Image

විල්පත්තුව, රිෂාඩ් බදූර්දීන් සහ නීතිය

විල්පත්තුව, රිෂාඩ් බදූර්දීන් සහ නීතිය

රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයාට එරෙහි ‘විල්පත්තු‘ නඩුවට මොකද වුණේ; දැන් තත්ත්වය මොකද, තීන්දුව මොකක්ද, විල්පත්තු ප්‍රශ්නය කියන්නෙ මොකක්ද, අපි අද සාකච්ඡා කරමු 2020 දි අභියාචනාධිකරණය විසින් ලබාදීපු විල්පත්තු නඩු තීන්දුව ගැන. (සහ එහි වත්මන් ප්‍රගතිය ගැන)

නඩුවට පදනම

විල්පත්තු ජාතික වනෝද්‍යානය කියන්නෙ, ලංකාවේ විශාල ම ජාතික වනෝද්‍යානය. ඒ වගේම ලංකාවේ පැරණි ම වනෝද්‍යාන කීපයෙන් එකක්. තිස් අවුරුදු යුද්ධයෙන් පස්සෙ, විල්පත්තු වනෝද්‍යානය ආශ්‍රිත කැලෑ ඉඩම් විශාල ප්‍රමාණයක් හෙළි පෙහෙළි කරලා, ඒකෙ මිනිස්සුන්ව පදිංචි කෙරුවා. පාරවල් කැපුවා. කොටින්ම ජාතික වනෝද්‍යානය ආශ්‍රිත භූමියක් ජනාවාසයක් බවට පත් කෙරුවා. අන්න ඒ ජනාවාසකරණයේ කතාව තමයි, විල්පත්තු නඩුවට පදනම වුණේ. ඒ කියන්නෙ, ආණ්ඩුවකට පුළුවන් ද, ජනාවාසකරණය කිරීමේ වුවමනාවට ලංකාවේ කැලෑ නීතිය, නැතිනම් පරිසර නීතිය උල්ලංඝනය කරන්න? ඕක තමයි මේ නඩුවෙන් අහපු ප්‍රශ්නය.

ලෝකයේ පරිසර නීතිය තුළ තියෙනවා “Polluter Pays Principle“ කියලා බොහොම වැදගත් සංකල්පයක්. අන්න ඒක ලංකාවෙ දි අදාළ කරගත් නඩුවක් තමයි මේ නඩුව. ඒ වගේම ලංකාවෙ පරිසර නීතිය තුළ තියෙන ප්‍රධානම නඩු කටයුත්තක්.

2008 දි තිස් අවුරුදු යුද්ධය සංග්‍රාමිකව අවසන් වුණා. ඊට පස්සෙ මිනිස්සු අති විශාල ප්‍රමාණයක් අවතැන් වුණා. ඒ වගේම යුද්ධය අතරතුර කාලයේ දි, උතුරු පළාතෙන් අති විශාල වශයෙන් මුස්ලිම් මිනිස්සුන්ව පලවා හරිනු ලැබුවා; ඒ, කොටි සංවිධානය විසින්. මෙන්න මෙහෙම කාලාන්තරයක් තිස්සේ ඉඩම් අහිමි වූ මිනිස්සු සංඛ්‍යාවක් යුද්ධය අවසන් වුණාට පස්සෙ නැවත පදිංචි වීමේ වුවමනාවෙන් බලා හිටියා. මේකට විසඳුමක් විදිහට රජය විසින් විවිධ ක්‍රියාමාර්ග තීරණය කෙරුවා. විල්පත්තුව ආශ්‍රිතවත් නැවත පදිංචි කරවන්න වුවමනා වැඩක් පටන් ගත්තා. මේ ක්‍රියාමාර්ග අතරතුර දි, කැලෑ ඉඩම් එළිපෙහෙළි කෙරුවා. ගෙවල් හැදුවා. පාරවල් හැදුවා. යටිතල පහසුකම් හැදුවා. පවුල් 1500 කට ආසන්න ප්‍රමාණයක්, විල්පත්තුව ආශ්‍රිතව පදිංචි කෙරෙව්වා. මේ සියල්ල ම කරලා තිබුණෙ, රක්ෂිත වනාන්තරයකට වෙන් කරපු භූමියක.

