Language Switcher

V2025

මරාගෙන මැරෙන මානසිකත්වය ගැන කාලෝ කියන කතාව !

පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා සිදු වූ ඛේදවාචකය ගැන ඔබේ ප්‍රතිචාරය කුමක් ද?

ක්‍රිස්තියානි පල්ලි තුනකට සහ සුඛෝපභෝගී හෝටල් තුනකට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රචණ්ඩකාරී ඛේදවාචකයට සහභාගි වූ අය අතර දැනඋගත්, වත් පොහොසත් තරුණයෙක් සිටි බව ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තුමන් නිවේදනය කර තිබුණා. එතුමාට මෙන් ම තව බොහෝ දෙනකුට උභතෝකෝටික ප්‍රශ්නයක් වී තිබුණේ, දැන උගත් අතමිට සරු දේශපාලනික ඉල්ලීමක් හෝ ලෞකික අරමුණක් රහිත තරුණයකු එවැනි මරාගෙන මැරෙන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලියකට සිය කැමැත්තෙන් ම සහභාගී වුණේ මන්ද යන්නයි. අරටු බැහැපු හේතුවාදියකු ලෙස වියපත් වී සිටින මට වෙසෙසින් ආගමික සංසිද්ධියක් වූ ඒ ක්‍රියාකාරීත්වයේ සමාජ-ජීව විද්‍යාත්මක (සොසියෝ බයොලොජිකල්) යාන්ත්‍රණය අවබෝධ කරගැනීම එතරම් අපහසු නැහැ.

මොකක් ද ඔබ පවසන ඔය සමාජ-ජීව විද්‍යාත්මක යාන්ත්‍රණය ?

 එය අවබෝධ කරගැනීමට අවශ්‍ය පසුබිම සූදානම් කරගැනීම සඳහා පසුගිය පාස්කු ඉරිදා අපේ රටේ සිදු වූ සිද්ධියට සමාන සිද්ධියක් දෙකක් මතක් කර ගනිමු. අප කාටත් මතක තිබෙන සිද්ධියක් තමයි, 2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිදු වූ ත්‍රාසජනක ජවනිකාව. එදා දැන උගත් අත මිට සරු වෘත්තිකයන් 19 දෙනෙක් අහස් යානා දෙකක් පැහැරගෙන ඒවා ජගත් වෙළෙඳ සංකීර්ණයේ කුලුනු දෙක ඉලක්ක කරගෙන පියාසර කළා. කුලුනු දෙක විනාශ වී එහි සිටි 3000කට අධික මිනිසුන් සංඛ්‍යාවක් ප්‍රහාරයෙන් මිය ගියා.

ඔබ ඔය සඳහන් කරන්නේ ඔසාමා බින් ලාඞ්න් සැලසුම් කර ක්‍රියාත්මක කළ ත්‍රාසජනක ප්‍රචණ්ඩත්වය නේද?

ඔව්. ඔසාමා බින් ලාඞ්න් කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ. ඔහු ධනවත්, බුද්ධිමත්, අධිෂ්ඨානශීලී සංවිධානාත්මක හැකියාවකින් ආඪ්‍ය පුද්ගලයෙක්. ඔහුගේ අධීක්ෂණය යටතේ මරාගෙන මැරෙන ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයන් 19 දෙනා සහ අපේ රටේ පසුගිය දා සිදු කළ ප්‍රචණ්ඩත්වයට සහභාගී වූ කල්ලිය අයත් වන්නේ එක ම කුලකයකටයි.

මොකක් ද ඒ කුලකය?

 එය පවසන්න කලින් අප රටේ පසු ගිය දා සිදු වූයේ ලෝකයේ මින් පෙර සිදු නොවූ විරූ සිද්ධියක් නොවන බව තහවුරු කරගැනීම සඳහා තව එවැනි එක සිද්ධියක් ගෙන බලමු. 2005 වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර විනීත පෙනුමක් ඇති ක්‍රිකට්ලෝලී තරුණයන් හතර දෙනෙක් ඒ නගරයේ උමං දුම්රියක සහ බස් රියක මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ක්‍රියාවලියක නිරත වුණා. එමගින් මිනිසුන් සිය ගණනක් ඝාතනය වුණා.

