Language Switcher

V2025

විධායකයට ඔටුණු පැළඳවීමේ පෙරහුරුවක්.....

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හළ දිනයේ සිට මාස තුනක් නො ඉක්මවීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය යුතුය.

ජනාධිපතිවරයා විසින් පර්ලිමේන්තුව විසුරුවා හැරියේ, නව පාර්ලිමේන්තුවක් තෝරා ගැනීමේ ඡන්ද විමසීම අප්‍රේල් 25 වැනිදාට සිදු කළ යුතු බවට නියම කරමින්ය.

ඒ අවස්ථාව වන විට ලංකාව තුළ කොරෝනා වසංගතය පැතිරෙමින් තිබුණ ද, මැතිවරණය සඳහා නාමයෝජණා කැඳවූ මැතිවරණ කොමිෂම, මාර්තු 19 වැනිදා තෙක් නාමයෝජණා භාර ගෙන ඊට පසු දින ඡන්ද විමසීම කල් දැම්මේ දින නියමයක් නොමැතිවය.

මෙම තීරණයෙන් විපක්ෂය අමන්දානන්දයට පත්වූ අතර, ආණ්ඩු පක්ෂය සලිත විය. ඉන් අනතුව මාර්තු 31 සහ අප්‍රේල් 01 දින දාතමින් මැතිවරණ කොමිෂම , ජනාධිපති ලේකම් වරයාට ලිපි දෙකක් යොමු කළේය.

ඡන්දය කල් දැමීමෙන් මතුවන ගැටලුව මඟ හරවා ගැනීමට ව්‍යවස්ථානූකූලව ජනාධිපතිවරයා ගත යුතු මග සඳහන්කොට යැවූ මෙම ලිපි දෙකම එක මිටට ගත් ජනාධිපති ලේකම්වරයා , ව්‍යවස්ථාවේ වගන්තිත උපුටා දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට තරමක් සැර පිළිතුරක් සහිත ලිපියක් යොමු කළේය.

මේ අතර තුර කොමිෂමේ සාමාජිකයෙකු වූ රත්නජීවන් හූල් මහතා සහ කොමිෂමේ සභාපතිවරයා අතර, ඇතිවී තිබූ මත ගැටුම පිළිබඳවත්, සභාපතිවරයාගේ අදහා ගත නො හැකි හැසීරීම පිළිබඳවත්, ප්‍රධාන ජනමාධ්‍ය තුළ යම් පමණකටත්, සමාජ මාධ්‍ය ජලා තුළ යහමිනුත් කතා බහට ලක් විය.

කොරෝනා මැඩලීමට පනවන ලද ඇඳිරි නීතිය විටෙක හකුලමින්, තවත් විටෙක දීර්ඝ කරමින් , කිසිදු ස්ථීරසාර ඉලක්කයක් හෝ වැඩපිළිවෙලක් තමන්ට නොමැති බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රදර්ශණය කරමින් තිබිණ.

මේ අතර, හිටපු ඇමතිවරු මෙන්ම ,කැබිනට් ඇමතිවරු ද, ඡන්දය කෙසේ හෝ පැවැත්විය යුතු බවට තර්ක කර්මින් සිටියහ.

අවසානයේ දී අප්‍රේල් 20 රැස් වූ මැතිවරණ කොමිෂම , ඡන්ද විමසීම ලබන ජුනි මස 20 වැනිදා සිදු කරණ බවට තීරණය කොට එය ප්‍රකාශයට පත් කළේය.

ජුනි 02 වැනිදාට පෙර නව පාර්ලිමේන්තුව රැස්වීමට නොහැකි වුවහොත් ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවන බවත්, ඊට පිලියම් සෙවීම සඳහා අධිකරණයේ මඟ පෙන්වීමක් ලබා ගන්නා ලෙසත් ජනාධිපතිවරයාට දන්වන ලෙස සඳහන් කර ලිපි යැවූ මැතිවරණ කොමිෂම, ව්‍යවස්ථා අර්බුදය නිර්මාණය වන අයුරින්ම ඡන්ද විමසීමේ දිනය තීරණය කිරීම හාස්‍ය මෙන්ම පුදුම උපදවන ක්‍රියාවක් විය.