පරිසර යුක්ති කේන්ද්‍රයේ අධිකරණ ක්‍රියා මාර්ගය

මේක සම්පූර්ණයෙන් නීති විරෝධී වැඩක් බව කියමින්, පරිසර යුක්ති කේන්ද්‍රය (Centre for Environmental Justice (Guarantee) Ltd.) නමැති සංවිධානය විසින් අධිකරණයට ගියා. ඔවුන් මේ නැවත පදිංචි කිරීම ප්‍රශ්න කෙරුවා. ඊට ජාතික වනෝද්‍යානයක රක්ෂිතයක් භාවිත කිරීම ප්‍රශ්න කෙරුවා.

මේ නඩුවෙදි, අදාළ වරදට වග උත්තරකරුවන් විදිහට මේ සිදුවීමට සම්බන්ධ රාජ්‍ය නිළධාරීන් 9ක් නම් කෙරුවා. මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් කාර්යාලය, පුරාවිද්‍යා කොමසාරිස් කාර්යාලය, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වගේ ආයතන ගණනාවක නිලධාරීන්ව වග උත්තරකරුවන් කෙරුවා. රජයේ පාර්ශ්වයෙන් වූ වරදක් හෙයින් නීතිපතිත් වග උත්තරකාරයෙක් වුණා. මේ නඩුවෙ ප්‍රධානම වග උත්තරකාරයෙක් උනේ එවක වාණිජ සහ කර්මාන්ත ඇමති ‘රිෂාඩ් බදූර්දීන්.

මතක් කළයුතු කාරණයක් තමයි, බදූර්දීන් මේ විල්පත්තු නඩුවෙන් දුන් තීරණය, මේ වෙද්දි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපීල් කරලයි තියෙන්නෙ. අපි විමසා බලන්නෙ මෙතෙක් බලාත්මකව පවතින අභියාචනාධිකරණ තීරණය.

වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය

20170113 144505රිෂාඩ් බදූර්දීන් කියන්නෙ 2007 වසරේ ජනවාරි ඉඳන් 2014 වසරේ දෙසැම්බර් වෙනකන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ කැබිනට් ඇමතිවරයෙක්. ඔහු මේ විල්පත්තු සිදුවීමට සම්බන්ධ වෙන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ කාලයේ දි. වර්තමානයේ රිෂාඩ් බදූර්දීන් සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

නැවත පදිංචි කරවීමේ සිදුවීම වෙද්දි රිෂාඩ් ඇමතිතුමා තමයි කර්මාන්ත සහ වාණිජ ඇමතිවරයා. ඊට කලින් ඔහු එම කැබිනට් මණ්ඩලයේ ම ‘නැවත පදිංචි කරවීමේ සහ ආපදා කළමනාකරණ‘ ඇමති ධුරයත් දැරුවා.

විල්පත්තු භූමිය, රක්ෂිත වනාන්තරයක් විදිහට නම් කෙරෙන්නෙ 2012 සැප්තැම්බර් මාසයේදි. මේ දිනයේ ඉඳන්, විල්පත්තුව නීතියෙන් ආරක්ෂිත වනෝද්‍යානයක්.

ලංකාවේ වන සංරක්ෂණ ආඥාපනත (Forest Conservation Ordinance) අනුව, කැලෑ ඉඩමක් එළි කිරීම, වගාකිරීම, නිවාස ඉදි කිරීම, පාරවල් කැපීම, වෙනත් ගොඩනැඟිලි ඉදි කිරීම ආදිය නීතියෙන් තහනම්. විල්පත්තුව තුළ නැවත පදිංචි කරවීමේ දී මේ කියන සියලුම දේවල් වෙලා තිබුණා.

නඩුවේ දී රජයේ පාර්ශ්වය මේ ගැන මොකද කිව්වෙ?