නිව්යෝක් නුවර, ලන්ඩන් නුවර සහ අපේ රටේ දැන උගත් ධනවත් තරුණයන් නිරත වූ මේ කියාවලිය එක ම මාදිලියේ සංසිද්ධි බව පැහැදිලියි. ඒ සංසිද්ධි ක්‍රියාත්මක වීමට හේතුභූත වූ ප්‍රධාන ම සාධකය කුමක් ද?

 ඔවුන් සියලු දෙනාට පොදු වූ තීරණාත්මක සාධකය තමා, දැඩි භක්තියකින් ඔවුන් අදහපු දේව නිර්මාණවාදී ආගම. ඔවුන්ගේ ආගමේ අන්තර්ගත වූ අදාළ ඇදහීම් පද්ධතිය ඉතා මැනවින් පැහැදිලි කර තිබෙන්නේ ඔසාමා බින් ලාඞ්න් නමැත්තායි. ඔහුට අනුව මෙලොව ඇත්තේ සර්ව බලධාරී එක ම දෙවියෙකි. එසේ ම ඒ දෙවියන් වහන්සේ නොපිළිගන්න අය මිථ්‍යාදෘෂ්ටිකයන්. එමෙන් ම ඔවුන් සමූලඝාතනය කර විනාශ කළ යුතුයි, කියා ඔහු කියනවා. ඒ විනාශ කිරීමේ ක්‍රියාවලියේ නිරත අයට ඒ කටයුත්තේ දී මිය ගිය හොත් එසැණින් පාරාදීසය හෙවත් ස්වර්ග රාජ්‍යය හිමි වන බව ඔවුන් දැඩි ව ම විශ්වාස කරනවා. මේ විශ්වාසය එක ම පරම සත්‍ය ලෙස බින් ලාඞ්න් වැනි අය විශ්වාස කරන බැවින් එය නොපිළිගන්නා සියලු දෙනා මෙලොව ජීවත් වීමට සුදුසු නැති මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙසටයි, ඔවුන් ඉතා භක්තිමත් ව එකහෙලා ම කිසි දු විචිකිච්චාවකින් තොර ව විශ්වාස කරන්නේ. මරාගෙන මැරෙන ක්‍රියාවලියට ඔවුන් යොමු වන්නේ ඇදහිය නොහැකි භක්ත්‍යාදර අධිෂ්ඨානයකින්.

එවැනි විශ්වාස පද්ධතියක් පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

 දේව නිර්මාණවාදී ආගමික විශ්වාසයේ නෛසර් ගික ස්වභාවය එය බවට එමට සාක්ෂ්‍ය තිබේ. එය මා සලකන්නේ එක්තරා උමතුවක් ලෙසයි. බුද්ධිමත් උගත් පුද්ගලයන් තුළ හුදෙක් මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙස ඔවුන් සලකන සෙස්සන් මරාගෙන මැරීමෙන් ස්වර්ගය හිමි වන්නේ යැයි ඒත්තු ගැන්විය හැකි එක ම බලවේගය දේව නිර්මාණවාදී ආගමික සංකල්පයයි.

බින් ලාඩන් කුලකයට අයත් නොවන විචාර බුද්ධියෙන් තොර ආගමික විශ්වාස තිබෙන තවත් පුද්ගලයන් සිටිනවා ද?

 ලොව පතළ කීර්තියක් දිනා සිටින රිචඞ් ඩෝකින්ස් නමැති අග්‍රගණ්‍ය විද්‍යාඥයා ඔහුගේ ‘ගෝඞ් ඩිලූෂන්’ හෙවත් ‘දේව මුලාව’ නමැති කෘතියේ එවැනි උදාහරණයක් දී තිබෙනවා. ඒ ‘කර්ට් වයිස්’ නමැති විද්‍යාඥයායි. ඔහු සුප්‍රකට චිකාගෝ විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව (ජියෝලොජි) පිළිබඳ උපාධිධරයෙක්. ඊට අමතර ව ලෝකයේ අග්‍රගණ්‍ය විශ්වවිද්‍යාලය ලෙස සලකනු ලබන හාවඞ් විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි දෙකක් සතු බුද්ධීමතෙක්. ක්‍රිස්තු ලබ්ධිකයකු වන ඔහු ශුද්ධ වූ බයිබලය සලකන්නේ දේව භාෂිතය ලෙසයි. බයිබලයට අනුව අපේ පෘථිවිය වසර 10,000කට පමණ පෙර නිර්මාණය වූ බව, නිගමනය කිරීමට සිදු වෙනවා. නූතන භූ විද්‍යාව හේතු සහිත ව නිගමනය කර ඇත්තේ, පෘථිවිය වර්ෂ බිලියන 4. 5කට පමණ පෙර බිහි වූ බවයි. ‘කර්ට් වයිස්’ විද්‍යාඥයා කියන්නේ විද්‍යාව විශ්වාස කටයුතු සාක්ෂ්‍ය සහිත ව පෘථිවියේ වයස ඉතා පැරණි බව ඔප්පු කළත් බයිබලය දේව භාෂිතය ලෙස ඔහු පිළිගන්නා බැවින් පෘථිවියේ වයස අවුරුදු දස දහසක් බව ඔහු විශ්වාස කරන බවයි. මේ අනුව දේව නිර්මාණවාදී ආගම් භක්තිය නිසා ඕනෑ ම බහුබූතයක් විශ්වාස කිරීමට අතිශය බුද්ධිමත් වශයෙන් සැලකෙන අයත් පෙළඹෙන බව පැහැදිලියි. ඉතින් පසුගිය පාස්කු ඉරිදා මරාගෙන මැරුණු උගත් බුද්ධිමත් ධනවත් තරුණයා ගැන කවර කතා ද?

එහෙත් ලෝකවාසී ජනයාගෙන් අතිමහත් බහුතරය කිසියම් ආගමක් අදහන බව ප්‍රකට කරුණක්. එබැවින් ආගම් මිනිස් සංහතියට හානිදායක දෙයක් ම නොවේ ද?

 මෙහි දී පළමුවෙන් කිව යුත්තේ අපේ රට සම්බන්ධයෙන් සලකා බලන විට මුළු ලෝකය ම ආගම යන සංකල්පයෙන් පොදුවේ හඳුන්වන දේව නිර්මාණවාදී සංකල්පයට ඉඳුරා ම ප්‍රතිවිරුද්ධ සංකල්පයක් එනම් මනුෂ්‍ය බුද්ධියට පමණක් ප්‍රමුඛත්වය දෙන බෞද්ධ දර්ශනය මෙරට ජනගහනයෙන් 70%කට අධික පිරිසක් විශ්වාස කරන බවයි. ඒ බෞද්ධ දර්ශනය, අප මෙතෙක් ලෝක විෂය මට්ටමෙන් කතා කළ ආගමික සංකල්පවලට සෘජු ව අදාළ වෙන්නේ නෑ. ලෝක ඉතිහාසය තරමක් හැදෑරීමෙන් මට අවබෝධ වී තිබෙන්නේ යම් දේව භාෂිතයක් ලෙස සැලකෙන ශුද්ධ වූ ලියවිලි මත පදනම් වූ ආගම්වලින් මිනිස් සංහතියට බොහෝ සෙයින් හානි වී තිබෙන බවයි. මෙහි දී මගේ සිහියට නැගෙන්නේ විද්‍යාව හා ක්‍රිස්තියානි ආගම අතර අතීතයේ දී ඇති වූ සුප්‍රකට මතභේද දෙකක්. එකක් සූර්යා වටා පෘථිවිය පරිභ්‍රමණය වන බව පැවසූ ක්‍රිස්තු භක්තික ගැලීලියෝ නමැති විද්‍යාඥයාට රෝමානු කතෝලික සභාව විසින් කළ අඩම්තේට්ටම්. ගැලීලියෝ මරා නොදැමුවත් බෲනෝ නමැති විද්‍යාඥයා පුළුස්සා මරා දැමීමට තරම් 16 වැනි සියවස්වල දේවනිර්මාණවාදී සංකල්ප දැඩි ව සහ කෲර ලෙස කියාත්මක වුණා. ්‍රඑහෙත් 19 වැනි සියවස පමණ වෙනකොට සත්ව පරිණාමවාදය ඉදිරිපත් කළ චාර්ල්ස් ඩාවින් සහ සමහර ආගමික නායකයන් අතර විවිධ ගැටුම් මතවාද ඇති වුවත් ඒවා කෙලවර වූයේ මිනීමැරුම්වලින් නම් නෙමේ. සර්වබලධාරී දෙවියන්ගේ නාමයෙන් නවීන ලෝකයේ මේ 21 වෙනි සියවසේ දී පවා මිනීමැරුම් සිදු වන්නේ ඔසාමා බින් ලාඩන් කුලකයට අයත් උදවියගෙන් පමණි.

සෑම ආගමකට ම අයත් ශුද්ධ වූ ග්‍රන්ථයක් තිබෙනවා නේද?

 වර්තමානයේ ආගමක් ලෙසින් ව්‍යාප්ත වී තිබෙන බුදුරදුන් වදාළ දර්ශනය උන්වහන්සේ ග්‍රන්ථාරූඪ කළේ නෑ. ඒ සම්ප්‍රදායේ උගන්වනු ලබන්නේ ආගමික විශ්වාසයක් ‘මේ අපගේ පිටක සම්ප්‍රදායයි හෝ මෙය වදාරා ඇත්තේ අපේ ගුරු ය, යන හැඟීමෙන් හෝ එවැනි කරුණු මත පදනම් ව හෝ පමණක් යමක් නොපිළගත යුතු බවයි. ජේසූන් වහන්සේ ද කිසිවක් ග්‍රන්ථාරූඪ කළේ නැහැ. ඒ නිසා ශුද්ධ වූ බයිබලේ පැරණි ගිවිසුම කෙසේ වෙතත් ජේසූන් වහන්සේට අදාළ නව ගිවිසුම ගැන මරාගෙන මැරෙන මතභේද මෑත අතීතයේ දී නම් මතු වී නැහැ. එහෙත් නබි නායක තුමා පවසා ඇත්තේ අල්ලා දෙවියන් තමාට පැවසූ දේ එලෙසින් ම එතුමාණන් සටහන් කළ බවයි. ඒ නිසා ම නවීන ලෝකයේ නබිනායක තුමා වදාළ ධර්මය අදහන බින් ලාඩන් වැනි අය ඒ දේව වදන් එලෙසින් ම දැඩි ව විශ්වාස කරන බව ඇස් පනා පිට පෙනේ.

21 වෙනි සියවසේ දී සත්‍ය ලෙස සලකන දේ හුදෙක් ග්‍රන්ථයක් ඇසුරෙන් ලබාගත යුතු ය, කියා ඔබ විශ්වාස කරනවා ද?

 ඉතිහාසයෙන් මා උගත් එක් පාඩමක් වන්නේ බුද්ධි විරෝධී විද්‍යා විරෝධී දේ දේව නිර්මාණවාදී ආගම්වල අන්තර්ගත වී තිබෙන බවයි. ඒවා පදනම් කරගෙන නොයෙක් විනාශකාරී දේ සිදු කර ඇති බව පෙනේ. මෙහි දී සිහියට එන්නේ ‘වෝල්ටෙයාර්’ නමැති ප්‍රංශ ජාතිකයා පැවසූ දෙයකි. එනම් ‘ඔබට බහුබූත ඒත්තු ගැන්විය හැකි අයට ඔබව ම්ලේච්ඡ ක්‍රියාවලට ද යොමු කළ හැකි ය,’ යන මහඟු කියුමයි. පසුගිය පාස්කු ඉරිදා අපේ රටේ සිදු වූ ම්ලේච්ඡ ආගමික ප්‍රචණ්ඩත්වය, මේ ප්‍රකාශය හරහා මැනවින් විනිවිද දැක ගත හැකි නොවන්නේ ද? ■

 (අනිද්දා )

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found