajira

සජබයට පාරා වළල්ලක්

ආණ්ඩුවේ සිටියත් විපක්ෂයේ සිටියත් පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් නොකළ යුතු බවත්, ඒ නිසා එදා ප්‍රේමදාස අකමැතිවරයා ගේ යෝජනාව අනුව ගත් ප්‍රතිපත්තිය අනුගමනය කරමින් මැයි දින රැලි කිසිවකට සහභාගී නොවන බව ඒ ලිපියෙන් අවධාරණය කෙරිණි. මේ දැනුම් දීම කළේ සජබට පමණක් නොවේ. එජාප නියෝජිතයන්ට ආරාධනා කර ලියුම් එවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂවලට ද තම පක්ෂ  ස්ථාවරය මෙලෙස සඳහන් කර ලිපි යැවීමට කටයුතු කෙරිණි. සමගි ජන බලවේගය එජාප පාක්ෂිකයන්ට ආරාධනා කර තිබුණ ද එහි එජාපයට ඇති කාර්යභාරය කුමක් ද? ආදී කිසිවක් සඳහන් නොවීය. එමෙන් ම පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් එහි යැවීමට නොහැකි තවත් හේතුවක් වන්නේ ඔවුන්ට ද ආරාධනයක් නොමැති බැවිනි. එහි තිබු‌ණේ එජාප සාමාජිකයන්ට ආරාධනා කරන බවයි. ඒ අනුව පිළිතුරු ලිපිය සකස් කර යැවූ පසු එය සජබ අභ්‍යන්තරයේ ද ප්‍රශ්නයක් නිර්මාණය කර ඇතැයි දැනගන්නට තිබේ. මන්ද එහි ඇතැම් පිරිසක් පවසා තිබුණේ මැයි දිනයක් පැවැත්විය යුතු නැති බවයි. තරුණ මන්ත්‍රී පිරිසක් කියා තිබුණේ මැයි දිනයක් පවත්වා එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට තල්ලු කළ යුතු බවයි. අවසානයේ සිදුවූයේ ඔවුන්ගේ තීරණය ඔවුන්ට ම පාරා වළල්ලක් වීමයි.

khlkljdd

පා ගමනේ අසුබ ලකුණ

රනිල් සහ එජාප නායකයන් හමුවූ අවස්ථාවේ සාම පා ගමන ගැන ද යම් කතාබහක් ඇති විය. "යූ.එන්.පී ආණ්ඩුව තිබුණා නම් අලියෙකුත් පෙරහරේ ගෙනියන්න තිබුණා'' යැයි නායකයෙක් කීවේ විහිළුවට වාගේ ය.

කෙසේ වුව ද පා ගමන අවසන් උත්සවයේ දී බුදු පිළිමය වත් ආරක්ෂා කර ගැනීමට නොහැකි විය. මේ වගේම සාම පා ගමන් ගියාට වෙසක් උත්සවයවත් හරි දිනයේ දී පවත්වා ගන්නට නොහැකි විය. එය සිදු වූයේ මැයි දිනය පැවැත්වීම සම්බන්ධව  එකඟතාවයකට පැමිණි බැවිනි.

ආණ්ඩුව හත්පොළෙහි ගා ගැනීම

ෂම්මි ක්‍රිකට් ලොකු පුටුවෙන් ඉවත් වීමත් සමඟ  විධායක සභාවම ඉවත් විය.පසුව ඉරාන් ඊට පත් කිරීමත් සමග සජබ ඇතුළෙ ඇතිවූයේ ලොකු දෙදරීමකි.

"ඒකාබද්ධ විපක්ෂයේ උදවියත් බලාගෙන ඉන්නේ ඒ තනතුරට ඉරාන් පත් කරන තුරු යැයි තමයි," යැයි නායකයින් සමඟ රනිල් කීය.

මේ කරුණු ගැන විපක්ෂයේ නායකයන් මතු කළ කරුණුවලට පිළිතුරු දෙමින් රනිල් කීවේ ෂම්මි ඉවත් කර ඉරාන් පත් කළ පසු අවසානයේ ඡන්දයක් තැබිය යුතු බවයි.

"ඡන්දයක් කිව්වොත් ඉරාන්ට ඉන් ජයග්‍රහණය කළ හැකිද?''

iran

අයි.සී. සී. පවසන්නේ ව්‍යවස්ථාව අනුව ඡන්දයක් පැවැත්විය යුතු බවයි. සියලු ක්ලබ්වල බලය ඇත්තේ ෂම්මිට බැවින් වෙනත් කෙනකුට ජයග්‍රහණය ගැන සිතිය නොහැකි බව ක්‍රිකට් ප්‍රවීණයින් ගේ මතයයි. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව ද අවුලෙන් අවුලට යනවා. මේක අනා ගැනීමක් නෙමෙයි නා ගැනීමක්. තමන්ගෙ දූෂණ විසඳා ගන්නේ නැතිව අනුන් ගේ දූෂණ හොයන්නට ගොස් දැන් හත්පොළේ ගාගෙන සිටී.

