Language Switcher

V2025

පාවා දෙනු ලැබේ.

ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය විසින් තම පියාගේ මිනීමරුවන්ට විරුද්ධව ඇමරිකා එක්සත් ජනපදයේදී නඩවක් ගොනු කරනු ලැබුවේ වසරකට පමණ පෙරය. එහිදී ප‍්‍රධාන විත්තිකරු ලෙස සටහන් කර තිබුණේ ඇමරිකන් ජාතිකයකු වූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂය. එහෙයින් පසුගිය දිනෙක එම නඩුව සදහා පෙනී සිටින්නට ඔහුට සිදු වූයේ ලංකාවේ මෙන් තමන්ට ඕනේ හැටියට නඩු තීන්දු ගන්නට ඇමරිකාවේදී නොහැකි නිසාය. ඒ තමන්ගේ පදයට නටන උන් ඇමරිකාවේ නැති නිසාය.

ඇමරිකාවේ නඩුවේදී ලසන්තගේ කේස් එකෙන් ගැලවුණත් ඉන් බේරෙන්නට මෙරට රණවිරුවන් පාවා දුන් නිසා රණ විරුවන්ට ආදරය කරන මේ රටේ සැබෑ දේශපේ‍්‍රමීන්ගෙන් නම් ගැලවුමක් නැති බව තේරුම් ගත් පොහොට්ටුවා අයියා සොයා ගියේ අවුරුදු 10ක් බොරු කියූ අත්දැකීම්වලින්වත් එකක් ගෙන ෂේප් කර ගත හැකිදැයි බලන්නටය. කාල්ටන් නිවස හද්ද පාලූය. බලූ බල්ලෙක් නැත. තමන්ගේ නඩු තීන්දුව දැනගත් මිනිස්සු ගෙදර උන්ව ගහලා පන්නලාදෝයි බැලූ අපේක්ෂකයා කුස්සිය පැත්තට ඇදුණේ සිරිලය අක්කාවත් සිටිනවාදැයි විමසිල්ලෙනි. ඒ පැත්තේද බල්ලෙත් තියා පොල්ලෙල්ලෙක්වත් නැති බව දැනගත් අපේක්ෂකයාගේ කකුල් දෙක වෙවුලන්නට විය. දැන් නම් මුන් ගහලා පන්නලාමය වෙන්නට ඇතැයි හිතාගත් අපේක්ෂකයා තව ටිකකින් මාවත් ගහලා පන්නනු ඇතැයි සිතා බිත්තිය දිගේ බඩගා ගෙට පනින්නට උත්සාහ කළේය. හමුදාවේ පුහුණු කාලෙදිත් හොරට පුහණුවීම් කර නිසා හරියට බිත්තියටවත් නැග ගන්නට නොහැකි බව තේරුම්ගත් අපේක්ෂකයා ජනේලයක්වත් ඇර ඇද්දැයි විපරම් කළේ ඒකෙන්වත් ඇතුළට පැනගන්නටය.

කෙසේ හෝ බාගෙට වසා තිබූ ජනේලයෙන් ඇතුළට පැනගත් පොහොට්ටුවා කාමරටකට රිංග ගත්තේ මොකෙක්වත් දැක්කොත් ජනාධිපතිවරණෙ එන්නත් කලින්ම තමන් නැවත ඇමරිකාවට එළවන බව සක්සුදක් සේ දැනගත් නිසාය. කාමරය ඇතුළට එත්ම කොහෙන්දෝ පැමිණි එළියක් තමන් හරහා ගොස් හේමලයා ප‍්‍රාතීර්භූත විය.

මොකක්ද අර ඇමරිකාවෙදි කෙරුවේ ?

වෙන මොක්කද ඉතින්. මම බේරෙන එකනේ.

ranawiru 10000pxඒ උනාට ඉතිං මේ රටේ රණවිරුවො ඇමරිකාවට පාවල දුන්නනේ ?

