හැමදාම වගේ ම මේ අවුරුද්දෙ ගේය පද රචනා කෘතිය වෙනුවෙන් දුන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ගැන ආයෙත් කතා පටන් අරන්.
මම මේ ලියන්නේ ඒ සම්මානලාභියා ගැන නෙවෙයි. ඔහු මගේ සාහිත්‍ය වීරයෙක්. මම ලියන්නේ ක්‍රමය ගැන.
විමසිය යුතු ප්‍රශ්න තුනක්
1. අපි අගයන්නේ කුමක්ද?
සම්මානයේ නම "වසරේ හොඳම ගේය පද රචනා කෘතිය වෙනුවෙන් වූ රාජ්‍ය සාහිත්‍ය සම්මානය". එහි අගයන්න ඕන "සාහිත්‍යමය" ගුණය යි.
එහෙම නම්, එහි "සුගායනීය" බව අනිවාර්යයෙන්ම අගය විය යුතු යි. ගේය පදයක් කවියක් නොවන්නේ එම ගුණය නිස යි.
එහෙනම් විනිශ්චය මණ්ඩලයේ සාහිත්‍යවේදියකුට අමතරව, සංගීතය ගැන මනා අවබෝධයක් ඇති ප්‍රාමාණිකයකුත් සිටිය යුතු නොවේද?
2. 40% කොන්දේසිය
මා දන්නා පරිදි දැනට ඇති නීතිය අනුව, පොතක ඇති ගේය පද රචනාවලින් 40%ක් ගීත බවට පත්වී තිබිය යුතුයි.
නමුත් මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් මනින්නේ පද රචනයේ ගුණය ද? නැතිනම් ගායකයෙකුට, සංගීත අධ්‍යක්ෂවරයෙකුට අනුව එය ගායනා කිරීමට ඇති හැකියාව යන්න ද?
මෙම කොන්දේසිය නිසා අසාධාරණ තරගයක් සහ අනවශ්‍ය වංචාවලට ඉඩ ලැබෙනවා. තම පොතේ ඇති පද ගායනා වූ බවට වැරදි සඳහන් කිරීම් දකින්න ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
3. එකම පද නැවත නැවත පළ කිරීම
සමහර කෘතිවල අඩංගු වන්නේ පෙර පළ කළ කෘති කිහිපයක වූ ජනප්‍රිය පද රචනාවල තෝරාගත් එකතුවක් නැවත පළ කිරීමක්. එය අලුත් නිර්මාණකරණයට කරන අසාධාරණයක්.
යෝජනාව
මේ ක්‍රමය වෙනස් කළ යුතු යි. 40% කොන්දේසිය තිබේනම් එය ඉවත් කර, ඒ වෙනුවට කෘතියේ ඇති පදවල "ගායනා කළ හැකි" බව, එහි ළයාන්විත බව සහ සාහිත්‍ය ගුණය ඇගයීමට හැකි සංයුක්ත විනිශ්චය මණ්ඩලයක් පත් කිරීම වඩා සාධාරණයි. එවිට කිසිවෙකුට වංචා කිරීමට අවශ්‍ය වන්නේ නැත. හිමි සම්මානය හිමි කෙනාට ලැබෙනු ඇත.
මෙය කිසිවෙකුට මඩ ගැසීමක් නොවේ. ක්‍රමය හදමු.

සටහන - කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
