Language Switcher

V2025

ව්‍යවස්ථා අර්බුදය විසඳිය යුත්තේ වැඩි වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රීඩා කිරීමෙනි : උයංගොඩ

මාර්තු මුල් මාසයේ සිට අප රටේද සෙමින් දිග හැරෙන්නට පටන් ගෙන, මාර්තු තුන්වැනි සතියේදී උත්සන්නවීම ආරම්භ වූ කොරෝනා අර්බුදය, සෞඛ්‍ය අර්බුදයක සීමාවන් තුළ නොනවතින බවට කෙරුණු අනාගත ප්‍රකාශ, කනගාටුවට මෙන් දැන් ඔප්පු වී තිබේ. එය කාගේවත් සතුටට හේතුවන කරුණක් නම් නොවේ.

වර්තමානයේ පවතින්නේ අර්බුද කිහිපයක සංකලනයකි. ඒවා මහජන සෞඛ්‍ය, සමාජ, ආර්ථික, දේශපාලන සහ ශිෂ්ටාචාර යන ක්ෂේත්‍රවල ඉතා පැහැදිලිවත්, ප්‍රබලවත් ප්‍රකාශයට පත්වේ. මේ ලිපියෙන් සාකච්ඡා කෙරන්නේ, අප රටේ දැනට උත්සන්නවෙමින් යන දේශපාලන අර්බුදය ගැනයි. එය අප රටටම සුවිශේෂී එකක් වීම එහි ඇති විශේෂත්වයයි.

ව්‍යවස්ථාවට පිට විකල්ප?

දේශපාලන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය යන පැතිකඩ දෙකේ සංකලනයෙන් නිර්මාණය වී ඇති මෙම අර්බුදයේ ගැටලුව ගොඩ නැගී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා තිබීම සහ පාර්ලිමේන්තු මැතිවරණය කලින් නියම කර තිබුණු දිනට පැවැත්වීමට, මහජන සෞඛ්‍ය අර්බුදය විසින් ඉඩ ලබා නොදීම නිසාය. මේ මගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන දෙකම හානියට පත්වීමේ අනතුර ඉදිරියේ සිටින බව පෙනේ. ව්‍යවස්ථාවට, පාර්ලිමේන්තු ක්‍රමයට සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට පිටතින් දැනට ගොඩ නැගී ඇති අර්බුදයට විසඳුම් සෙවිය යුතුය යන කථිකාවක් ප්‍රවර්ධනය කෙරෙමින් තිබෙන්නේද මෙම පසුබිම තුළය.

ලංකාවේ ඇති අර්බුදය ක්‍රියාවලීන් දෙකක් නිසා තවත් උත්සන්න කෙරෙන බවද පෙනේ. පළමුවැන්න, මහජන සෞඛ්‍ය හදිසිය විසින්, ආණ්ඩුකරණ හදිසි තත්ත්වයක් නිර්මාණය කරනු ලැබ තිබීමයි. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ, රාජ්‍ය ව්‍යුහය සහ සමාජය, මහජන සෞඛ්‍ය හදිසිය පාලනය කිරීම සඳහා, ‘හදිසි’ පදනමක සිට මෙහෙවීමේ කාර්යය, රාජ්‍යයේ විධායක ශාඛාව විසින් තමන්ගේ පමණක් වගකීම ලෙස පවරා ගනු ලැබීමයි. එය සිදුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වලංගුතාව ලැබෙන ආකාරයටද නොවේ. ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ සිවිල් සමාජය අබිබවා, ඒවා පැත්තකට තල්ලු කර, විධායකයේ නැගීම, මේ දිනවල නිරීක්ෂණය කළ හැකි ප්‍රවණතාවකි. එය ලංකාවේද දැනටමත් සිදුවී ඇත.

දෙවැන්න, දැනට රාජ්‍ය බලයේ කේන්ද්‍රීය ආයතනය බවට පත්වී ඇති විධායකයේ නායකත්වය, දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව ගොඩනගා ගෙන තිබෙන නිෂේධනාත්මක සහ සතුරු ප්‍රතිවිරෝධතාවයි. දැනට තිබෙන 19 වැනි සංශෝධනය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑමට ඇති ප්‍රධාන බාධකය ලෙස විධායකයේ නායකත්වය සලකයි. විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සංවරණ, තුළන සහ වගවීමේ රාමුව සහ විධිවිධාන, තමන්ගේ ඉදිරි ගමන වළක්වන බාධා ලෙස ඔවුහු දකිති. ඒවා බිඳිය යුතු යදම්ය යන අදහස, ආණ්ඩුව පැත්තෙන් සිදුකරන මතවාදී ප්‍රචාරණයේ එක් ප්‍රධාන පණිවුඩයක් වී තිබෙන්නේ එබැවිනි.

අලුත් ගැටලු !

පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කිරීම පිළිබඳ ප්‍රශ්නය, අප රටේ දියුණු වන ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය සමග ගැට ගැසී තිබෙන්නේ මෙම පසුබිම තුළය. පවත්නා ගැටලු විසඳීමට ගන්නා ක්‍රියාමාර්ගවලින්ද, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලුවලට තුඩුදීම, අප රට තිබෙන අර්බුදයේ පරිමාව කියාපාන්නකි.

