Language Switcher

V2025

පහනට තෙල් නිර්මාතෘ පේරේදී සකලඥාණ නම් විය !

පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නායක ග්‍රේෂන් කෙරමිණියගේ හිටියේ පේරාදෙනියේ මට ජූනියර් බැච් එකේය. 
 
සමහරු ඔහුට පිස්සු යැයි සිතා ඔහුට සිනාසෙති. සමහරු ඔහුට අනුකම්පා කරති. එහෙත් මට නම් කිවහැක්කේ ගොනාට ඇඳගෙන ඇත්තේ ඔහු නොව අප වීමට ලොකු ඉඩක් ඇති බවය. මට එහෙම හිතෙන්නේ ඔහුගේ අතීතය ගැන ඇති අත්දැකීම නිසාය. 
 
ඔහු නවකයෙකු ලෙස පැමිණි පසුව සංස්කෘතය සහ හෙල බස මුසු, ලිඛිතයට ආසන්න ඔහුගේ අමුතු කතා ශෛලිය නිස ඔහු ප්‍රසිද්ධියටත්, උපහාසයටත් පාත්‍ර විය. ඔහු එදා අවුරුදු විස්සක යෞවනයෙකු ලෙස කතා කළේද අද ඔහු අර වීඩියෝවේ කතා කරන විදියටමය. නවකවද සමයේදී ජ්‍යෙෂ්ඨයන් කොතෙක් කීවත්, කුණුහරපයෙන් බැන්නත්, විහිළුවට ලක් කළත් ඔහු තම ශෛලිය වෙනස් කර ගත්තේම නැත. "මෙය මාගේ ස්වාභාවික කථන ශෛලියය, ජ්‍යෙෂ්ඨතුමනි" යි ඔහු කීවේය. ඔහුව වෙනස් කරන්නට බැරි තැන ඔහුට ඒ වනවිට තිබූ කාඩ් එක වෙනුවට, "සකලඥාණ" යන ගැලපෙන නම යොදා ජ්‍යෙෂ්ඨයෝ ඔහුව හදන වඩේ අතහැර දැමූහ. ඔහු බැච් එකේ ලොකුම බයිට් එක ලෙස සැලකුනි. 
 
ඔහු එසේ ජ්‍යෙෂ්ඨයන්ට අවශ්‍ය තරමටම බයිට් වෙමින් ජෝකරයෙකු ලෙස සිටින අතරතුර ඔහු වැදගත් රහසක් අනාවරණය කළේය. එනම් ඔහුට දේහ ලක්ෂණ අනුව ශාස්ත්‍ර කීමේ හැකියාවක් ඇති බවය. 
 
මුලින් ඔහුව රැග් කිරීමේ හා බයිට් කිරීමේ කොටසක් ලෙසම පටන් ගත්තත් ඔහු කියන සාත්තරවල යම් ඇත්තක් තිබෙන බව බොහෝ අයට තේරෙන්නට පටන් ගත්තේය. ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් බොහෝ දෙනා ඔහුගෙන් ශාස්තර අසන්නට පෙළ ගැසුනහ. මුලින් මුහුණ දෙස බලා ශාස්තර කියූ අපේ සකලඥාණතුමා, පසුව අවශ්‍යතාවය අනුව යම් යම් ඉල්ලීම්ද කළේය. "ජ්‍යෙෂ්ඨතුමාට හැකිනම් ඔබතුමාගේ නළල මඳක් රැලි ගන්වා පෙන්විය හැකිද?" ඒ වනවිට සාත්තරය ඇසීමේ නොතිත් ආශාවෙන් සිටි ජ්‍යෙෂ්ඨයෝ නළල මඳක් රැලි ගන්වා පෙන්වූහ. "ඔබතුමාගේ නළලෙහි රැලි පිහිටන ආකාරයෙන් කිව හැක්කේ ඔබතුමා පමණ ඉක්මවා යහළුවන් විශ්වාස කිරීමෙන් අලාභ සිදුකරගන්නා බවයි" ඒ ගැන කල්පනා කරන ජ්‍යෙෂ්ඨයන්ට ඔහු පවසන දෙයෙහි සත්‍යයක් ඇති බව පෙනෙන්නට වෙයි. 
තවත් විටෙක ඔහු මෙසේ කියයි. "ජ්‍යෙෂ්ඨතුමියනි, මට ඔබතුමියගේ විළුඹ මඳක් දක්වාලිය හැකිද?" ඉතින් එතුමියලා එසේ දක්වාලති. සකඥාණ එවිට ඒ ඇසුරෙන් ඇයගේ චරිත ලක්ෂණයක් හෝ පලාඵලයක් නිරාවරණය කරයි. 
 
