Language Switcher

V2025

සමකය: උතුර හා දකුණ රක්නා උරුමය කුමක්ද?

තීතය අමතක කර ඇත්ත කතාකොට, කණගාටුව ප්‍රකාශ කර, සමාව ඉල්ලා, ඉදිරියට යමු යැයි අගමැති වික්‍රමසිංහ දෙමළ ජනයාට පසුගිය සතියේදී කියා සිටියේ කිලිනොච්චියේදී ය. ඒ සංහිඳියා වට්ටෝරුවට අමතර වශයෙන්, ‘නඩු දාන්න ගියොත් කෙළවරක් නැතැයි’ ඔහු වැඩි දුරටත් මැසිවිලි නගා තිබිණ. ඔහුට අනුව පශ්චාත් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ කාරණා සිද්ධ වූයේ ද එසේ ය. මේ සංසන්දනයේ බැලූ බැල්මටම පෙනෙන පරහක් තිබේ. එකක් නොව, කිහිපයක්ම තිබේ.

පළමුවැන්න, දකුණු අප්‍රිකාවේදී මේ කියන ක්‍රියාවලිය දියත් කරන ලද්දේ වර්ණ භේදවාදී සුදු ප්‍රිටෝරියානු පාලනය බිඳ වැටීමෙන් පසුව බව ඔහු පැහැදිලි නොකිරීම අඩුවකි. දෙවැන්න, ජාතික ප්‍රතිසන්ධානය පිළිබඳ දකුණු අප්‍රිකානු සැළැස්ම වර්ගවාදී සුදු ආණ්ඩුවේ සංකල්පයක් අනුව දියත්වූවක් නොව, අඩුම වශයෙන්, 1948 සිට වෙනස් ලෙස සැළකීමට පාත්‍ර කළ කළු අප්‍රිකානුවන්ගේ සැළකිය යුතු එකඟතාවකින් ක්‍රියාවට නැංවූ එකක් වීම ය. තුන්වැන්න, මහත් උත්කර්ෂයට නංවන ලද දකුණු අප්‍රිකානු සංහිඳියා ක්‍රියාවලිය ඇත්ත වශයෙන්ම නම් සමාජ ගැඹුරට මුල්බැසගත් ව්‍යුහාත්මක අසමානකම් කිසිවක් වෙනස් කිරීමට සමත්ව නැති බව වර්ණභේදවාදී පාලන තන්ත්‍රය ඇද වැටී විසි පස් අවුරුද්දකට පසු වැඩි දෙනකු විසින් පිළිගැනීම ය.

ඒ සියළු බරපතල අඩුපාඩුකම් තිබියදීත් ප්‍රතිසන්ධානය පිළිබඳ දකුණු අප්‍රිකානු උදාහරණයේ වැදගත්ම අංග ලක්ෂණය වන්නේ එය වර්ණභේදවාදී පිළිවෙතින් මැඩලන ලද පීඩිත ප්‍රජාවේ මුලපිරීමක ප්‍රතිඵලයක් වීම ය. කලින් පැවැති ව්‍යුහයේ පීඩක බල රටාවන්ට අත නොතියා එවැනි ක්‍රියාවලියක් දියත් කිරීම කිසිසේත් කළ හැක්කක් නොවේ. නමුත් වික්‍රමසිංහගේ සූත්‍රය ඊට පටහැනිව යන එකකි.

අඩුම වශයෙන් ප්‍රාදේශීය හමුදා ආඥා මූලස්ථාන හතකට බෙදූ රටක, එයින් හතරක් උතුරේත්, එකක් නැගෙනහිරත් ස්ථාපිත කොට, උතුරු පළාතේ ජනගහණයෙන් සෑම හත් දෙනකු වෙනුවෙන්ම එක් සොල්දාදුවකු රඳවා තබා, චූදිත ආඥාපතිවරුන්ට ගෞරව පදක්කම් හා උසස්වීම් ප්‍රදානය කොට, දෑවුරුද්දක් තිස්සේ උපවාස හා සත්‍යග්‍රහවල යෙදෙන දරුවන් අහිමි මව්වරුන්ගේ ද, ඉඩම් අහිමි දිළින්දන්ගේ ද ඉල්ලීම් නෑසූ කන්ව හිඳ, ඒ ජනයා අතරටම ගොස් ‘සියල්ල අමතක කර දමා ඉදිරියට යමු’ යැයි කියන්නට සෑහෙන ලැජ්ජා විරහිත ආත්ම ශක්තියක් තිබිය යුතු ය. අගමැති වික්‍රමසිංහට ඒ  ශක්තිය ජනාධිපති සිරිසේන තරමටම නොමදව ඇති බව කිලිනොච්චි රැස්වීම දෙස් දෙයි.