මෙයට නිදසුන වන්නේ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ජූනි 20දා නව මැතිවරණ දිනය ලෙස නියම කිරීම නිසා ඇතිවන ව්‍යවස්ථාමය දුෂ්කරතාවයි. මාර්තු 02දා පාර්ලිමේන්තුව විසුරුවාට පසුව, මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුය යන ව්‍යවස්ථාවේ ඇති නියමයයි. ජූනි 02දා සිට 20දා සති තුනක දක්වා කාලය තුළ, පාර්ලිමේන්තුවේ ආයතනික පැවැත්මේ ඛණ්ඩනයක් සිදුවනවා නොවේද? ව්‍යවස්ථාමය වශයෙන් වලංගු පාර්ලිමේන්තුවක් නැතිව දින 18ක් ගත කර, ජූනි 20දා පවත්වන මැතිවරණයෙන් පසුව පත්වන පාර්ලිමේන්තුවට, නෛතික අඛණ්ඩතාවයේ සුජාතභාවය ලැබෙන්නේද?

මෙම ප්‍රශ්නවලට දැනට තිබෙන ව්‍යවස්ථාවෙන් විසඳුමක් නැත. කොරෝනා මහජන සෞඛ්‍ය අර්බුදයේ හදිසි පැමිණීම නිසා අප රටේ ඇති කර තිබෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම විසඳුම් නැති ව්‍යවස්ථාමය ගැටලුය. මේවා විසඳීමට ඇති එක විකල්පයක් වන්නේ, ඒ සඳහා ව්‍යවස්ථාවෙන් පිටත ඇති විසඳුම් සෙවීමය යන තර්කණයට මේ අවස්ථාවේ දේශපාලන අවකාශයද විවෘත වී තිබේ. ‘අපේ ඉදිරි ගමනට බාධා කරන පාර්ලිමේන්තුවද, ව්‍යවස්ථාවද, එයින් පාලනය වන මැතිවරණ ක්‍රියාවලියද විසිකර දමා අලුත් ගමනක් ආරම්භ කරමු’ යන තර්කය එළිපිටම සහ නිල වශයෙන්ද ඉදිරිපත් වීමට ඉඩ තිබෙන්නේ මේ අවකාශය තුළය.

අතුරු ප්‍රතිඵල !

ලංකාවේ දැනට තිබෙන්නාක් වැනි බහුවිධ අර්බුදයක් තියුණු වෙද්දී, රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ අභිලාෂය ඇති විවිධ බලවේගවල අධිකාරිවාදී ව්‍යපෘති ඉදිරියට ඒමේ ප්‍රවණතාවක් අමුතු දෙයක් නොවේ. තියුණු අර්බුදවලදී ඒවා මතුවීම අපේක්ෂා කළ යුතුවේ. ඒවා අර්බුදයේම අතුරු ප්‍රතිඵලය. ඒවා පරාජය කිරීමද, මෙවැනි අර්බුදයක් කළමනාකරණය කිරීමේ සමස්ත ක්‍රියාමාර්ගයක අංගයක් විය යුතුය. නිර්-ප්‍රජාතන්ත්‍රවාදයටත්, අඩු ප්‍රජාතන්ත්‍රවාදයටත් නොව වැඩි වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදය, ලංකාවේ අර්බුදයේ වර්තමාන නිමේෂයේදී අවශ්‍ය වී තිබෙන්නේ එබැවිනි.

මෙම පසුබිම තුළ අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල හදිසි එක් කාර්යයක් වන්නේ, පාර්ලිමේන්තු මැතිවරණ දිනය තීරණය කිරීම සහ මැතිවරණය පැවැත්වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍යයේ සීමාව තුළ සිදුකිරීමේ සාකච්ඡාව ගැඹුරු සහ පුළුල් කිරීමට සක්‍රීයව සහභාගිවීමයි. මැතිවරණ කොමිසම, ජූනි 20දා දිනය ගැන කළ තීරණය යළි විමසුමකට ලක් කිරීම සඳහා දේශපාලන පක්ෂ ගණනාවකින්ම දැනට කෙරෙන ඉල්ලීම විසින්, මෙම සාකච්ඡාව පුළුල් කිරීමට ඉතා හොඳ අවකාශයක් විවෘත වී තිබේ. එම සාකච්ඡාවේදී අවධාරණය කළ යුතු කරුණක් වන්නේ, මැතිවරණ කොමිෂන් සභාව තම සාකච්ඡා ක්‍රියාවලිය විවෘත, විනිවිද පෙනෙන සහ මැතිවරණයට සම්බන්ධ සෑම පාර්ශ්වයක්ම සමග නිරන්තර සාකච්ඡා සහ අදහස් හුවමාරු කරගැනීම අත්‍යවශ්‍ය වන්නේය යන්නයි. මැතිවරණ කොමිසමේ තීරණ වෙන කවරදාටවත් වඩා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගත ඉරණම තීන්දු කරන ඒවා බවට දැන් පත්වී තිබේ. ලංකාවේ අනාගත දේශපාලන ඉරණම තිබෙන්නේ මෙම කොමිසමේ සාමාජික තුන්පොළ අතෙහිය. එතුමන්ලා වෙන කවරදාටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී විවෘතභාවය, පාරදෘශ්‍යභාවය සහ බලපෑම්වලට යට නොවීමේ උජුපටිපන්න බව පවත්වාගෙන යෑම වැදගත්වන්නේ එබැවිනි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුළ ඇතිවන අර්බුදවලට හොඳම විසඳුම් සෙවීමේ හොඳම මාර්ගය වැටී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විවෘතභාවය, පාරදෘශ්‍යතාව සහ සෑම පාර්ශ්වයක් සමගම ඒවාට සමාන බරක් දෙමින් සිදුකරන සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදී භාවිත තුළිනි යන්න අප රටේ පුරවැසියන් නැවත නැවතත් මතක් කළ යුතු මොහොතකට අප රට ළඟාවී තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ■

මහාචාර්ය ජයදේව උයංගොඩ 

(රාවය)