Image

එක්තරා මාක්ස්වාදයක් අවසානයකට පැමිණ තිබේ

එක්තරා මාක්ස්වාදයක් අවසානයකට පැමිණ තිබේ

අද (05) මාක්ස් ගේ ජන්මදින සැමරුම. මාක්ස් යනු අපේ යුගයේ පසුකර යා නොහැකි සිතිජය වනවා යන සාත්‍ර ගේ අදහස තවමත් වලංගු වනවා ද කියා මා නිශ්චිතව දන්නේ නැත. මා නිශ්චිතව දන්නේ මාක්ස් විසින් දර්ශනය ව්‍යවහාර කළ ආකාරය අත්හරිනවා යනු දර්ශනය සත පහකට වැඩක් නැති ඇකඩමික් අභ්‍යාසයක් වනවා යන්න යි.



මාක්ස් ගේ අද්විතීය ස්ථාවරය

එම අර්ථයෙන් අප ජීවත් වන යුගයේ කේන්ද්‍රීයම ප්‍රශ්නය වන්නේ අද දවසේ අප මාක්ස් උරුම කරගන්නේ කෙසේද යන්නයි. How to inherit Marx? ස්ටාලින්වාදයේ බිහිසුණු ත්‍රස්තයට, අනන්‍යතා දේශපාලනය පෙන්වා දුන් සැබෑ ප්‍රශ්නයට, පශ්චාත්නූතනවාදයේ දාර්ශනික අභියෝගයට පසුව මාක්ස් උරුම කර ගන්නේ කෙසේද?

සැකයකින් තොරවම එක්තරා මාක්ස්වාදයක් අවසානයකට පැමිණ තිබේ. එය 'සැබෑ මාක්ස්වාදය ද' යන්න කිසිදා විසඳිය හැකි ප්‍රශ්නයක් කියා මා සිතන්නේ නැත. මා දන්නා එකම දෙය වන්නේ දර්ශනය යනු ඓතිහාසික අවස්ථාවන් සාමූහිකව පරිවර්තනය කිරීමට ඇති පෙළඹවීමක් යන මාක්ස් ගේ අද්විතීය ස්ථාවරය දර්ශනයේ ඉතිහාසයේ කිසිදා ආපසු හැරවිය නොහැකි බව පමණි.

දර්ශනය මේ ලෝකයට අදාළ දෙයක් වන්නේ කෙසේ ද?

තවදුරටත් ග්‍රීකයන් සිතු ලෙස අපට අභ්‍යන්තර ආචාරධාර්මික පරිවර්තනයක් වෙනුවෙන් පමණක් දර්ශනයේ ප්‍රායෝගික ප්‍රතිඵල සීමා කළ නොහැකිය. එයද අවශ්‍ය බව පැහැදිලි වුවත් මාක්ස් ගෙන් පසුව අපට තවදුරටත් දර්ශනයේ ධාරිතාවය එයට සීමා කළ නොහැකිය. එසේ කළ සැණින් අපට හමුවන්නේ 'ධනේශ්වරයේ සූරාකෑම' ගැන ඇකඩමික් පත්‍රිකාවක් ඉදිරිපත් කර අවසානයේ දී පබ් එකට ගොස් වයින් වීදුරුවක් බොන ඇකඩමික් දාර්ශනිකයින්ය.

දර්ශනය මේ ලෝකයට අදාළ දෙයක් වන්නේ එය මෙවැනි දේට සීමා නොවෙමින් මේ ලෝකයේ සාධාරණත්වය වෙනුවෙන් සටන් වදින මිනිසුන්ගේ සාමූහික අරගලයේ අවියක් වන්නේ නම් පමණි. එනිසාම එයට ඇකඩමික් ගෞරව සම්මාන අහිමි විය හැකිය. නමුත් ඒවා මේ ක්‍රමය විසින් නඩත්තු කරන ලබන දේ පමණක් බව මාක්ස් අපට කියා දී තිබේ. ඒ වෙනුවට දර්ශනය අවශ්‍ය වන්නේ යථාර්ථය වෙනස් කරන සාමූහික අරගලයේ එක් කොටසක් ලෙස බව ඔහු අපට උගන්වා ඇත.

කාල් මාක්ස් අප හමුවේ තබා යන අභියෝගය මෙය යි. ඔහුගේ මේ දැවැන්ත මැදිහත්වීමට පසු දර්ශනය කරන්නේ කෙසේද? මා ඇතුළු පිරිසක් පිළිතුරක් ගොඩනගන්නට හදන ප්‍රශ්නය මෙයයි. එනිසාම අප මේ යෝධ මිනිසා ඉදිරියේ කුරා කුම්බුවන් වන බව මම දනිමි.

කිසිදා ඔහුගේ පැවැත්ම මරණයෙන් අවසන් වනවා කියා පිළිනොගන්න මා මාක්ස්ට සුබ උපන්දිනයක් පතමි!


Vangeesa.jpgVangeesa Sumanasekara

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න