Language Switcher

V2025

දොස්තර ශාෆිට කිසිම 'ත්‍රස්ත ගණුදෙනුවක්' නැති බව සියළු බුද්ධි අංශ තහවුරු කරයි

කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරී මොහොමඩ් ශාෆි දේශිය හෝ විදේශීය කිසිදු ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සම්බන්ධතා පවත්වා නැති බවත්, එවැනි සංවිධානවලින් මුදල් ලබා ගෙන නොමැති බවත් ශ්‍රී ලංකාවේ සියළුම රාජ්‍ය බුද්ධි අංශ විසින් සහතික කර තිබේ.

රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවාගෙන සිටින වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ශාෆි සම්බන්ධයෙන් මෙතෙක් සිදු කෙරුනු විමර්ශන වල වාර්තාවක් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පසුගිය 27 දින ඉදිරිපත් කරමින්, සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා විවෘත අධිකරණය හමුවේ පවසා තිබෙන්නේ තම දෙපාර්තමේන්තුව විසින් බුද්ධි අංශ වෙතින් කැඳවන ලද සියළුම වාර්තාවලට අනුව, වෛද්‍ය ශාෆි 'කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධවි නොමැති බවට' ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙන බව ය.

hejaaz hizbullah cropනීතීඥ හිජාස් හිස්බුල්ලාහ්

එසේම වෛද්‍ය ශාෆි විසින් උපයාගෙන ඇති මුදල් සහ අනෙකුත් දේපල සියල්ලත්, නීත්‍යානුකූල පදනමින් උපයාගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

හත්සිය පනහකට අධික සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ඇතුලත් පිටු 210 ක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිස් නිලධාරීන් අධිකරණයට දන්වා ඇත්තේ වෛද්‍යවරයා අත් අඩංගුවේ රඳවා තබා ගැනීමට කිසිදු හේතුවක් නැති බව ය.

දුරකථන දත්ත

යුද හමුදා බුද්ධි අංශය, නාවික හා ගුවන් හමුදා බුද්ධි අංශ, පොලිස් බුද්ධි අංශවලින් පමණක් නොව, රාජ්‍ය බුද්ධි සේවය හා ජාතික බුද්ධි කාර්යාංශයෙන් ද වාර්තා ලබාගෙන ඇති බව CID ය උපුටා දක්වන වෛද්‍ය මොහොමඩ් ශාෆි වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පවසයි.

“ඒ සෑම බුද්ධි අංශයකින්ම අපිට එවුවේ වෛද්‍ය ශාෆි කිසිම ත්‍රස්ත ක්‍රියාවකට හෝ සැක කටයුතු කිසිම දෙයකට හෝ සම්බන්ධ වී නැතැයි කියන සහතිකයයි. ඒ කාරණාව තමයි ඒ එස් පී තිසේරා උසාවියේ දී කිවුවේ," යි වෛද්‍ය මොහොමඩ් ශාෆිගේ නිර්දෝෂී භාවය අධිකරණය විසින් පිළිගැනීමෙන් අනතුරුව නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් දුරකථනය ඔස්සේ ජේඩීඑස් හා කියා සිටියේය.

වෛද්‍ය ශාෆි‍ගේ දුරකථන දත්ත විධිමත් ජංගම උපකරණ වෝහාරික පරීක්ෂණයකට (Mobile Device Forensics) ලක් කර, ලබා ගෙන ඇති ඇමතුම් විමර්ශනයේ දී බුද්ධි අංශ විසින් ලේඛණගත කොට තිබෙන කිසිදු සැකකටයුතු සංවිධානයක් හෝ පුද්ගලයකු සමඟ එම දුරකථනයෙන් ඇමතුම් ලබා දී නොමැති බැවින් වෛද්‍යවරයාට එරෙහිව ත්‍රස්තවාදි කටයුතු සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් එල්ල කළ නොහැති බවත් සහකාර පොලිස් අධිකාරී තිසේරා විසින් අධිකරණය හමුවේ කියා තිබේ.