දැන්, දෙමළ සන්ධාන නායක ආර් සම්බන්ධන් ‘අපට අවශ්‍ය යුක්තිය’ යැයි යාපනයේ පළවන ‘උදයන්’ පත්‍රයට කියා ඇත්තේ වික්‍රමසිංහගේ කතාවට පිළිතුරු වශයෙනි. අපරාධ යුක්තිය ගැන කතාබහ අලුත් වටයකින් මතු කරන්නේ වික්‍රමසිංහ හා සම්බන්ධන්ගේ මෙකී ප්‍රකාශ දෙක විසිනි.

අපරාධ යුක්තිය පිළිබඳ වැදගත්කමක් බහුතර සිංහල ජනයාට නොමැති වීම දකුණේ විකල්ප දේශපාලන පරිකල්පනයේ දුක්ඛිත සීමාවයි. කලින් කල තොරොම්බල් කෙරෙන ආසියාවේ ‘පැරණිම ප්‍රජාතන්ත්‍රය,’ හැත්තෑ වසක් ඇවෑමෙන් වැඩිම අතුරුදහන්වීම් හා සමූහ මිනීවළවල් සහිත වර්ග තාන්ත්‍රික රාජ්‍යයක් බවට පෙරළනු ලැබූ ව්‍යුහාත්මක හේතු ගැන බැරෑරුම් සාකච්ඡාවන් තවමත් පැන නොනගින්නේ ඒ නිසා ය. දැන් තිස් අවුරුද්දක් පිරෙන දකුණේ දෙවැනි තරුණ නැගිටීම සමයේ මුදාහළ රාජ්‍ය භීෂණය පිළිබඳ දකුණේ සමස්ත කතාබහ ‘වමේ’ තරබාරු වහලුන්ගේ වාර්ෂික යාග හෝමවලට එහා නොයන්නේ එබැවිනි.

දණ්ඩ මුක්තියෙන් පුදනු ලැබූ සමූල ඝාතක අපරාධකරුවන් සමග තවත් දීර්ඝ කාලයක් ජීවත්වීමට ඇති නිසා අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් ප්‍රායෝගික නැතැයි යනාදී නර්මාලාප නිල ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන් බැරෑරුම් ලෙස කියන්නේ ද මේ දුගීභාවයේ ප්‍රතිඵලයක් ලෙස ය.

යුක්තිය රහිත සාමූහික ජීවිතය දැන් අපේ දිගුකාලීන ඇබ්බැහිකමකි. උත්තමාචාර වෙඩිමුර මැද ගාම්භීරව අවසන් ගමන් යන සමූල ඝාතක සෙන්පතියන්ට සුදු කොඩි ඔසවන අතරවාරයේම මාවත් අද්දර පණ පිටින් පිළිස්සුණු දකුණේ පහළ පාන්තික තරුණ පරම්පරාවන් ගැන ගොහොදු බසින් කව් ගී ලිවීමට හැකිව ඇත්තේ ඒ ඇබ්බැහිකම නිසා ය.

