සජිත්ගේ දේශපාලන සතිය - සජිත් රට වටා යෑමේ සූදානමක

සජිත්ගේ දේශපාලන සතිය - සජිත් රට වටා යෑමේ සූදානමක

මැදපෙරදිග අර්බුදය හමුවේ ආණ්ඩුවට දිනෙන් දින අභියෝගාත්මක තත්ත්ව නිර්මාණය වන බවක් පෙනෙන්නට තිබේ.

ඉන්දන අර්බුදය ඉදිරියේ දී විදුලි අර්බුදයක් දක්වා දික් ගැස්සෙන ස්භාවයක් මෝදු වෙමින් ඇත්තේ, බාල ගල්අඟුරු ගෙනඒමත් සමග නොරොච්චෝලේ බලාගාරයෙන් දෛනිකව නිපදවන විදුලිය සංඛ්‍යාත්මකව අඩු වෙමින් යන පසුබිමක ය. 

දිනෙන් දින අඩුවෙන නොරොච්චෝලේ විදුලිය

විදුලි ජනනයේ අර්බුදයක් නැතැයි ආණ්ඩුව කියමින් ගියත්, මේ වනවිට නොරොච්චෝලේ විදුලි බලාගාරය තුළ දෛනික විදුලි නිෂ්පාදනයේ අඩුවක් පෙන්නුම් කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිකුරාදා පාර්ලිමේන්තුව හමුවේ බරපතළ හෙළිදරව්වක් සිදු කළේ ය.

s1

“මෙන්න පසුගිය දින කිහිපයේ නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික පද්ධතියට සපයන්න බැරිවුණ මෙගාවොට් ගණන්: 13 වැනිදා මෙගවොට් 130යි, 14 වැනිදා 135යි, 15 වැනිදා132යි, 16 වැනිදා 148යි, ඊයේ බ්‍රහස්පතින්දා දවසේ මෙගවොට් 176යි. මේක සිදුවුණේ බාල ගල්අඟුරු නිසා, ඒත් බාල ගල්අඟුරු යොදවන්න උණේ යුද්ධය නිසා නෙමෙයි, ගල්අඟුරු ගෙනාවේ දකුණු අප්‍රිකාවෙන්. ඒ නිසා යුද්ධය නෙමෙයි මේ විදුලි අර්බුදයට හේතුව බාල ගල්අඟුරු ගෙන්වීම. මහජන උපයෝගීතා කොමිසමට අනුව ජුනි - ජුලි මාසවල දී නොරොච්චෝලේ බලාගාරය නඩත්තු කටයුතුවලට වහන්න වෙනවා. ඒ නිසා විදුලි කප්පදුවක් පවා සිදුවෙන්න පුළුවන්. මේක බරපතළ තත්ත්වයක් මොනවද රජය ඒ තත්ත්වය පාලනයට ගන්න ක්‍රියාමාර්ග...?”

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීමේ හමුවට හදිසියේ ගිය සජිත්

s3

යෝජිත විදුලි ගාස්තු වැඩි කිරීමට පෙර පළාත් මට්ටමින් මහජන අදහස් ලබාගැනීමට මහජන උපයෝගීතා කොමිසම BMICH හී සංවිධානය කළ බස්නාහිර පළාත් වැඩසටහනට විපක්ෂ නායක සජිත් ගියේ තම අදහස් ද ප්‍රකාශ කරන්නට ය.

එහි දී අදහස් දැක්වීමට පැමිණි සිටි පිරිසෙන් සජිත්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර එහිදී සජිත් වැඩි අවධානයක් යොමු කළේ ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බව කියන විදුලි කප්පාදු ගැනය.

s2

 “ අද වන විට ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු නිසා විදුලිය නිෂ්පාදනයට ගැටලු මතුවෙමින් තිබෙනවා. විදුලිය උත්පාදනයේ දී පිරිවැය අඩු කිරීම ගැන සැලසුම් සකස් කළ යුතුයි. එහි දී LNG භාවිතය ගැන කතා කළත් ඒවා කොළයකට සීමා වී ඇති බව තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම ඉන්ධන බලාගාරවලට වඩා සූර්ය බලශක්තිය ලාභදායකයි. ඛණිජ තෙල්වලින් විදුලි ඒකකයක් නිපදවන්න රු. 59ක් විතර වැය වෙනවා, ඒත් මේ අලුතින් මතුවෙලා තියෙන ඛණිජ තෙල් අර්බුදය හමුවේ ඒ මුදල තවත් ඉහළ යන්න පුළුවන්. ඒත් සූර්ය බලාගාරවලින් විදුලි ඒකකයක් නිපදවන්න යන්නේ රු.45.80ක් වගේ අඩු මුදලක්. එහෙම නම් අපි ඉදිරියේ දී තීන්දු තීරණ ගනිද්දී, මේ ගැන අවධානය යොමු කළ යුතුයි කියලා මම යෝජනා කරනවා.”

