Language Switcher

V2025

එජාප - පොහොට්ටු ජාතික ආණ්ඩු කතාව අසත්‍යක් : එජාප නිවේදනයක් !

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ  ඇතුළු ආණ්ඩුවේ නියෝජිත පිරිසක් සමග ඊයේ (01) පැවැති සාකච්ඡාව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහයක් ලෙස යැවෙන ප්‍රචාරය අසත්‍යක් බව වාර්තා වෙයි.

අදාළ ප්‍රචාරය  බංකොලොත් දේශපාලන කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පහත දැක්වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ රජය සමග එක්ව ජාතික ආණ්ඩුවක් සෑදීමට ඉල්ලීමක් කර ඇති බවටත්, ඒ සඳහා සූදානමක් ඇති බවටත් ඇතැම් බංකොලොත් දේශපාලන කණ්ඩායම් ගෙන යන ප්‍රචාර එක්සත් ජාතික පක්ෂය ලෙස පිළිකුලෙන් යුතුව බැහැර කරන්නෙමු.

මේ වන විට රට තුළ තිබෙන්නේ දේශපාලන බල කඳවුරු ආරක්ෂා කර ගැනීමේ සටනක් නොව රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කර ගැනීමේ සටනකි. ඒ තුළ බොර දියේ මාළු බාමින් තම පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු .

ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අතර සාකච්ඡාවක් පැවැත්වූයේ රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරොනා වසංගතයෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන තිබෙන සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය රජයට දැනුම් දීම සඳහා ය.

මේ වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙන් ම ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කර ඇති යාන්ත්‍රණයේ තිබෙන අඩුපාඩු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් රජය සමඟ කරුණු සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක කණ්ඩායම කටයුතු කරන ලදී.එහිදී ,
• ජනතාවට සහනාධාර ලබාදීමේ ක්‍රමවේදයේ ඇතැම් ස්ථාන අවස්ථාවාදී පටු දේශපාලනයේ ගොදුරු බවට පත් වීමෙන් මතුව ඇති ගැටලු

• දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් වඩාත් විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම

• ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා ඉදිරිපත්ව ඇති රෝහල් කාර්ය මණ්ඩල සහ වෛද්‍යවරුන්ගේ සුරක්ෂිත බව සම්බන්ධයෙන් වන ගැටළු සහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  අවශ්‍ය  ඇඳුම් සහ උපකරණ හිඟයකින් තොරව ලබාදීමේ වැදගත්කම

• පවතින තත්වය සමඟ  රටේ ආර්ථිකය  අඛණ්ඩව ශක්තිමත්ව පවත්වාගෙන යාම  පිළිබඳව සහ රාජ්‍ය, පුද්ගලික සහ  වැවිලි ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් කම්කරුවන් මෙන්ම දෛනික වැටුප් ලබන  ජනතාව මුහුණදෙන ගැටළු

 • ඖෂධ මිලදී ගැනීමට යාමේදී ජනතාව මුහුණ පා  තිබෙන ප්‍රයෝගික ගැටළු

• කොරෝනා මර්දන වැඩ පිළිවෙල තවදුරටත් සාර්ථක කර ගැනීම සදහා රජ්‍ය අංශය ගෙනයන වැඩපිළිවෙල සඳහා අදාල සියලු පුද්ගලික අංශ වල සහය ලබාගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ අවධානය යොමුවිය.

එක්සත් ජාතික පක්ෂය කිසි විටෙකත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යහපත් දේ විවේචනය කිරීමට හෝ අයහපත් දේ අගය කිරීමට කටයුතු නොකළ ප්‍රතිපත්ති ගරුක දේශපාලන භාවිතාවකින් යුතු පක්ෂයක් බව අවධාරණය කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමු.

මේ වන විට මෙරට පාලන බලය දරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයකි. එබැවින් අර්බුදය ජය ගැනීම සඳහා කටයුතු කිරීමේ වගකීම පැවරෙන්නේ ද ඔවුන්ට ය.

පුද්ගලික මතවාදයන්ට අනුව කැමති වුවද අකමැති වුවද අපට රට මුහුණ දී ඇති තත්වයෙන් රටත් ජනතාවත් මුදාගැනීම සඳහා කටයුතු කරන්නට වන්නේ ඔවුන් සමඟය.

රජය කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ගත් ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි විවේචනයක් එක්සත් ජාතික පක්ෂයට තිබේ. නමුත් මේ විවේචන සිදු කරමින් කටයුතු කළයුතු කාලයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයයි. කළ යුතුව ඇත්තේ සියලු දේශපාලන වාදභේද පසෙකළා සියලු දෙනා එක්ව අඩුපාඩු සොයා බලා කටයුතු කරමින් මෙම බරපතල ව්‍යසනයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට කැපවීම පමණි. එය මේ රටේ සබුද්ධික ජනතාව සහ එක්සත් ජාතික පාක්ෂිකයින් හොඳින් අවබෝධ කරගනු ඇත.

මේ තත්ත්වය තුළ රජය තුල සහ විපක්ෂයේ සිටින  විවිධ බංකොලොත් සහ අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන් කණගාටුවෙන් යුතුව බැහැර කරන අතර එක්සත් ජාතික පක්ෂය සහ රජය එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් මේ දක්වා සිදුව නොමැති බව ද නැවත අවධාරණය කරන්නෙමු.

මාධ්‍ය ඒකකය

එක්සත් ජාතික පක්ෂය