ඔහුගේ මේ දුර්ලභ හැකියාව කොතෙක් ප්‍රචලිත වූයේද කිවහොත් පීඨ භේදයකින් තොරව, දේශපාලන භේදයකින් තොරව බොහෝ දෙනා ඔහුගේ ශාස්තර ඇසූහ. සමහරු ඔහුගේ ශාස්තර විශ්වාස කළේ නැත. සමහරු ටිකක් විශ්වාස කළහ. විශ්වාසම කරන අයත් සිටියහ. කෙසේ වෙතත් ඒ සියලු දෙනා ඔහු කියන පරිදි නළල් තලය රැලි කළහ, විළුඹ දක්වාලූහ, නිකට උස්සා ග්‍රීවය පූර්ණ ලෙස ප්‍රදර්ශනය කළහ. 
 
දෙමසකට පසුව නවකවද සමය අවසන් විය. එයින් පසුව ඔහු මෙසේ කීවේය. "දේහ ලක්ෂණ බලා ශාස්ත්‍ර කිව හැකියැයි මා කීවේ මුසාවකි". 
 
ඒ අනුව රැග් ලීඩර්ස්ලා ඇතුලු ජ්‍යෙෂ්ඨ කේසර සිංහයන්ට එක දෙයක් අවබෝධ විය. එනම් මේ කපටි හිවලා විසින් ඇත්තෙන්ම නම් කර ඇත්තේ නවකවද කාලයේදී ජ්‍යෙෂ්ඨයන්ව රැග් කිරීම බවයි. නවකවද සමයෙන් පසුව මොකුත් කිරීමට බැරි බැවින් ඒ ජ්‍යෙෂ්ඨයෝ එක්කෝ තමන්ටම හිනාවෙමින් නැතිනම් දත්කූරුකමින් නිකම් සිටියහ. වෙන මොනවා කරන්නද? 
නවකවද සමයෙන් පසුව ඔහුව කාටත් අමතක විය. ඒ බැච් එකේ දේශපාලනය කරන, බ්‍රයිට්, ක්‍රීඩක, ලස්සන ආදී කිසිම වැදගත් කුලකයකට ඔහු අයත් වූයේ නැත. කතාකරන විදියේ විකාර සහගත ගතිය හැර අන් කිසිදු විශේෂත්වයක් ඔහුට තිබුනේ නැත. කොටින්ම ඔහුගේ කාඩ් එක මිස සත්‍ය නමවත් කාටවත් මතක තිබුනේ නැත. 
 
නමුත් මිත්‍රවරුණි, එයින් වසර විසිහතරකට පසුව අද ඔහුගේ බැච් එකේ ලංකාවේ ප්‍රසිද්ධම පුද්ගලයා සකලඥාණ හෙවත්, පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෲ ග්‍රේෂන් කෙරමිණියගේ මහතාය. 
 
ඡන්ද දේශපාලනයට අත්‍යවශ්‍යම එක සාධකයක්, එනම් ප්‍රසිද්ධිය ඔහු එක රැයින් සතපහක්වත් වියදම් නොකර හැකි උපරිමයෙන් අත්කරගෙන හමාරය. ඒ බැච් එකේ දේශපාලනය කළ කිසිම ශිෂ්‍යයෙකුව සමාජය දැන් දන්නේ නැත. 
 