ඔවුන් කිව්වා, අවතැන් වූ මිනිස්සුන්ව නැවත පදිංචි කිරීමේ යුතුකම රජයට තියෙන බව. ඒක පැහැර හරින්න බැරි බව. මේ වෙද්දි යුද්ධය සම්බන්ධව ‘උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව‘ නික්තු වෙලයි තිබුණෙ. නැවත පදිංචි කරවීම සාධාරණ බව කියන්න, මීට සම්බන්ධ නිලධාරීන් අදාල වාර්තාවේ දැක්වෙන නිර්දේශ පෙන්නුවා. ඒ වගේම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මේ ගැන තියෙන නීතීන් උපුටා දැක්වූවා. ඔවුන් කිව්වා යුද්ධයකින් පසුව, නැවත පදිංචි කරවීම ලෝකයේ සෑම නීති පද්ධතියක ම ප්‍රධාන අංගයක් බව.

මේ ගැන සළකා බැලූ අධිකරණය කිව්වෙ, මානුෂික සහන සැලසීමේ දී පවා, නීතිය කඩකරන්න බැරි බවයි. මේ සඳහා අධිකරණය Rule of Law කියන නීති සිද්ධාන්තය පාවිච්චි කෙරුවා. ඒ කියන්නෙ 'සෑම ක්‍රියාවකටම ඉහළින් නීතිය පවතිනවා' ය කියන සිද්ධාන්තය. හොඳ අරමුණකින් කරන යහපත් ක්‍රියාවක දී පවා, නීතිය කඩකරන්න බැරි බව අධිකරණය කිව්වා.

මේ නඩුවෙදි අධිකරණය සලකා බලපු ප්‍රධානම කාරණය තමයි, නැවත පදිංචි කිරීම් සිදුකළ ඉඩම, 2012 ගැසට්ටුව මගින් රක්ෂිතයක් බවට පත් කළ සීමාවට අයිති ද? නැති ද? කියන එක. ඊට අදාළ විශේෂඥයින්ගේ මතය වුණේ, එය අදාළ ගැසට් නිවේදන මඟින් රක්ෂිතයක් බවට පත් කළ කොටස තුළ පවතින බවයි. මේ හැම දෙයකටම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වෙලා තිබුණා. මොකද මේක එවකට පැවති සන්ධාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වූ දෙයක්.

රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයා ගේ දායකත්වය

එතකොට රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයාගේ දායකත්වය මොකක්ද? මේ ගැනත් අධිකරණය සලකා බැලුවා.

2013 ජනවාරි මාසෙ 15 වැනිදා, රැස්වීමක් තිබුණා. මේ රැස්විමෙ මුලසුන හෙබෙව්වෙ රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයා. ඒ කියන්නෙ කර්මාන්ත සහ වාණිජ අමාත්‍යවරයා. මේ රැස්වීමට රාජ්‍ය නිළධාරීන් පිරිසක් තමයි සම්බන්ධ වුණේ. මේ නිලධාරීන් අතර, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ආදී ඉහළ නිලධාරීන් ද හිටියා.

මේ රැස්වීමෙදි, නැවත පදිංචි කරවීම පිළිබඳව වැදගත් තීරණ රැසක්ම ගත්තා. මේ රැස්වීමට ආපු අය අතරින්, වනෝද්‍යානයට අයත් ඉඩම් ප්‍රමාණයක්, නැවත පදිංචි කරවීම වෙනුවෙන් වෙන් කරන්න තීරණයක් ගත්තා. නමුත් මේ ක්‍රියාවේ නීතිමය ප්‍රශ්නකාරී බවක් තිබුණා. වන සංරක්ෂණ ආඥාපනතට අනුව, රක්ෂිතයක ඉඩම් නිදහස් කරන්න නම් නිල වශයෙන් අමාත්‍යවරයා ගේ අනුමැතිය ලැබෙන්න ඕන. මෙවැනි රැස්වීමක දී නිලධාරීන් කිහිප දෙනෙක් එක්ක කළහැකි වැඩක් නෙවෙයි. ඇමතිවරයා ගේ නියෝගයක් රහිතව තමයි මේ ඉඩම නිදහස් කරගෙන තිබුණෙ. මේ අනුව, නැවත පදිංචිය සඳහා ඉඩම් නිදහස් කළ ආකාරය නීති විරෝධී බව තීරණය වුණා.

මේ නඩුවේදි පෙත්සම්කරුවන් (ඒ කියන්නෙ පැමිණිල්ල දාපු පරිසර යුක්ති කේන්ද්‍රය) අධිකරණයෙන් ඉල්ලුවා, සර්ෂියෝරාරි සහ මැන්ඩාමුස් ආකාරයේ රිට් ආඥාවක්.