ඒකාබද්ධය රට වටේ

ආණ්ඩුවේ උදවිය සාම පා ගමන් අගය කරන අතර භාණ්ඩාගාරය මහ දවල් කොල්ලකෑ ලේකම් ගේ  ගෙදරට පා ගමන් ගිය සුගීෂ්වරට පහර දෙන පරස්පර ප්‍රතිපත්තියක නිරත වෙයි. මේ සඳහා පැලවත්තෙන් මැර කණ්ඩායම් ගෙනත් පහර දුන්නේ නැතිනම් ඔය කාරණා මිනිසුන්ට දින දෙක තුනක් යන විට අමතකය. මේ අනුව හොරකම්වලට අමතරව දැන් මැරවරකම්ද  එළියට එමින් තිබේ. එක පැත්තකින් පොහොට්ටුව සහ නාමල් ඉදිරියට පැමිණෙයි. අනිත් පැත්තෙන් ජී.එල්. ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කරමින් සිටී. විපක්ෂයේ පක්ෂ එකකටවත් තනිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නැත. එය සඳහා සියල්ලන් ම පොදු එකඟතාවයකට පැමිණිය යුතුව ඇත. ඒ වැඩ කටයුත්ත සඳහා ඒකාබද්ධ විපක්ෂය පක්ෂ එකතු කරමින් සිටී. කොළඹට අමතරව මාතර ද  ලොකු රැලියක් පැවැත්වීමට නියමිතය. ගම්පහ ඡාඇළ ද තවත් ලොකු රැස්වීමක් පැවැත්වෙයි.ඊට අමතරව දැන් ඒකාබද්ධය රට වටේ යෑම අරඹා ඇත.

සජබය කර බාගෙන හිඳීම

එක්සත් ජාතික පක්ෂය සමග වැඩ කිරීමට සජිත් එකඟ වුව ද නොයෙක් යෝජනා එන විට සජිත් පවසා ඇත්තේ ඒ සියල්ල නතර කර තමා මෙය මෙහෙයවීමට කටයුතු කරන බවයි.මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය කළේ කමිටුවක් දැමීමයි. අඩුම ගණනේ සජිත් ඒ කමිටුව සමගවත් කතා කළේ නැත. මෙයින් පැහැදිලි වන කාරණය වන්නේ එකතුව සඳහා සජිත් පැහැදිලි දායකත්වයක් දෙන්නේ නැති බවයි. සජිත් හිතන්නේ පක්ෂයේ එක්කෙනෙකුට දෙන්නෙකුට කතා කරන විට මුළු පක්ෂයම අල්ලා ගැනීමට හැකියාව ලැබෙනවා වගේ එකකි. එවැනි අඳබාල හැසිරීම් නිසා පක්ෂ දෙක අතර දැනට තිබෙන සහයෝගයත් නැතිව යන්නේ ය. ප්‍රගතිශීලී ජනතාවට ද දැන් ඔප්පු වෙමින් යන කාරණය වන්නේ සමගි ජන බලවේගය ආණ්ඩුව සමග සහයෝගයෙන් ගමන යන බවයි. භාණ්ඩාගාරයේ හොරකම ගැන පක්ෂ නායක රැස්වීමේදී දිනක විවාදයක් ඉල්ලූ විට ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළේය. ප්‍රධාන විපක්ෂය ලෙස සජබ කළ යුත්තේ ඒ විවාදය ඉල්ලා සටන් කිරීමයි. නමුත් සජබ කළේ නිකන්ම කරබාගෙන සිටීමයි.

ආණ්ඩුවේ කාලිංග මාඝ කොට්ඨාසය

ප්‍රධාන භික්‍ෂූන්ට එරෙහිවත් දැන් ආණ්ඩුව විසින් වැඩපිළිවෙළක් අරඹා තිබෙන බව ආරංචි යැයි විපක්ෂයේ නායකයෝ රනිල් හමුවේ කීහ. එහි පළමු පියවර ලෙස අටමස්ථානය අධිපති හිමියන් ගෙන් ප්‍රශ්න කර තිබෙන බව ආරංචි යැයි එම නායකයෝ රනිල්ට පැවැසූහ.

"මේ වැඩකටයුතුවලට සී.අයි.ඩී එකේ වෙනම අංශයක් හදන්න යනවා. ඒකට කාලිංග මාඝ කොට්ඨාසය කියල නම දාන්නත් ලෑස්තියි කියල ආරංචියි," යනුවෙන් විපක්ෂයේ නායකයෝ කිහිප දෙනෙක් ම රනිල්ට සැලකර සිටියහ.