එසේම ඔහු අපරාජිතව 18 වසරක් නගර සභාව නියෝජනය කරන්නේය යන කරුණ මගින් කියවෙන්නේ ඡන්ද දේශපාලනේ නාඩිය බොහෝ දෙනෙකුට වඩා හොඳින් ඔහු දන්නා බවය. 
 
ඉතින් මිත්‍රවරුණි, ඔහුට පිස්සු යැයි ඔබ තවමත් හිතනවානම් පහත කරුණු දෙක කෙරෙහි ඔබගේ අවධානය යොමුකරන්න. එනම්, (1) 18 වසරක් නගර සභාවේ සිටි කෙනෙකුගේ ඊලඟ දේශපාලන ඉලක්කය පළාත් සභාවය. (2) පළාත්සභා ඡන්දය තව කෙටි කාලයකින් පැවැත්වීමට තීරණය කර ඇත. 
 
සීරියස් හෝ වියත් චරිත වූ පමණින් ඔබට ඡන්දයක් දිනන්නට නොහැකිය. ඒ සඳහා වැදගත්ම දේ ප්‍රසිද්ධියයි. ඒ සඳහා අපේක්ෂකයෝ මිලියන ගණන් වියදම් කරති. එහෙත් අවශ්‍ය ප්‍රසිද්ධිය ලබා ගත නොහැකිව අසාර්ථක වෙති. මතක තබා ගන්න. ඔබ දැනට දන්නා ගාලු දිස්ත්‍රික්කයේ එකම පළාත්පාලන නියෝජිතයා කෙරමිණියගේ මහතාය. එහෙම කෙනෙක් ඉන්නා බව අප කවුරුවත් ගිය සතියේ දැන සිටියේ නැත. මේ සතියේ ඔහු ගැන නොදන්නා කිසිම දේශපාලන සත්ත්වයෙකු මේ රටේ නැත. 
 
ප්‍රසිද්ධිය ලද පසුව චරිතය ගොඩනගා ගැනීම ඒ හැටි අපහසු නැත. අනෙක් අතට ඡන්දයක් දිනන්නට සීරියස් චරිතයක් වෙන්නම ඕනෑද? සීරියස් අය වැඩි බැවින් ඔවුන්ගෙන් සමහරු පරාජය වෙන අතරතුර, නිශ්චිත සමාජ තීරුවක් දැනුවත්ව ආමන්ත්‍රණය කරන මර්වින් සිල්වලා ජයගනිති. මර්වින් සිල්වාට ඡන්දය දීමට සැදී පැහැදුණු පිරිසක් සිටින බව සත්‍යයක් සේම දන්දිනා මැතිණිය දේවතාවියකව ස්වර්ණමාලී චෛත්‍යයට අධිගෘහිතව සිටින බව විශ්වාස කරන පිරිසක්ද මේ රටේ සිටින බවද සත්‍යයකි. ඒ ගැන ඔබට සැකද? එසේනම් ධම්මික පැණියට පෝලිම් ගැසුනු ජන ගඟ සිහියට නගාගන්න. ඒත් මදිනම් ගයාන් මහතාගේ රාවණා වීඩියෝවලට වැටෙන කමෙන්ට්ස් කියවන්න. 
 
ඒ සමාජ තීරුව නිශ්චිතවම සහ දැනුවත්ව අමතන පළමුවැන්නා අපගේ හිතවත් ග්‍රේෂන් කෙරමිණියගේ මැතිතුමා විය හැකිය. 
 
දැනට මේ ඇති. 
 
දේශපාලනයේ සියල්ල දත් ජ්‍යෙෂ්ඨතුමන්ලා ඔබ යැයි ඔබ හිතනවාද? එසේනම්, 
"නළල මඳක් රැලිගන්වා ගන්න"
 
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්‍ය
අනුරුද්ධ ප්‍රදීප්ගේ ෆේස්බුක් පිටුවෙනි