අවම වශයෙන් දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් හෝ සැක කළ නොහැකි පුද්ගලයකු රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටිම අසාධාරණ යැයි තමන්ට හැඟෙන බව සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණය හමුවේ පැවසී යැයි ද නීතිඥ හිස්බුල්ලාහ් කියා සිටි.

dig wasantha kithsiri jayalath 1නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්

වෛද්‍යවරයාට එරෙහිව ඇති රැඳවුම් නියෝගය අහෝසි කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ආරක්ෂක ලේකම්වරයාගේ අවධානයට යොමු කරන බවද සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

පොලිසියට විරුද්ධව CID පරීක්ෂණ

ජනමාධ්‍ය සහ සිංහල ජාතිකවාදී භික්ෂුන් ඇතුළු දේශපාලකයන් විසින් නගන ලද “වඳ සැත්කම්” චෝදනා විශ්වාස කොට මුස්ලිම් වෛද්‍යවරයා අත් අඩංගුවට ගත් කුරුණෑගල පොලිසිය ඔහු වරදකරු කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවද අධිකරණයේදී හෙළිවී තිබේ.

"වෛද්‍ය ශාෆිව අත්අඩංගුවට අරන් තියෙන්නේ සැකය සහ ව්‍යාජ තොරතුරු මත කියලයි පොලිස් අධිකාරිවරයා කිවුවේ. ඒ වගේම ඔහු දැඩිව කියපු එකක් තමයි කුරුණෑගල පොලිසිය වෛද්‍ය ශාෆිගෙන් කට උත්තර අරන් ඒවයේ දමා තිබෙන්නේ ඒ ප්‍රකාශ ලබාගත් දින නොව, එයට පෙර දිනයන් බව. ඒ කියන්නේ, එම දින වකවානු කුරුණෑගල පොලිසිය විසින් ව්‍යාජව දමපු ඒවා. පොලිස් අධිකාරිවරයා මහේස්ත්‍රාත්තුමාට කිවුවා එහෙම ව්‍යාජ දින දමලා ප්‍රකාශ ගැනීම නීත්‍යානුකූල නෑ, ඒ නිසා ඒ සම්බන්ධවත් තම දෙපාර්තමේන්තුව විසින් කරුණු විමර්ශනය කරනවා කියලා,” යි නීතිඥ හිස්බුල්ලාහ් කීය.

නීතිඥවරයාගේ කරුණු දැක්වීම අනුමත කළ, වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පරික්ෂණ කණ්ඩායමේ නිලධාරියෙකු ද ජේඩීඑස් හා කියා සටියේ වයඹ පලාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් වෛද්‍ය ශාෆිට එරෙහිව කටයුතු කර ඇති ආකාරය සැක කටයුතු බව ය.

"අපි දිර්ඝව හොයලා බැලුවා. වෛද්‍ය ශාෆි කිසිම මුස්ලිම් සංවිධානයක් හෝ අන්තවාදි අදහස් දරන පුද්ගලයන් එක්ක හෝ සම්බන්ධතා පවත්වලා නෑ. පොලිසියෙන් ඔහුව අත්අඩංගුවට අරන් තියෙන්නේ සාක්ෂි තියා සැකයක්වත් නැතුව. අපි කුරුණෑගලින් ඇහුවා ඔය ගොල්ලෝ බුද්ධි වාර්තා මත පදනම්ව ඩොක්ටර් ශාෆිව අත්අඩංගුවට ගත්තනම්, ඒ වාර්තා මොනවද, එයට සාක්ෂි තියනවාද, කෝ ඒ වාර්තා කියලා. එහෙම අහපුවම කුරුණෑගලින් අපිට කියනවා, "එහෙම එකක් නෑ" කියලා," යි අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි එම නිලධාරියා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි තිසේරා විසින් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් හමුවේ දක්වා ඇති කරුණුවලට අනුව, වයඹ පලාත භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ නියෝග මත අත්අඩංගුවට ගන්නා ලද වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විසින් සිදුකෙරුනු විමර්ශන හා අධිකරණය හමුවට ඉදිරිපත් වී ඇති විමර්ශන වාර්තාවල සඳහන් වන කරුණු පිළිගත හැකි මට්ටමේ ඒවා නොවේ.

'දිවයිනේ' රන්දුනු

සිසේරියන් සැත්කම් සිදු කිරීම අතරතුර කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක් කිරීම පිළිබඳව වෛද්‍ය මොහොමඩ් ශාෆිට එරෙහිව එල්ල කොට ඇති චෝදනාවන් සනාථ කිරීමට හැකි කිසිදු සාක්ෂියක් ලැබි නැතැයි ද සහකාර පොලිස් අධිකාරිවරයා විසින් අධිකරණය හමුවේ පවසා ඇත. තම දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදුන් කාන්තා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් 17 දෙනෙකු සහ හෙදියන් 70 දෙනෙකු වෛද්‍ය ශාෆිට එරෙහිව නැගෙන වඳ සැත්කම් චෝදනා ප්‍රතික්ෂේප කළ බව ද හෙතෙම කියා තිබේ.

hemantha randunu cropමාධ්‍යවේදී හේමන්ත රන්දුණු

වෛද්‍ය ශාෆිට එරෙහිව එල්ල කර ඇත්තේ ව්‍යාජ චෝදනා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පිළිගන්නේ නම්, එවැනි චෝදනාවක් නිර්මාණය කරන ලද පොලිස් නිලධාරීන්ට එරෙහිව ගනු ලබන්නේ කවර නම් පියවරක් දැයි විමසීමේදි, ඉහත සඳහන් නිලධාරිවරයා ජේඩීඑස් හා කියා සිටියේ සමාජ කැලඹිමක් ඇතිවන ආකාරයේ ව්‍යාජ පුවතක් නිර්මාණය කරමින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමත්, පිළිගත නොහැකි මට්ටමේ චෝදනා ඉදිරිපත් කිරීමත් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ප්‍රමුඛ කුරුණෑගල පොලිස් නිලධාරින්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන බව ය.

"මේක පෞද්ගලික කෝන්තරයකට කරපු විමර්ශනයක්. මේ ව්‍යාජ පුවත නිර්මාණය කරපු මාධ්‍යවේදියාවත් අපි අත්අඩංගුවට ගන්නවා. ඔවුන් කිසිම පදනමක් නැතුවයි දිගින්, දිගටම මේ ගැන ව්‍යාජ තොරතුරු පළ කෙරුවේ. ඩීඅයිජී ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වෙනවා, වඳ සැත්කම් ප්‍රවෘත්තියට එයාගේ කිසිම සම්බන්ධයක් නෑ, ඒක 'දිවයින' පත්තරේ නිර්මාණයක් ය කියලා. ප්‍රවෘත්තිය ලියපු හේමන්ත රන්දුනු කියන මාධ්‍යවේදියා සීඅයිඩීයට දුන්න ප්‍රකාශයේ තියනවා මේ වඳ සැත්කම් කතාව ලොකු සංඛ්‍යාවක් දාලා ලිවුවේ එයාගේ අදහසකට අනුවය කියලා. ඒ කියන්නේ මේක මේ හැමෝම එකතුවෙලා ගොතපු බොරු කතාවක්," බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ජේඩීඑස් වෙත ප්‍රකාශ කළේය.