කාලිංග මාඝ කොට්ඨාසය ආරම්භ කර සිදු කරන්න යන්නේ සියල්ල නැති කර ගැනීමේ ආරම්භයක් බව විපක්ෂයේ සියලු නායකයන්ගේ අදහස විය.

ජී.එල්. සමග සී.කේ.වී ශිවඥානම් සහ සුමන්තිරන් සාකච්ඡා

භාණ්ඩාගාර ලේකම්වරයා ගේ ගෙදර  වැටලීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට එන ලෙස තලංගම පොලිසිය සුගීෂ්වරට දැනුම් දී තිබිණි. ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා පැමිණිල්ල දමා තිබුණේ පොලිස් පොත අමාත්‍යංශයට ගෙන ගොස් බවත් ආරංචි යැයි රනිල්ට නායකයෝ දැනුම් දුන්හ.

අදාල සිද්ධියට සුගීශ්වර කට උත්තරයක් දීමට පැමිණි මොහොතේ ඔහුට දුරකතන ඇමතුමක් ගත් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සහ රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න ඒ ඇමතුම රනිල්ට දුන්හ. එවිට රනිල් මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඔහුට උපදෙස් ලබා දුන්නේ ය.

රනිල් ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුවට ගිය දිනයේ සිටම ඒකාබද්ධ විපක්ෂය බර කරට ගෙන ක්‍රියා කළේ මහාචාර්ය ජී.එල් ය. ඔහු පසුගිය සතියේ යාපන සංචාරයක නිරත විය. එය ලොකු ප්‍රතිචාරයක් ලැබුණු සංචාරයක් විය. එහි දී තම නිවසට එන්නැයි සුමන්තිරන්ගෙන් ජී.එල්. ට ආරාධනයක් ලැබිණි.එහි මූලික අරමුණක් වූයේ ඔහුගේ පක්ෂයේ නායකයින් හමුවීමයි. පක්ෂයේ සභාපති සී.කේ.වී ශිවඥානම්, පක්ෂ මහලේකම් සුමන්තිරන් ඇතුළු නායකයෝ ඊට සහභාගී වූහ. එම සාකච්ඡාවේ මූලික හරය වූයේ ප්‍රමාදයකින් තොරව පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීමයි. එය උතුරේ ජනතාව ඉතා ඕනෑකමින් කරන ඉල්ලීමක් විය. ඒ ඉල්ලීම ඉටු කර ගැනීම සඳහා උතුර සහ නැගෙනහිර සහ දකුණේ සියලුම පෙදෙස් එක්ව කටයුතු කිරීමට එහිදී තීරණය විය.

"පළාත් සභා වැඩකටයුතුවලට විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා.ඒ මුදල් වියදම් කරන්නේ කොහොමද කියලා අද තනි තීරණ ගන්නේ ආණ්ඩුකාරවරයා. ආණ්ඩුකාරයා කියන්නේ ජනාධිපති ගේ නියෝජිතයා. එතකොට එහි කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.''images 2

ජැෆ්නා මොනිටරින් කර්තෘ අරුනිලියම් මහලිංගම් මෙම සංචාරයේ දී ජී.එල්ට රාත්‍රී භෝජනයක් පිරිනැමී ය. යාපන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු, කථිකාචාර්යරු ඊට සහභාගී වූහ.දකුණේ සිවිල් සංවිධාන සමග සම්බන්ධ වීමට අවශ්‍ය බව ඔවුහු එහි දී පෙන්වා දුන්හ. උතුරේ සහ දකුණේ තරුණ පිරිස් යා කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඔවුන්ගේ මතය විය. මෙහි දී ජී.එල් දැනුම් දුන්නේ කොළඹ සිවිල්  සංවිධාන සමග ද සාකච්ඡා කර මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යන බවයි.

මේ යාපන සංචාරයේදී ජී.එල් තවත් විශේෂ හමුවකට සහභාගී විය.ඒ යාපන රදගුරු ආචාර්ය බර්නාඩ් ඤානප්‍රගාසම් හමුවයි.යාපන රදගුරු නිවසේ දී ඒ හමුව පැවැත්විණි. ජී.එල් ලියූ  ලංකාවේ සාම ක්‍රියාවලිය ග්‍රන්ථය එහි දී රදගුරු තුමන්ට ප්‍රදානය කෙරිණි.

ඒකාබද්ධ විපක්ෂ නායකයන් සමඟ පැවති හමුවකදී ජී.එල් පැවැසූයේ භාණ්ඩාගාර සොරකම ගැන පරීක්ෂණ කිසිම විනිවිද බවක් නැති බවයි. ඒවා කෙරෙන්නේ භාණ්ඩාගාර ලේකම්වරයාගේ ම න්‍යාය  පත්‍රවලට අනුව බව ඔහු සඳහන් කළේය.මේ පරීක්ෂණ යට ගැසීමට ඉඩ නොතැබිය යුතු බවද ජී. එල් එහිදී සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න