රණවිරුවෝ පාවල දීල හරි තමන් බේරෙන්න කියල තමයි අයිය මට කියල දීල තියෙන්නේ. දැන් බලපං ලසන්තව මරල තියෙන්නේ රණවිරුවෝ කියල ඔප්පු උනානේ. ඉතින් ඒකට මම වගකියන්න ඕනේ නෑනේ. රණවිරුවන්ට නායකත්වය දුන්න අය තමයි වග කියන්නේ.

කවුද එතකොට රණවිරුවන්ට නායකත්වය දුන්නේ ?

ඇයි ෆොන්සේකනේ. එයා තමයි යුද්ධ කළේ. අපි යුද්ධ කළේ නෑනේ.

ලකුණු දා ගන්න තියෙද්දිනම් පැනල භාර ගන්නේ යුද්ධ කළේ රාජපක්ෂලා කියලා නේද?

ඔව් ඉතින් ලකුණු ගද්දි එහෙමයි. ඇග බේර ගද්දි මෙහෙමයි. ඒක තමයි රාජපක්ෂ තියරිය.

දැන් එතකොට උසාවියෙන් පිළිගත්තද ඒ කතාව ?

පිළිගත්ත. පිළිගත්ත. කොහොමටත් ඉතින් ලංකාවේ උන්ට වැඩිට ඇමරිකාවේ අධිකරණෙටත් තමන්ගේ රටේ එකා වටිනවනේ.

ඒ කියන්නේ ලංකාවේ හමුදාව ලසන්තව මැරුව කියල එයාලා පිළිගත්ත ?

ඔව්. ඔව්. පිළිගත්ත

එතකොට දැන් හමුදාවට විරුද්ධව අපරාධ චෝදනා එල්ල වෙයිනේ?

ඉතිං හොදයිනේ.

මොකක්ද හොදේ ?

ඇයි යකෝ අපිට එතකොට මෙන්න හමුදාවට අපරාධ චෝදනා එල්ල කරනෝ කියලා කෑ ගහන්න පුලූවන්නේ. අර විමලට එහෙම මේ දවසවල මාතෘතාවක් නැතුව ඉන්නේ.

පාවාදීල ඉවර වෙලා එහෙම කෑ ගැහුවට වැඩක් නෑනේ ?

හැමදාම කෙරුවේ ඒක්නේ. දැන් බලපං යුද්ධෙ කෙරුවෙ කොහොමද ? අයියගේ චන්දෙ දිනන්න කොටින්නට සල්ලි දීල බලය අරගෙන. මේ පාර සහරාන් දාලා ගේමක් ගහලා ඒක පාවල දෙනවා. යකෝ අපේ පරම්පරාවෙම තියෙන්නේ පාවල දීම තමයි.

ඉතින් ඕක මිනිස්සු පිළිගනීද?

දැන් ආණ්ඩුවේ උන් හැමදේම කරන්නේ නීතියට. උන් ඒකෙන් පිට යන්නෙ නෑ. ඉතින් අපිට ගේම ගහ ගන්න එක ලේසියි. අපේ හරක්ට මොනව කිව්වත් ඉතින් පිළිගන්නවානේ.

ඒ වුණාට රණවරුවෝ පාවා දීපු සීන් එක නිසා අර ගොම්පිලගෙයි විමලෙගෙයි මුඛ පූට්ටු වෙලා ඉන්නේ ?

තව දවස් දෙක තුනයි. අපේ උන්ට අමත වෙනවා. ඊට පස්සේ පරණ තැටිය ගහන්න පුලූවන්.

අර සහරාන්ට සල්ලි දුන්න සීන් එක කෙහෙලියම පිළිගත්තේ ?

ඔව් ඉතින් ඒක බොරුවක් නෙමෙයිනේ.

එතකොට බෝම්බෙට රාජපක්ෂලා සම්බන්ධයි කියන එකත් බොරුවක් නොවෙයිනේ ?

බ බ බ බ ඒවට උත්තර දෙන්න මම බැදිලා නෑ. අනික අහන හැම එහෙකටම උත්තර දෙන්න ඕනෙත් නෑ.