දැන් මේ තත්ත්වය තුළ ජුනි 02 දා සිට රටේ ව්‍යවස්ථා අර්බුදයක් මතුවන බව ස්ථීරය.

ජුනි 02 සිට ජුනි 20 දක්වා කාලය ශ්‍රී ලංකවේ රාජ්‍යයේ ව්‍යවස්ථාදායකයට හිමිව තිබූ බලය අහිමිවීමට නියමිතය. ව්‍යවස්ථාදායකයේ අඛණ්ඩත්වය ඊට අහිමි වනු ඇත. එය ජනතාවගේ පරමාධිපත්‍ය බලය ජනතාවට අහිමි වීමකි.

මෙය බරපතල තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ මෙවැනි බරපතල සිදුවීමක් වන පළමු අවස්ථාව මෙය වනවාට ද සැක නැත.

ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍යයේ පැවැත්ම ඇත්තේ රටේ පුරවැසියා සමඟ ඇතිකර ගත් ගිවිසුම මතය. එම ගිවිසුම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම යනු පුරවැසියා සමඟ ඇතිකර ගත් ගිවිසුම උල්ලංඝණය කිරීමක්ය.

ජුනි 02 දා සිට සිදුවන ව්‍යවස්ථාවේ අඛණ්ඩතාවය අහිමිවීම යනු ජනතාවට ඇති පරමාධිපත්‍ය අහිමිවීමකි. ජනතාව යනු ජනාධිපතිවරයා පත් කර ගැනීමට ඡන්දය දුන් 69 ලක්ෂය පමණක් නොව , රටේ සමස්ත ජනතාවය.

කෙසේ වෙතත් මෙම ව්‍යවස්ථා අර්බුදය වලක්වා ගනිමින් , රට තුළ මතුවී ඇති කොරෝනා වසංගතයට සාර්ථකව මුහණ දීමට ව්‍යවස්ථානුකූලව ගත හැකි පියවරයන් තවමත් විවරව ඇත.

අධිකරණයට ගොස් මඟ පෙන්වීමක් ලබා ගැනීමට තරම් නිහතමානීකමක් ජනාධිපතිවරයාට නොමැති නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වේ 7 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කරමින් මේ ව්‍යවස්ථා අර්බුදයෙන් මිදී වසංගතයට සාර්ථක ලෙස මුහුණදීමේ ඉඩ ප්‍රස්ථාව තවමත් ඉතිරි වී අැත.

ව්‍යවස්ථාවේ 70 වේ 7 වන වගන්තියෙන් කියැවෙන්නේ , පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබූ අවස්ථාවක ,හදිසි තත්ත්වයක් පැණ නැගී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත්වන්නේ නම් , විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව රැස්කළ හැකි බවය. අදාල හදිසි අවස්ථාව පහව ගිය පසු කැඳවූ පාර්ලිමේන්තුව නැවත විසුරුවා හැරීමේ බලය ද ජනාධිපතිවරයා සතුව පවතින බවය.

ජුනි 02 ස්ථීර ලෙස නව පාර්ලිමේන්තුව රැස්කිරීමට නොහැකි වන බව පැහැදිලිය. ඒ නිසාම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවත් එලෙසම පැහැදිලිය. එය වලක්වා ගැනීමට ව්‍යවස්ථාව තුළම ප්‍රතිපාදන තිබෙන හොඳින් දන්නා ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩු පක්ෂය , පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට විරුද්ධ වන්නේ කුමණ හේතුවක් නිසා දැයි කෙනෙකුට සිතා ගත නොහැකි ගැටළුවක් බවට පත් වී ඇත.