මේ දේශපාලන හා සදාචාර පරාභවයේ ගැඹුර කදිමට කියා පෑ මෑතකාලීනම උදාහරණය මාතලේ සමූහ මිනීවළ පිළිබඳ කතාව ය. මාතලේ රෝහල් භූමියෙන් මිනිස් සිරුරු 154ක් හමු වූ සැණින් දූ දරුවන්ගේ දුර්වර්ණ සේයා රූ රැගෙන උසාවිවල හා ප්‍රවෘත්ති සාකච්ඡාවල හඬා වැළපෙමින් රස්තියාදු වූ දකුණේ සිංහල මව්පියවරු, තුන් මාසයක් ඇවෑමෙන් දරුවන් මෙන්ම අතුරුදහන් වූහ. සමූහ මිනීවළ 1986-1990 කාලයට අයත් විය හැකියැයි නිගමනය කළ මහාචාර්ය රාජ් සෝමදේව හා වෛද්‍ය අජිත් ජයසේනගේ වෝහාරික විද්‍යා දැනුමට වඩා ගෝඨාභය රාජපක්ෂගේ ජාතිමාමකත්වය බර වැඩි වූ නිසා, අත පය තියුණු මෙවලම්වලින් කපා, හිස් කබල් වෙන්කොට සමූහ වශයෙන් වැළ ලූ මළවුන් 1950දශකයට කලින් සාමාන්‍ය ලෙස මියගොස් වළදමන ලද්දවුන් බවට වූ වාර්තා පිළිගන්නට සියල්ලෝ කැමති වූහ.

දෙමළ ජනයා අපරාධ යුක්තිය සම්බන්ධයෙන් සම්මුති රහිත ස්ථාවරයක් දැරීම දෙමළ ජාතිවාදයේ නැගී සිටීමක් මිස අන් කිසිවක් විය නොහැකි බව දකුණේ බහුතරයක් දෙනා කල්පනා කරන්නේ යුක්තිය රහිත අසාර දිවිය ජාතිකානුරාගය වශයෙන් පිළිගන්නට පුරුදුව ඇති නිසා ය. පහළොස්වැනි සියවසේ උඩරට අදිකාරම්ලාටත් - විසිවැනි සියවසේ බොල්ෂෙවික්වාදීන්ටත් කලින් කලට වෙස් බඳින  ‘කොස්ටියුම් පාටියක්’ බවට පත්ව ඇති දකුණේ උධෘත පාඨ ප්‍රේමී වාමාංශිකයන්ට රාජ්‍ය සාපරාධීත්වයට එරෙහි අපරාධ යුක්තිය සඳහා වන අරගලය, අලුත්කඩේ ‘ධනපති උසාවිය ගැන විශ්වාසය තැබීමක’ට වැඩිමනත් දෙයක් ලෙස නොවැටහෙන්නේ ද ඒ නිසා ය.

පැරණි කතා අමතක කොට ජාතික දියුණ පතා එක්වීම සඳහා වන වික්‍රමසිංහගේ යෝජනාව බෙග් මාස්ටර්ගේ පැරණි ගීතය තරම්වත් අරුතක් උතුරේදී මතු නොකරන්නට හේතුවක් තිබේ. ඒ, යුක්තිය රහිත දෛනික දිවිය වනාහී සාපරාධී ස්වෝත්තමවාදය හා ජාතික අසමානත්වය විසින් ඉකුත් දශක හතක් තිස්සේ දායාද කළ දාසභාවය චිරස්ථායී කොට ඊට යටත්වීමක් බව දෙමළ ජනයා දන්නා නිසා ය. යුද්ධයේ නිල නිමාව නිවේදනය කොට දස වසකට පසුත්, පාරවල් අවුරා වයෝවෘධ මව්වරු පොලිස් බාධක නොතකා පෙළපාලි යන්නේත්, හමුදා කඳවුරු දොරටු අභියස රැකවල්ලා ගත් සන්නද්ධ සෙබළුන්ගේ අවි බලය නොතකා දුගී ජනයා වාඩිලා සිටින්නේත්, යුක්තියෙන් තොර දිවියක නිස්සාරත්වයට එරෙහිව සමස්ත සත්තාවෙන්ම සටන් කිරීමේ වැදගත්කම ඔවුන් දන්නා බැවිනි.

යුක්තිය රහිතව, සමූල ඝාතකයන් හා සහජීවනයට හුරු වූ තිස් වසක අඳුර වනාහී දකුණේ අප රක්නා උරුමයයි. යුක්තිය පතා දුක් ගැහැට විඳි අධිෂ්ඨාන පූර්වක දස වසක ආලෝකය දෙමළ ජනයාගේ පරාජය නොවූ දීප්තිමත් උරුමයයි.☐

(මෙම ලිපිය 2019 පෙබරවාරි 24 වැනිදා 'අනිද්දා' පත්‍රයේ මුල්වරට පළවේ.)

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS