Language Switcher

V2025

"තුන්වෙනි යාමය" ට ජීවය දෙන්න - සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ හඬට සවන් දෙන්න

‘සිනමාවේ ආන්දෝලනාත්මක වෙනස් කම් ඇති කරපු සිනමාකරුවො කීපදෙනා අතරට මාවත් ගැනුනා. ඉතින් මට හිතෙනවා මම තනිවම වම් ඉවුරේ හිටගෙන ඇති වැඩකුත් නැහැ කියලා. බලාගෙන ඉන්දැද්දි තමන්ගේ නිර්මාණ නැතිවෙලා යනවා’

මේ හඬ අවදිකරන්නේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායකයි,

මෙරට විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක් වන තුන්වෙනි යාමය සිනමාපටයේ, ධර්මසිරි බණ්ඩාරනායක සතු පටල පිටපත විනාශවී යාමත් සමඟ සිනමා සංරක්ෂණය ගැන නැවත කතාබහක් ආරම්භ වෙලා. දැනට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ චිත්‍රපට සංරක්ෂණාගාරය තුළ අප රටේ නිපදවු චිත්‍රපට දෙසිය හතලිස් ගණනක ප්‍රමාණයක් තැන්පත් කරල තිබෙන බවත් එම චිත්‍රපටත් මෙලෙස විනාශවිය හැකි බව ඔහු පවසනවා.

රටක පැරණි සිනමා කෘතීන් කියන්නේ ඒ රටේ ඉතිහාසය. එවැනි තත්ත්වයක් යටතේ මෙලෙස විනාශවන්නේ රටේ ඉතිහාසය. මේ තත්ත්වයට ප්‍රධානම හේතුව සිනමා කෘතීන් සංරක්ෂණය සඳහා සංරක්ෂණාගාරයක් රට තුළ නොපැවතීමයි.

තුන්වෙනි යාමය චිත්‍රපටය මම ආරක්ෂා කරා ඒ ආරක්ෂා කරපු චිත්‍රපටිය 2008 වර්ෂයේදී ගාල්ලේ පැවති සිනමා උත්සවයකට චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් ඒ චිත්‍රපටය මගෙන් ඉල්ලා සිටියා. මම ඒක ලබා දුන්නා. ඒ ලබාදීමෙන් අනතුරුම ඒ චිත්‍රපටය නැවත මා අතට පත් වුණේ නැහැ. පත් නොවුන නිසා මම මේ ගැන සොයා බලන්න හිතුවා. චිත්‍රපටි පිටපත ගැන නැවත මගේ අවධානය මේ සඳහා යොමුවුනේ 2107 ප්‍රේමසිරි කේමදාස චිත්‍රපටි උළෙලට ඉදිරිපත් කරන්න ඉල්ලපු අවස්ථාවේ.

ඒ අවස්ථාවේ එක්තරා ස්ථානයක තිබිලා මට මේ චිත්‍රපටිය සොයාගන්න පුලුවන් වුණා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙලා තිබුණා. චිත්‍රපටයේ දළ සේයපටය රඳවා තිබුණේ සරසවි චිත්‍රාගාරයේ. එහි තිබුණ නෙගිටිව් පටය සොයාගෙන ගියහම එය තිබුණෙ සම්පූර්ණයෙන්ම විනාශයට වෙලා. ඒ වගේම මා සතුව පැවති 2017 සොයාගන්නට තිබුණු ප්‍රදර්ශන පිටපතත් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙලා තිබුණා. හැම කෑන් එකක්ම ඇරල බැලුවම චිත්‍රපටය ඇතුලෙ ලොකු දියරයක් ගලමින් පැවතුනා. තාර හා සමාන තත්ත්වයට පත් වෙලා තිබුණා. මම චිත්‍රපටි සංස්ථාවෙනුත් ඉල්ලුවා මට මේ‍කෙ DCP පිටපතක් ලබා දෙන්න කියලා. මොකද මීට පෙර මගේ රේඛාව චිත්‍රපටයත් මගේ හංස විලක් චිත්‍රපටත් DCP ක්‍රමයට සකස් කරල ලබා දුන්නා චිත්‍රපට සංස්ථාව විසින්. ඉතින් මේ අවස්ථාවේ ඩොලර් 16000 ක මුදලක් සමග ඉන්දියාවේ රාම් ප්‍රසාද් රසායනාගාරය වෙත එම විනාශයට පත් වුණ ප්‍රදර්ශන පිටපත නොපමාව එවන්න කියලා ඔවුන් කියා සිටියේ පිටතේ දැන් තිබෙන තත්ත්වය තව මාසයක් පමණ යන විට සම්පූර්ණයෙන්ම නැතිවෙලා යන්න ඉඩතියෙනවා කියලා.

මේ වේදනාවෙන් මම මුහුණු පොතේ තිබූ සටහනට දැකලා ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා එවල තිබුනා ඩොලර් 16000 ක් හොයාගන්න අපි උදවු කරන්නම් කියල. චිත්‍රපටිය අපි බේරගමු කියලා. ඒ විශ්වාසයෙන් මම ගිහින් වානිජ බැංකුවේ ගිණුමක් ආරම්භ කළා. කෙනෙකුට පුලුවන් මගේ චිත්‍රපටය බේරගන්න මේ මාසය ඇතුලෙ උදව් කරන්න ඒ අයටත් නොහැකි වෙතොත් ඒ චිත්‍රපටය මගේ සිනමා ජීවිතෙන් මකා දමන්නට මම කල්පනා කරනවා.

ඒක මේ රටේ මේ චිත්‍ර පටය නැරඹූ 80 දශකය තුල මේ චිත්‍රපටයට ආදරය කල මේ චිත්‍රපටය තුල පැවති ප්‍රේමසිරි කේමදාසයන්ගෙ සංගීත නිර්මාණයට ආදරය කළ ඒ වගේම මේ චිත්‍රපටය රඟපෑ ඒ නළුනිළි පරම්පරාවට ආදරය කළ ඒ සියලුම අයට ඒ චිත්‍රපටය ආයිත් දකින එක හීනයක් බවට පත්වෙනවා මා ඇතුලු ඒ හැම කෙනෙකුටම.

ගිණුම් හිමිකරු - කේ. ඩී. බණ්ඩාරනායක
ගිණුම් අංකය - 8116030966
බැංකුව - ලංකා වාණිජ බැංකුව (Commercial Bank )
ශාඛාව - රීඩ් ඇවනියුව් - කොළඹ 04

සම්පූර්ණ මුදල ගෙවා චිත්‍රපටය සංරක්ෂණය කරගන්නට යම් මහතෙකු හෝ ආයතනයක් ඉදිරිපත්වන්නේ නම් එම පාර්ශවයට චිත්‍රපටය පවරාදීමට හෝ මම එකග වෙමි.