මේ අතර ආණ්ඩුවේ ඇතැමුන් , ව්‍යවස්ථා අර්බුදයෙන් මිදීමට හැකි , ව්‍යවස්ථාවේම ඇති ප්‍රතිපාදන හිතා මතාම වැරදි ලෙස අර්ථ දැක්වීමට පටන් ගෙන ඇත. උදය ගම්මන්පිල එවැන්නේකි. ඔහු කියන්නේ ජනාධිපතිවරයාට පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට හැක්කේ රට තුළ හදිසි නීතියක් පැන විය යුතු වාතාවරනයක් ඇතිවිට පමණක් බවය. එය සම්පූර්ණ මුසාවක්ය.

ඉහතින් දැක්වෙන ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනය තුළ අඩංගු වචනය වන්නේ " හදිසි තත්ත්වයක් පැන නැඟී ඇති විටක " මිස.
" හදිසි නීතියක් " යන්න නොවේ. මොවුන් ජනතාව මුලා කරමින් සිටින්නේ හිතා මතාමය.

තවත් සමහර මැති ඇමැතිවරු ව්‍යවස්ථා විශාරදයන් ලෙස තර්ක කරන විට , දැනෙන්නේ ඔවුන් ව්‍යවස්ථාව කියවනා කෙසේ වෙතත් අඩුම තරමින් එය දැක හෝ අතින්වත් ස්පර්ශ කර හෝ නැති බවය.

පරණ පාර්ලිමේන්තුව යළි කැඳවීමේ භීතිකාවේ සැබෑම හේතුව වන්නේ , වත්මන් රජය මේ වන විට ගෙන ඇති නීති විරෝධී තීන්දු තීරණ ගණනාවක් දැඩි විවේචනයට හා අභියෝගයට ලක්වීමට ඉඩ ඇති බව ආණ්ඩු පක්ෂයට ඇතිවී තිබෙන බිය නිසාය.

මුලදී පැනවූ ඇඳිරි නීතිය, එම නීතියට මුවා වී සිදු කරන නීති විරෝධී අත්ඩංගුවට ගැනීම්, විදේශ පුරවැසියෙකු වූ බැසිල් රාජපක්ෂට රාජ්‍ය මුදල් හැසිරවීමට ලබා දී ඇති බලය, කොරෝනා මර්දනයට ලැබුණු දෙස් විදෙස් මුදල් ආධාර වල ගණන් හිලව් සහ ඒවා වියදම් කළ ආකාරය, කොරෝනා මර්ධනයට මුවා වී සිදුකරන ගසාකෑම් සහ දේශපාලකයන්ගේ මැතිවරණ ක්‍රියා ආදී කී නොකී බොහෝ දෑ පිළිබඳව විපක්ෂයෙන් විරෝධතා මතු විය හැකි බව ආණ්ඩු පක්ෂයට බියක් අැත.

මේ නිසා පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමට එරෙහිව රට තුළ දැඩි විරෝධයක් පවතින බව පෙන්වීමට රජයට අවශ්‍ය වී ඇති බව පැහැදිලිය.

මේ සඳහා රජය ගත් පළමු පියවර වූයේ ජනාධිපතිවරයාට සහ රාජපක්ෂවරුන්ට පක්ෂපාත සංඝයා වහන්සේලා පිරිසක් කැඳවා පාර්ලිමේතුව නැවත රැස්කිරීමට විරුද්ධව විවිධ ප්‍රකාශ ඔවුන් ලවා කියවාගෙන ඒවා ප්‍රධාන ජනමාධ්‍ය ඔස්සේ ජන මනසට මුදා හැරීමය.

ඉදිරි කාලයේදී තවත් මෙවැනිම රැස්වීම ගණනාවක් පැවැත්වෙනු ඇත.