සර්ෂියෝරාරි සහ මැන්ඩාමුස් ආකාරයේ රිට් ආඥාව

මොකක්ද මේ සර්ෂියෝරාරි? මේක යම්කිසි නීති විරෝධී ක්‍රියාවක් අවලංගු කරලා දෙන්නය කියලා කරන අධිකරණ නියෝගයක්. මොකක්ද මේ මැන්ඩාමූස්? මේක රාජ්‍ය නිධාරීන්ට, යම්කිසි ක්‍රියාවක් සිදුකරන්නය කියලා කරන අධිකරණ නියෝගයක්. මේ රිට් ආඥාවන් දෙකට අමතරව, පෙත්සම්කරුවන් ඉල්ලුවා,නීති විරෝධී පදිංචිකරුවන්ව ඉවත් කරන්න, නැවත වනවගා කරන්න, රක්ෂිතයට වූ හානිය පියවන්න කියලා ඉල්ලීම් කීපයක්.

ඉතින් අධිකරණය මේ සහන ලබාදුන්නද?

රිට් ආඥා දෙක ගැන මුලින් බලමු.

අධිකරණය විසින් සර්ෂියෝරාරි රිට් ආඥාවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කෙරුවා. ඇයි ඒ? මේ නඩුවෙදි අදාළ ක්‍රියාව අවලංගු කරවන්න අදාළ සියලු ම පාර්ශ්වයන් නඩුවට ඇතුළත් කරලා තිබුණෙ නැති හින්දා. විශේෂයෙන් ම නැවත පදිංචි වෙලා හිටපු පවුල්, මේ නඩුවේ පාර්ශ්ව විදිහට නම් කරලා තිබුණෙ නෑ. මේ හින්දා අදාළ ක්‍රියාව අවලංගු කරවන්න අදාළ සර්ෂියෝරාරි රිට් ආඥාව ලබා දුන්නෙ නෑ. අධිකරණය මඟින් කිව්වා මැන්ඩාමුස් ආඥාව නිකුත් කරන්න අදාළවත් යම් තාක්ෂණික ප්‍රශ්න මේ නඩුවේ පවතින බව. නමුත් තවමත් මැන්ඩාමුස් ආකාරයේ ආඥාවක් නිකුත් කළ හැකි මට්ටමක තමයි ඒවා තිබුණෙ. ඒ වගේම, අධිකරණය මේ නඩුවෙදි Public Trust Doctrine කියන වැදගත් නීති සංකල්පය ගැනත් කතා කෙරුවා.

Public Trust Doctrine හෙවත් ‘පොදු භාර සිද්ධාන්තය

මොකක්ද මේ Public Trust Doctrine එහෙමත් නැතිනම්, සිංහලෙන් ‘පොදු භාර සිද්ධාන්තය‘ කියන්නෙ?

මේකෙ තේරුම වුණේ, පරිසරය කියන්නෙ රජයේ ආයතන විසින් ලංකාවෙ මිනිස්සු වෙනුවෙන් දරන ‘භාරයක්‘ ලෙස සැලකීම. ඒ කියන්නෙ රාජ්‍ය නිලධාරීන් කරන්නෙ අපි වෙනුවෙන් වන සම්පත සුරක්ෂිතව පවත්වාගැනීම. ඔවුන් ඒකෙ හිමිකරුවන් නෙවෙයි. ඒක භාරයක්. ඔවුන් මේවා අනිවාර්යයෙන් ආරක්ෂා කරන්න බැඳී ඉන්නවා. වගකීමෙන් පරිහරණය කරන්න බැඳී ඉන්නවා. අවභාවිතා කිරීමෙන් වැළකී ඉන්න වෙනවා. යම් විදිහක අකටයුත්තක් වුනොත් ඒකට මැදිහත් වෙන්න අධිකරණයට බලය ලැබෙනවා.

ඒ අනුව, විල්පත්තු රක්ෂිතයේ ඉඩම් සම්බන්ධවත්, පොදු භාර සිද්ධාන්තය අනුව අධිකරණය කටයුතු කෙරුවා.

