Language Switcher

V2025

මාධ්‍ය ස්වාධීනත්වය : ලේක්හවුස් 1

ආයෙත් මාධ්‍ය ස්වාධීනත්වය ගැන කතිකාව මතුවෙලා, ඒක ඉදිරියට ගත්තට අලුත් සංවිධාන එකමුතුවට ස්තූතියි. ඒත් නීති සම්පාදකයින්ටත් බලකරන්න ඕනෙ. මේ ඒගැන පළමු සටහන​.

1973 දී ලේක් හවුස් එකට කරේ තාවකාලිකව මහා භාරකාරයා යටතට පත් කරපු එක විතරයි. ඒක ජනසතු කිරීමක් නෙමෙයි කියල ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමති කොල්වින් ආර් ද සිල්වත්, අගමැතිණි සිරිමාවෝත් කිව්ව​. පණත දෙවන වර විවාදයෙදි 1973 ජූලි 17 වෙනිදා කොල්වින් මෙහෙම කිව්ව​. "මාගේ ගරු මිත්‍රවරුන් මේ කෙටුම්පතට විරුද්ධ වන්නේ ඇයි? ......අප මේ පත්‍ර සමූහය පවරා ගන්නේ එහි හිමිකාරිත්වය පුළුල් කිරීමේ අදහසින් පමණක් බව ජනතාවට කියන්නට අවශ්‍යයයි. ඒ සඳහා වන ප්‍රතිපාදන ඔබ අමතක නොකළ යුතුයි. එය පුළුල් කරන ක්‍රමවේදය එහි ඇතුලත් කර තිබෙනවා. එය රජයේ අයිතිය යටතේ ස්ථිර ලෙස තබා ගැනීමේ අපේක්‍ෂාවක්ද නැහැ. අප එහෙම තියා ගන්නේ නැහැ. ......කෙටියෙන් කියනවා නම් ඔවුන් විරුද්ධ වන්නේ ඩී ආර් විජේවර්ධන පවුලේ හිමිකාරීත්වය වෙනුවට වෘත්තීය සමිති, සමූපකාර​, පුරවැසියන්, මාධ්‍යවේදීන් එහි හිමිකාරිත්වයට පැමිණීමටයි.

ඒ විවාදයෙදි යූඑන්පී මන්ත්‍රී ඒ සී එස් හමීඩ් ලේක් හවුස් ආයතනය ජනසතු කිරීම කියල කියන කොට සිරිමාවෝ ඒකට බාධාකරමින් මෙහෙම කිව්ව "මෙය ජනසතු කිරීමක් නොවෙන බව ඔබට අමතක වෙලා.

ඉතිං ඒ පණතේ අභිප්‍රාය පැහැදිලියි. ඉතිං ජනසතු නොකෙරුනු ආයතනයක් අවුරුදු හතලිස් පහක් තිස්සේ හැම ආන්ඩුවක්ම අවභාවිත කරනවා. ඒකට ඇත්තටම ඇඟිලි ගහන්න මාධ්‍ය ඇමතිට බැහැ. ඒක තියෙන්නෙත් අධිකරණ ඇමති යටතේ, මොකද මහා භාරකාරය ඉන්නෙ අධිකරණ අමාත්‍යාංශය යටතේ. මේක සම්මත කරගත් පණතට පටහැනිව දිගින් දිගටම රජය යටතේ තබා ගැනීම නීති විරෝධී ක්‍රියාවක්.

1994 බලයට ආපු චන් ද්‍රිකා මේකෙ අයිතිය පුලුල් කිරීම සඳහා නිරිදේශ ඉදිරිපත් කරා. ඒකට තමා කියන්නෙ සිදත් ශ්‍රී නන්දලෝචන වාර්තාව කියල​. ඒකෙ හිටිය අනිත් සාමාජිකයො තමා ආචාර්ය ජයදේව උයන්ගොඩ​, රොහාන් එදිරිසිංහ​, ආර් එම් ගුණසේකර​, ලක්‍ෂමන් ජයවර්ධන​. ඒ ගොල්ල හොඳ නිර්දේශයක් කරා.

කොටස්වලින් 20%ක් සමාගමේ සේවකයන් සඳහා වෙන් කළ යුතුය​. දැනට රජයේ සංස්ථා වලට ඇති කොටස් ඇතුලුව 15ක කොටස් භාරකාර මණ්ඩලයක් යටතේ තැබිය හැකිය​. දැනට පුද්ගලයින්ට හිමිව ඇති කොටස් ඒ ආකාරයෙන්ම තැබිය හැකිය​. ඉතිරි කොටස් කොටස් වෙළඳ පළේ විකිණීමට හැකි අතර කිසිම පුද්ගලයෙකුට මිලදී ගත හැකි හෝ තබාගත හැකි උපරිම කොටස් ප්‍රමාණය 25,000ක් විය යුතුය​. කොටස් මිල දී ගත හැක්කේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හෝ ශ්‍රී ලාංකිකයින්ට බහුතර හිමිකමක් ඇති සමාගම් වලට පමණි.

සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සාමාජිකයින් 11ක ගෙන් සමන්විත විය හැකිය​. හය දෙනෙකු කොටස් හිමියන් විසින් ද​, කර්තෘවරුන් හා ජනමාධ්‍යවේදීන් නම් කරන එක් අයෙකුද​, අනෙකුත් සේවකයින් පත්කරන එක් අයෙකුද​, භාරකාර මණ්ඩලයෙන් එක් අයකුද​, අගමැතිවරයා විසින් එක් අයෙකුද​, විපක්‍ෂ නායකයා විසින් එක් අයෙකුද වශයෙන් පත් කරනු ලැබිය හැකිය​.

අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංයුතිය මඟින් සංස්කරණ ස්වාධීනත්වය අවශ්‍යයෙන්ම සහතික වෙයි. එමෙන්ම ජනමාධ්‍යවේදීන් විසින් පත්කරනු ලබන අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයා නිකන්ම නියෝජනය කරනවා වෙනුවට ඔවුන්ගේ ලැදියාවන් රැකදීමට විශේෂයෙන් කටයුතු කළ යුතුය​.

මීට වඩා හොඳ යෝජනා තියෙනව නම් කෙනෙකුට ඉදිරිපත් කරන්න පුලුවන්. ඒත් මේ රජය යටතේ නිති විරෝධීව ලේක් හවුස් ආයතනය දිගටම පවත්වාගෙන යාමට තවදුරටත් ඉඩ දිය යුතු නැත​. ආණ්ඩුවෙන් මේක කරන්නෙ නැහැ. ජනමාධ්‍යවේදී සංවිධානත් මේ සටන අතහැරල​. පාර්ලිමේන්තුව තුල මේ ප්‍රශ්ණෙ මතුකරන්න ඕනෙ කවුරු හරි ඒ නිසා. ආණ්ඩුවට මේක කරන්න බලකරන්න ඕනෙ!

උවිදු කුරුකුලසූරිය