‘බොරු මදිවට හොරු’ අනුර Fail; ජනතාවට අමාරුයි

මාලිමා ආණ්ඩුවට වසරකුත් මාස 6 ගතවෙද්දි ඔවුන් කියූ බොහෝ සටන් පාඨ පුස්සක් වෙමින් ඇති අතර මැතිවරණ වේදිකාවල දුන් පොරොන්දු දිනපතා අමතක වෙමින් ඇති බවක් පෙනෙන්නට තිබේ.මේ වනවිට මහා ගල්අඟුරු වංචාවක් ගැන ආණ්ඩුවට චෝදනා එල්ලවී තිබේ, පසුගිය වසරේ ජනවාරියේ රේගුවෙන් කන්ටේනර් 323ක් පැන්නීම ගැන චෝදනාවක් එල්ල විය. බාල ඖෂධ, ටෙන්ඩර් කඩකරමින් සුළං බලාගාර පිරිනැමීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැටලු ආදිය මෙන් ම: ගොවියන්, ධීවරයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, සරසවි සිසුන් ආදී විවිධ කේෂ්ත්‍රවලින් මේ වනවිට ආණ්ඩුවට විවිධ දෝෂාරෝපණ එල්ලවෙමින් පවතී.

ඒ අතර ම මැදපෙරදිග අර්බුදය හමුවේ ඇතිවන බලපෑම් කළමණාකරණය කරගැනීම අතින් දුර්වල තත්ත්වයකට පත්වෙමින් ඇති ආණ්ඩුවේ සැබෑ නිරුවත හෙළි කරන මහජන කථිකාවතක් ඇති කරන්නට සමගි ජන බලවේගය දැන් තීන්දු කර ඇත.

දිවයින පුරා ආසන මට්ටමින් සංවිධානය කරන මෙම වැඩසටන නම් කර තිබෙන්නේ, ‘බොරු මදිවට හොරු’ - අනුර Fail; ජනතාවට අමාරුයි” කියා ය.

s4

සමගියේ කළමණාකරන කමිටුව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ජා වට ගණනාවකින් පසු එළැඹි තීරණය වුණේ විරෝධතා සංවිධානය කිරීමට වඩා රටට මොකක්ද වුණේ සහ මාලිමාව රටට මොකද කළේ යන්න ජනතාවට පැහැදිලි කිරීම වැදගත්ය යන්න ය. ඒ අනුව ක්‍රියාත්මක කරන මේ වැඩසටනේ පළමු පියවර මේ සෙනසුරාදා අවිස්සාවේල්ල ආසනයෙන් ආරම්භ වනු ඇත.

ඊට අමතරව ඉරිදා - ගම්පහ, සඳුදා - බොරැල්ල, අඟහරුවාදා - කැළණිය යන ආසනවල සංවිධානය කරන එම මහජන කථිකාවතට සම්පත් දායකයින් ලෙස, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, නීතීඥ අජිත් පී. පෙරේරා, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, වරුණ රාජපක්ෂ, චිත්‍රාල් ප්‍රනාන්දු, චමින්ද විජේසිරි, වෛද්‍ය චමල් සංජීව යනාදිහු සහභාගී වීමට නියමිත බව සඳහන් ය.

කබීර්ට ලක්ෂ්මන් කළ සුබ පැතුම

s5

විපක්ෂ නායක සජිත් පසුගියදා කෑගල්ලට ගියේ එහි නව ආසන සංවිධායක ලෙස පත්වූ ප්‍රියංක සේනානායක ගේ පක්ෂ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමට ය.

සජිත් ගේ දේශපාලන මෙහෙයුම් කටයුතුවල මූලිකයා වුණ ලක්ෂ්මන් ෆොන්සේකා ද එහි ගොස් තිබූ අතර කබීර් හෂීම් අසලට පැමිණි ඔහු එක්වර ම ඔහුට සුබ පැතී ය.