මීළඟ වැදගත් සංකල්පයක් උනේ “Polluter Pays Principle“, එහෙමත් නැතිනම් ‘දූෂ්‍යකාරකයා විසින් වන්දි ගෙවීමේ‘ සංකල්පය.

‘දූෂ්‍යකාරකයා විසින් වන්දි ගෙවීමේ‘ සංකල්පය

මොකක්ද මේ Polluter Pays Principle?

මේකෙ සරල තේරුම තමයි, යම් පරිසර හානියක් සිද්ධ වුනොත්, ඒ ක්‍රියාව කරපු කෙනා විසින් එහි අලාභය, වන්දිය, නැවත පියවීමේ වියදම්, හානි පූර්ණ, පරිසරය අලුත්වැඩියා කිරීමට අදාළ වියදම් ආදී සියල්ල දැරිය යුතු බව.

මේක පරිසර ආරක්ෂණය ගැන තියෙන ප්‍රධානම ජාත්‍යන්තර සම්මුතියක් වන ‘රියෝ සම්මුතියෙ 16 වැනි වගන්තියෙන්‘ පැහැදිලි කරන දෙයක්. ඒකත් මේ නඩුවට සෘජුවම අදාළ කරගත්තා. කොහොම ද අදාළ කරගන්නෙ? රජයේ පාර්ශ්වයෙන් සිද්ධ වූ වරදක් වෙනුවෙන්, සමස්ත මහජනයා විසින් අපේ බදු මුදලින් ඒක පියවන්න ඕන නැති බව තමයි මේක අදාළ කරගැනීමෙන් තීරණය වුණේ. ඊට අදාළ වගකිවයුත්තා හොයලා, වියදම එයාගෙන් පියවාගැනීමට අධිකරණය අවධානය යොමු කෙරුවා.

මේ සිද්ධි, සාක්ෂි, සිද්ධාන්ත සහ නීති සංකල්ප සියල්ල භාවිත කරලා, විමර්ශනය කරලා අවසානයේ දි අධිකරණය තම තීරණය දුන්නා. ඒ අධිකරණ නියෝග කීපයක් නිකුත් කරමින්.

අධිකරණ නියෝග

මුලින්ම අධිකරණය නියෝගයක් නිකුත් කෙරුවා, වනවගා ව්‍යාපෘතියක් දියත් කරන්න කියලා. මේකට නැවත පදිංචි කිරීම සඳහා වෙන්කළ භූමියට සමාන භූමි ප්‍රමාණයක් තෝරාගතrishad 2 1 යුතුයි කියලා අධිකරණය කිව්වා. මේ වනවගා කිරීමේ දී කැළෑ ආඥාපනත ආදී නීති මත කටයුතු කරන්න කිව්වා. මේක නිකුත් කෙරුවෙ වන සංරක්ෂණ නිධාරීන්ට. යම් නිලධාරියෙකුට ක්‍රියාවක් කිරීම සඳහා නිකුත් කරන නියෝගය හෙවත්, අපි කතා කරපු ‘මැන්ඩාමුස්‘ නියෝගය තමයි මේ.

ඊළඟට බැලුවා ‘දූෂ්‍යකාරකයා වන්දි ගෙවීම‘ ගැන. මේ යටතේ, රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයා විසින් ගෙවීම් කළ යුතු බව අධිකරණය තීරණය කෙරුවා. ඒ අනුව, පැළ සිටුවීමට කරපු නියෝගය පරිදි පැළ සිටුවන්න රජයේ මුදල් භාවිත කරන්න බෑ. ඊට අදාළ සියලු වියදම් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා විසින් දරන්න ඕන. මොකද රක්ෂිතයක ඉඩම් නිදහස් කරන්න අදාළ පියවර අරන් තිබුණෙ ඔහුගේ මූලිකත්වයෙන්. මේ අනුව, ලංකාවේ බදු ගෙවන්නන් විසින් නොව රිෂාඩ් බදුර්දීන් විසින් මේ වියදම දැරිය යුතු බව තීරණය වුණා.

ඊට අමතරව අධිකරණය විසින් රජයට සහ පුරවැසියන්ටත් විශේෂ සිහිපත් කිරීම් දෙකක් කෙරුවා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 27 (14) වගන්තිය අනුව ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට වැඩිදියුණු කළ යුතුයි; ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 28(ඊ) වගන්තිය අනුව, සෑම ශ්‍රී ලාංකික පුරවැසියකු ගේ ම යුතුකමක් තමයි ස්වභාව ධර්මය සහ ස්වභාවික සම්පත් රැකගැනීම.

මේ අනුව, ව්‍යවස්ථාවෙන්ම දක්වලා තියෙන ඉහත කාරණා හොඳින් සිහියේ තබාගෙන කටයුතු කරද්දී, මෙවන් ප්‍රශ්න ඇති නොවන බව අධිකරණය පෙන්වා දුන්නා. ඒ වගේම පරිසරය සුරක්ෂා කිරීම මානව හිමිකම් රැකදීමක් බවත් කිව්වා. මේ ගැන විවිධ ආගම්වල තියෙන සංකල්ප ගැන පවා සාකච්ඡා කෙරුවා. සෑම ආගමකම පරිසරය රැකගැනීමට අදාල ඉගැන්වීම් තිබෙන බව පැහැදිලි කෙරුවා. ‘පරිසරය රැකගැනීම නෛතික වගේම සදාචාරාත්මක යුතුමක්‘ බව අධිකරණය කිව්වා.

මේ තමයි අධිකරණ තීරණය. රක්ෂිතයට කළ හානිය තරම්ම වනවගාවක්, ඊට සෘජුව වගකිවයුත්තාගේ පෞද්ගලික වියදමින් කළ යුතු වුණා. මේ තීරණය ලබාදුන්නෙ 2020 නොවැම්බර් මස 16 වැනිදා. නඩුවෙන් පස්සෙ කාලෙක දි, රිෂාඩ් බදූර්දීන් විසින් කළයුතු ගෙවීම රුපියල් බිලියන 1ක් බව, ඊට අදාළ අංශ තීරණය කෙරුවා.

රිෂාඩ් බදුර්දීන් නැවත ඇපිල් කරයි

20170113 140244එතකොට නැවත පදිංචි කළ ජනතාව?

අධිකරණය ඔවුන්ව ඉවත් කරන්න නියෝග කෙරුවෙ නෑ.

ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබුණා. නඩුවේ පාර්ශ්වකාරයින් නොවූ පිරිසකට එරෙහිව නියෝගයක් දෙන්න අධිකරණය පෙලඹෙන්නෑ. මීළඟ හේතුව තමයි අධිකරණය මානුෂික අවශ්‍යතා ගැඹුරින් සලකාබැලීම.

ඇත්තටම ඔවුන්ව ඉවත් කළ යුතුද? මේක සංකීර්ණ ප්‍රශ්නයක්. එහෙම කළොත් ඔවුන්ගේ ජීවිතවලට මොකක් වෙයිද? එහෙම කරද්දී රජයකට මොන තරම් අපහසුතාවන්ට පත් වෙන්න වෙයිද? මේවා තමයි ප්‍රශ්න. නමුත් වෙනම අධිකරණ ක්‍රියාවලියකින් එවැන්නක් අභියෝග කරන්නත් පුළුවන්.

මේ වෙද්දි, රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා විසින්, තමන්ට ලබාදුන් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපීල් කරලයි තියෙන්නෙ. ⚖️

වැඩිදුර කියවන අයට අභියාචනාධිකරණ නඩු අංකය: C.A. (Writ) 291/2015

Update: ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන්නට නියමිත නඩුවෙන්, මේ වෙද්දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනෙක් ම ඉවත් වී තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ දී "ඒ.එච්.එම්.ඩී නවාස්" විනිසුරුතුමා පෞද්ගලික හේතු මත මෙම පෙත්සම විභාගයෙන් ඉවත්වුණා.

ඊට පෙර, මහින්ද සමයවර්ධන, යසන්ත කෝදාගොඩ, ජනක්ද සිලවා සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා ද මෙම පෙත්සම විභාග කිරීමෙන් ඉවත් වුණා. ඒ අනුව මේ වෙද්දී, අභියාචනාධිකරණ නඩු තීන්දුවට එරෙහිව රිෂාඩ් බදියුර්දීන් විසින් කළ පෙත්සම, විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 5 දෙනෙකු ඉවත් වී තිබෙනවා.

Nuwan Ishara Mahagamage

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න