කෝටි පහේ එන්තරවාසි

වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුවත්, 'දිවයින' පුවත්පත දිගින්, දිගටම පලකළ ව්‍යාජ පුවත් අතර එක් පුවතක් වුයේ වෛද්‍ය ශාෆිගේ කුඩා දියණියන් දෙදෙනා විසින් ඔවුන් අධ්‍යාපනය ලබන පාසලේ සිසුවියන්ට කාන්තා සනීපාරක්ෂක තුවා බෙදා දී ඇති බවත්, එසේ කිරීමේ අරමුණ එම දැරියන්ද වඳ භාවයට පත් කිරීම බවත් ය.

manoj abeydheera cropමාධ්‍යවේදී මනෝජ් අබේධීර

කෙසේ නමුත් මෙම පුවත පළ කිරීමෙන් පසුව වයස අවුරුදු පහලොවේ සහ දහයේ කුඩා ගැහැණු දරුවන් දෙදෙනකු වන ඔවුන් ඉමහත් ලැජ්ජාවට සහ අපකීර්තියට පත් වු බවත්, එම පුවත් හේතුවෙන් ඇතැම් පාර්ශවයන් වෙතින් ජීවිත තර්ජන පවා එල්ලවිය හැකි වටපිටාවක් නිර්මාණය වෙමින් තිබෙන බවත් පවසමින් එම දරුවන් දෙදෙනා විසින් 'දිවයින' පුවත් පතේ කර්තෘ අනුර සොලමන්ස්, එම පුවත ලියු මනෝජ් අබේධීර සහ තවත් අයෙකුගෙන් රුපියල් මිලියන පනහ බැගින් වන්දි ඉල්ලා නඩු පවරන බව දැනුම්දෙමින් මේ වනවිට එන්තරවාසි යව ඇති බවත් බවයි නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් සඳහන් කළේය.

මේ අතර නඩුව පැවති දා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි අතුරලියේ රතන භික්ෂුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමෙන් පසුව පිටතට පැමිණ දැඩි ආවේගයෙන් යුතුව මාධ්‍ය හමුවේ කියා සිටියේ, මෙතෙක් කල් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව රැගෙන ආ ගරුත්වය “ශාෆි ෂාබ්දීන් වෙනුවෙන් කඳුළු හලමින් සහකාර පොලිස් අධිකාරි තිසේරා විසින් කෙළෙසා දමන ලද” බව ය.

දහස් ගණනක් සිංහල මව්වරුන් වඳ භාවයට පත්කළ බවට චෝදනා නගා මුස්ලිම් වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීමට මුල් වූයේ තමන් බව මීට ඉහත පවසා තිබූ හෙතෙම, දේශීය පොලිස් පරීක්ෂණය හෙලා දකිමින් ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කරනා බවට ශපථ කළේය.

"මේ වගේ පහත් හැසිරීමක් මම සීඅයිඩී යෙන් බලාපොරොත්තු වුණේ නෑ. මේ වාර්තාව අපි මුළු රටටම හෙළි කරනවා. මේ වාර්තාව අපි මුළු ලෝකෙටම හෙළි කරනවා. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්වල වෛද්‍ය පීඨයක් මා එක්ක එකඟ වුණා මේ ගැන පරීක්ෂණ කරන්න. ලබන සතියේ ඉන්දියාවේ, දිල්ලියේ වෛද්‍ය පීඨවල ඉන්න ආචාර්ය, මහාචාර්යවරුන් ලංකාවට ගෙන්වලා මේ ගැන පරික්ෂණ කරනවා කියලත් මම කියනවා," යි රතන භික්ෂුව කීය.

මේ අතර ජේඩීඑස් වෙත වාර්තා වන පරිදි ත්‍රස්ත විමර්ශනයක රහසිගත බුද්ධි තොරතුරු 'දිවයින' පුවත්පතට ලබා දෙමින් 'රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් වයඹ පලාත භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට එරෙහිවත්, වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ශාෆිට එරෙහිව ජාතිවාදි සහ ආගම්වාදිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරමින් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ව්‍යාජ මත පතුරුවා හැරිමේ චෝදනා මත අතුරලියේ රතන භික්ෂුවට එරෙහිවත් පරික්ෂණ ඇරඹීමට ඉහළ පෙලේ පොලිස් නිලධාරින්ගේ අවධානය යොමුව ඇති බව ය.

© JDS

කිත්සිරි විජේසිංහ විසිනි