“ඔබතුමාට ඉස්සරහ දී ලොකු වගකීමක් භාරවෙනවා කියලා ආරංචියි... ඒ ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි. අපි හැමෝම එකතුවෙලා මේ පක්ෂයත්, පාක්ෂිකයත් ජයග්‍රහණය කරවමු.”

කබීර් සහ ලක්ෂ්මන් අතර ටික වේලාවක් වෙනම ම අදහස් හුවමාරුවීමක් සිදුව තිබූ අතර එතැන සිටි කිහිප දෙනෙකු පවසා තිබුණේ 'මාර සාකච්ජාවක් ඔවුන් දෙදෙනා අතර සිදුවුණා,' කියා ය.

මේ අතර පසුගිය බදාදා රාමසාන් උපවාසය නිමිති කරගනිමින් කොළොන්නාවේ උත්සව ශාලාවක පැවති ඉෆ්තාර් උත්සවයකට සජිත් ප්‍රේමදාස සහභාගී වී තිබුණි.

s9

එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා සංවිධානය කර තිබූ එම උත්සවයේ විශේෂත්වයක් වුණේ, සමගියේ සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් නාගරික මන්ත්‍රීවරු පිරිසක් සහ ප්‍රාදේශීය ක්‍රියාකාරිකයින් රැසක් ද ඊට එක්ව සිටීම ය.

පෙර මතක අවදි කළ සජිත් ගේ බිග් මැච් ගමන

s10

කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරගයට විපක්ෂ නායක සජිත් ගියේ තමන් ගේ ළඟම මිතුරා වූ ලක්ෂ්මන් ෆොන්සේකා ද කැටුව ය.

සජිත් එහි යන විටත්, රාජකීය විද්‍යාලයේ ආදිසිසුන් වූ ගයන්ත, හර්ෂණ, හර්ෂ, කිංස්, ඇතුළු පිරිසක් ක්‍රිඩාංගනයට පැමිණ සිටි අතර, සජිත්ට ක්‍රීඩා මණ්ඩප පුරා යන්නට සිදුවුණේ ඔහු මේ විද්‍යාල දෙකේ ම ආදි සිසුවකු වීම නිසා ය. එහි දී දරුවන් ගෙන්, තරුණයින් ගෙන් සහ ආදි සිසුන්ගෙන් සජිත්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර ඡායාරූප ගැනීම්ද  අඩුවක් නැතිව සිදුවන අයුරු පෙනෙන්නට තිබුණි. පැරණි රාජකීයෙක් වූ එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායක ද සජිත්ව වැලඳ ගනිමින් කිව්වේ, “මේ මැච්එ කට ආවා වගේ ම සිකුරාදා අපේ තාත්ත ගේ වැඩේටත් අමතක නොකර එන්න ඕන හරිද,” යනුවෙනි.

s11

“හරි, හරි මට මතකයි අනිවාර්යෙන්ම මම එනවා,”

එහෙම කියපු සජිත් සහ නවීන් විනාඩි කිහිපයක් පුද්ගලිකව කතාබස් කරන අයුරු ද අවට සිටි පිරිසට නිරීක්ෂණය විය.

එදා නවීන් මතක් කර තිබුණේ සිකුරාදාට යෙදී තිබූ දිවංගත ගාමිණි දිසානායක මහතා ගේ 84 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණි දිසානායක මහතා ගේ පිළිරුව අභියස සංවිධානය කර තිබූ සමරු උළෙල ගැන ය.

s12

මේ සටහන ලියන අවස්ථාව විනවිට එම උත්සවය පැවැත්වෙමින් තිබූ නිසා අප එහි සිදුවූ තිරය පිටුපස සිද්ධි ගැන අවබෝධයක් නොමැති බවත් සඳහන් කළ යුතුම ය. ගාමිණි දිසානායක මහතා ගේ මෙම සමරු උත්සවය පැවැත්වීමට නියමිත වුණේ සජිත්ගේ සහ රනිල්ගේ ප්‍රධානත්වයෙන් ය. එහෙත් රනිල් වික්‍රමසිංහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතව ඇතත්, සජබ සහ එජාප ලොකු, ලොකු ඇත්තන් ගේ එකමුතුවේ තවත් පිටුවක් මේ උත්සවය පිටුපස ද සැඟව ඇති බව අපට කියන්නට හැකි ය. 

මම | බංගලා හන්දියේ ලියුම්කරු 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න