අන්න සජිත් විවාදෙකට එන්න කියලා ?

කියල නම් තමයි. මම ඉතින් සද්ද නැතුව ඉන්නවා.

ඇයි සිංහයා වගේ අභියෝග කරන්න පුලූවන්නේ ?

අනේ අභියෝග ගන්න ගිහින් නරිය වෙන්න ඕනේ නෑනේ. ඔන්න මම කියන් ප‍්‍රශ්න ටික අහලා. උක්කර ටික ලියලා දෙනවනම් මම එනවා. කොහෙද? මම සූස්ති ඩයල් එකට කියලා බලන්නංකෝ වැඬේ ඒකටවත් ගන්න. එහෙ වුණොත් අර දිල්කි කෙල්ලට හරි කියලා වැඬේ ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ.

අර ආයුර්වේදේ තුළින් කෘෂිකර්මේ දියණු කරන්නේ කොහොමද?

ඒවා උඹ දන්නේ නෑ. මම ඉගෙන ගත්තේ ඇමරිකාවේදී. උඹලට ඕව තේරෙන්නේ නෑ.

පාක්ෂිකයන්ට තේරෙනව ඇති ?

ඔවුන්ට තේරෙනවනම් ඉස්සරහට වෙලා තෙමි තෙමී හුරේ දායිද? අමු හරක්. අර බන්දුල කියපු කතාව තමයි හරි. ගොපල්ලා පස්සේ යන හරක් රැුල වගේ තමයි මුං.

අර රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන කරනව කිව්වේ විහිලූවටද?

ඔව් බං එහෙම කරන්න තරම් මොලයක් අපිට කොහෙද? ඇයි උඹ එහෙම ඇහුවේ.

නෑ අර ඔබතුමා අධ්‍යක්ෂ හිටපු ශ‍්‍රී ලංකන්, මිහින් ලංකා කෝටි ගණන් පාඩු වෙද්දි මොකද කළේ කියලා දන්න හින්ද.

ආයේ මාධ්‍ය සාකච්ඡා එහෙම තියන්නේ නැද්ද?

අපේ උන් දෙන්නෙක් තුන්දෙනෙක් දාලා මාධ්‍ය සාකච්ඡා 2ක් තියනවා. වෙන එවුන්ට නම් කියන්නෙත් නෑ.

එතකොට තොරතුරු දැන ගැනීමේ අයිතිය ?

ඒක කන්නද බං. දැන් බලපං මේ ආණ්ඩුව ඔය සේරම දීල ඇනගෙන තියෙන හැටි.

ඒ වුණාට ඒව ඕනෙ නේද?

කාටද ?

සංවර්ධනය වෙන රටවල්වලට ?

එහෙම රටක් නොවෙයි මේක. අපි දිනුවොත් වැඩ කරන්නේ අපිට ඕන විදියට මිසක් මිනිස්සුන්ට ඕන විදියට නොවෙයි.

ඡන්දෙ දෙන මිනිස්සු පවුනේ ?

පව් ගෙවන්න කැමති උන් තමයි ඡන්දෙ දෙන්නේ .

එකෙනෙහිම වාහනයක් කාල්ටන් මිදුලේ නවත්වනවා ඇසුණු අපෙක්ෂකයා ජනේලය අස්සෙන් හොරෙන් බැලූවේ තමන්වත් පැන්නීමට මිනිස්සු ඇවිත් සිටිනවාදැයි කියාය. ඔලූව වසා ගෙන එහෙ මෙහෙ දුවන කොට ඩයල් දෙකක් දුටු අපේක්ෂකයා ඒ විමලෙයි ගොම්පිලයි බව තක්කෙටම අදුර ගත් හෙයින් ජනේලය හැර උන්ද ඇතුළට ගත්තේ කුවුරුන් හෝ පැමිණියහොත් මුන් දෙන්නා පාවා දී බේරෙන්නට හැකි බව සිතමිනි.

අසංක ධර්මශ්‍රී