මෙයින් ජනපති ප්‍රමුඛ ආණඩුව ආපේක්ෂා කරන ප්‍රධාන අරමුණු දෙකක් ඇත. එකක් නම්, ව්‍යවස්ථාව උල්ලංඝණය වුවත්, නව පාර්ලිමේන්තුව පත් වන තුරු පැරණි පාර්ලිමේන්තුව නැවත නො කැඳවිය යුතුය යන්න ජනතාවගේ මනස තුළ පැලපදියම් කිරීමය.

දෙවැනි අරමුණ නම්, ව්‍යවස්ථාව උල්ලංඝණයට එරෙහිව විපක්ෂය අධිකරණයට යන අවස්ථාවේ දී, අධිකරණයට දැනෙන පරිදි ජනතා විරෝධයක් රට තුළ ඇති කිරීමය.

රට තුළ ඇති කරන ජනතා විරෝධය අධිකරණ තීන්දුව කෙරෙහි බලපෑමක් ඇති කිරීමට සමත්වනු ඇතැයි ඔව්හු විශ්වාස කරන බව පැහැදිලිය.

විපක්ෂය අධිකරණයට යෑම වලක්වා ගැනීම හෝ අධිකරණයට ගියද , අධිකරණ තීන්දුව තමන්ට වාසිදායක ලෙස ලබා ගැනීම හෝ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අභිප්‍රාය බව පැහැදිලිය.

ඊට හොඳම නිදසුන වන්නේ ජනාධිපතිවරයා කැඳවූ භික්ෂු රැස්වීමට පැමිණි මැදගොඩ අබේතිස්ස හිමි කළ " විපක්ෂය අධිකරණයට ගොස් ව්‍යවස්ථා විරෝධී නියෝගයක් ලබාගන්න හදනවා " යන ප්‍රකාශය ය.

ජුනි 20 වැනිදාට කෙසේ හෝ මැතිවරණය පවත්වා ගැනීමට අණ්ඩුව උත්සාහයක නිරතවී ඇති බව පැහැදිලිය.

කොරෝනා තිබිය දී සතොසෙ ඉදිරිපිට හා බැංකු ඉදිරිපිට පොලිමේ ඉන්නට පුලුවන්නම්, පොලිමේ ඉඳ ඡන්දෙ දාන්නට නොහැකි මන්දැයි හිටපු ඇමතිව්වරයෙක් පවසන විට තවත් ඇමැතිවරයෙක්, ජනතාව ඡන්දය බලාපොරොත්තුවෙන් සිටින බව පවසන්නේ මේ නිසාය.

යම් හෙයකින් ජුනි 20 මැතිවරණය පැවැත්වුවහොත්, ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණේන පිරිස විශාල ලෙස අඩුවීම නොවැලැක්විය හැක.

එය බලයේ සිටින පක්ෂයට ඉතා වාසිදායක තත්ත්වයක් බව ශ්‍රී ලංකවේ දේශපාලන ඉතිහාසය පරික්ෂා කළ බැලූවිට අවබෝධ කර ගැනීමට අපහසු නැත.

මේ තත්ත්වය තුළ ජුනි 02 වැනිදාට සිදුවීමට නියමිත ව්‍යවස්ථා උල්ලංඝණයට එරෙහිව, අධිකරණයට යෑම හැර වෙන විකල්පයක් ඉතිරිව නැති බව පැහැදිලිය.

sumandiran 1000pxව්‍යවස්ථා උල්ලංඝණයේ ප්‍රතිඵලය හේතුවෙන් විධායක ඒකාධිපතිත්වයක් මතුවීමට නියමිත බැවින් ඊට එරෙහිව අධිකරණයට යා යුතු බව නිර්භයව පැවසුවේ දෙමළ සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතායය.

ඒ ප්‍රකාශයත් සමඟ සුමන්දිරන් මහතාට නැවතත් කොටි ලේබලය අලවන්නට ආණ්ඩුව කඩිනම් විය.

ව්‍යවස්ථාදායකයේ අඛණ්ඩත්වය අහිමිවීම බරපතළ සිද්ධියක් වුවත්, සුමන්දිරන් හැරෙන්නට ප්‍රධාන විපකෂයේ නායකයෝ හැලහොල්මනක් නැත.

එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහගේ මුළු කාලයම යොදන්නේ කොරෝනා මඬින්නටය. ඔහු ලංකාවට බෙහෙත් ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර මෙහෙයුම් සිදු කරමින් පුදුම වෙහෙසකට පත්වෙමින් ඇත.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජනතාවට බෙදා දෙන රුපියල් පන්දහස පහලොස් දහසක් කරගැනීම වෙනුවෙන් විශාල සටනක නියැලී ඇත.

ජ. වි. පෙ. ද මුඛ ආවරණ මසමින්, ඒවා බෙදමින්, කොරෝනා මැඩලීමේ මෙහෙයුමේය.

මිනිසුන්ගේ මළ මිණී මතින් ඡන්දය පවත්වන්නට එපා කියමින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉදිරියේ පිණ්සෙන්ඬු වෙනවා හැරෙන්නට, ජුනි 02 න් පසු සිදුවන ව්‍යවස්ථා උල්ලංඝණයෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ජනතාවට අහිමිවන බව පෙන්වාදීමට විපක්ෂයට උවමනාවක් නැත.

ඒ උවමනාව වෙනුවෙන් ජනතාවගේ පාර්ශවයෙන් පෙනී සිටි සුමන්දිරන්ට අාණ්ඩුවේ පිරිස් කොටි ලේබලය අලවන විට පවා විපක්ෂයට වගේ වගක් නැත.

මෙතෙක් කල් බකන් නිලාගෙන සිටි විපක්ෂය ඊයේ එකට එක්වී ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට වගන්ති ද සඳහන් කර වහාම පාර්ලිමෙන්තුව රැස්කරන ලෙසත්, එසේ නොමැතිනම් , පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කරන ලෙසත් දන්වා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව ඊයේ ( 27 ) රාත්‍රියේ දී අසන්නට ලැබිණ.

ඊට ජනතා විමුක්ති පෙරමුණ අත්සන් තබා නොතිබුණු බව පෙනෙන්නට තිබිණ.

මෙි ලිපය යැවීමෙන් " උන්න හැටියට මළා මදැයි " යන හැඟීමක් ඇතිවීම ජනතාව පැත්තෙන් හොඳය.

කෙසේ වෙතත් ජනාධිපතිට භාර දී ඇති ලිපිය කියවූ විට දැනෙන්නේ එය, " අනේ පාර්ලිමේන්තුව කැඳවන්න . අපි දඟ නොකර ඉන්නම් " කියා ලබා දුන් පොරොන්දු පත්‍රිකාවක් ලෙසය.

කෙසේ වෙතත්, ජුනි 02 වැනිදායින් පසු ජුනි 20 වැනිදා වන තුරු විධායකය නොහොත් ජනාධිපති, රට පලනය කිරීමට නියමිතව ඇත්තේ ව්‍යවස්ථා විරෝධී ඒකාධිපතියෙකු ලෙසය.

ජුනි 20 ඡන්දය පැවැත්වීමට නොහැකි වී එම දිනය තව දුරටත් කල් ගියහොත්, ඒකාධිපති පාලනය තව දුරටත් දීර්ඝවනු ඇත.

විධායකය , ඒකාධිපති ඔටුන්න පැළඳීමට දරන මෙම උත්සාහය වැළැක්වීමේ වගකීම සුමන්දිරන්ගේ උර මත පමණක් නො පටවා පොදු විපක්ෂයම එක්ව භාර ගත යුතුය. එසේ සිදු නොවුණ හොත්, විපක්ෂය දේශපාලන ඉතිහාසයේ කුණුබක්කියට වැටීම නොවැලැක්විය කැක.

ppසුනිල් ගාමිණී.