Language Switcher

V2025

කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලට ප්‍රංශයේ රෝහල් බිය පළ කරයි....

ප්‍රංශය නැවත විවෘත කිරීමට ළඟා වෙමින් සිටින මොහොතේ , කොවිඩ් -19 ට එරෙහිව සටන් කිරීමේන් සෑහෙන වෙහෙසට පත් වී සිටින ප්‍රංශ රෝහල් , වසංගතයේ දෙවන රැල්ල පිළිබඳව බිය පළ කරමින් සිටී.

කොරෝනා වෛරස වසංගතය , ප්‍රංශය තුළ සන්ධිස්ථානයක් ව පවතී. එසේ තිබිය දී රට විවෘත කිරීමට සූදානම් වන අතර, එම තීරණය නිසැකවම ප්‍රතිවිපාක නොමැතිව සිදු නොවනු ඇතැයි සෞඛ්‍ය ක්ශේෂ්ත්‍රය පවසති.

ආර්ථිකය සෙමින් යථා තත්ත්වයට පත්වීමට නම්, අර්බුදයේ ප්‍රධාන අංගය වන සනීපාරක්ෂාව පෙර නොවූ විරූ අයුරින් තිබිය යුතු වේ. නමුත් පසු ගිය සති කිහිපය තුළ රෝහල්වල සංඛ්‍යා ලේඛන නැවතත් ඉහළ යමින් තිබෙන බව ඔව්හූ පවසති.

මහජන සෞඛ්‍ය ප්‍රවීනයන් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව නිර්මිත ආකෘතියක් ප්‍රංශ ජනමාධ්‍ය තුළ අද (07) පළ වී ඇත.

මෙම ආකෘතිය සකස් කර ඇත්තේ ,රට විවෘත කිරීමේ උපාය මාර්ග සහ වෛරසයේ දෙවන උච්චාවචනයන් ගේ අවදානම සැලකිල්ලට ගෙන බව ,එම අධ්‍යයනයේ නිරත වූවන් ප්‍රකාශ කොට ඇත.

ඔවුන් පවසන ආකාරයට, ඔවුන්ගේ පරීක්ෂාව සිදු කොට ඇත්තේ වඩාත් අවදානමට ලක්විය හැකි සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම සහ ජනතාව ආරක්ෂා කිරීම ඇතුළු පශ්චාත් නිරෝධායන පියවරයන්ගේ විභවය පිළිබඳවය.

නිරෝධායනය , වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඵලදායී වන නමුත්, වසංගතය නැවත වරක් හිස එසැවීම වැලැක්විය නොහැකි බව ඔවුන්ගේ මතය වී ඇත.

වසංගතය මන්දගාමී කිරීමට සහ මරණ අවම කිරීමට සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ පැළඳීම ඵලදායී වුවත්, අවසානයේ දී දැඩි සත්කාර ඒකක තුළ තද බදය වැලැක්වීමට හෝ දෙවැනි වරට රට වසා දැමීම වැලැක්වීමට එය ඵලදායී නොවනු ඇති බව ඔවුන්ගේ අදහසය.

කෙසේ නමුත් මරණ අනුපාතය අඩු කර ගැනීමට සහ නැවත රට වසා දැමීම වැළැක්වීම සඳහා ප්‍රමානවත් තරම් දැඩි සත්කාර ඒකක වල ඇඳන් ප්‍රමාණවත් මට්ටමින් පවත්වා ගැනීම කළ යුතු බවත්, ප්‍රතිශක්තිය ක්‍රමානුකූලව ස්ථාපිත වන තෙක් ජනතාව දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුඛ ආවරණ පැළඳීම, රංචු ගැසීමෙන් වැලකීම යන කාරනා ප්‍රමානවත් කාලයක් පවත්වා ගත යුතු බවත් ඔවුන්ගේ මතය වී ඇත.

අදාල අධ්‍යයනයට අනුව රට නැවත විවෘත කිරීමෙන් ඇතිවන ව්‍යසනයට පිළියමක් ලෙස ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ , වඩාත් අවදානමට ලක් විය හැකි වයස්ගත පුද්ගලයන් සහ දියවැඩියා රෝගීන් වැනි අය පවත්වන, සම්බන්ධතා මෙන්ම ඔවුන්ගේ ගමන් බිමන් ද දැඩි ලෙස සීමා කිරීමකට ලක් කිරීමය.

එය අවම වශයෙන් 2020 වසරේ අවසානය දක්වා සිදු කළ යුතු බවට ඔවුන් නිර්දේශ කර ඇත.

මේ අනුව මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් අඩු කරගත හැකි අතර, අවම වශයෙන් දරුණු ලෙස වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ සමුහික ප්‍රතිශක්තිය ප්‍රවර්දනය කිරීමට බලපෑමක් කළ හැකි බවද ඔවුන් පවසා ඇත.

මේ අතර, ප්‍රංශයේ ජාතික සංඛ්‍යාලේඛන හා ආර්ථික අධ්‍යයන ආයතනයේ (INSEE ) සංඛ්‍යා ලේඛන වලට අනුව ප්‍රංශය තුළ 2020 වසරේ මාර්තු 01 සිට අප්‍රේල් 20 දක්වා කාලය තුළ විවිධ හේතූන් නිසා මිය ගොස් ඇති පුද්ගලයන් ගණන 1, 09, 831 කි.

මෙය 2019 දී එම කාලය තුළ මිය ගොස් ඇති ප්‍රමානයට සාපේක්ෂව +27% ක් තරම් වූ ඉතා තියුණු වැඩිවීමකි

2018 පැවැති ප්‍රබල සෘතුමය උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය මරණ අනුපතය වූ +16% සලකන විට , 2020 මරණ අනුපාතය කෙරෙහි කිරීටක වෛරසයේ බලපෑම දැඩි ලෙස ඉස්මතු කොට ඇත.

දැඩි සත්කාර ඒකක වල උපරිමයට පැමිණි පසුගිය අප්‍රේල් 01 දින ප්‍රංශයේ මරණ අනුපාතය උපරිම මට්ටමට ළඟා වූ බව පවසන එම ආයතනය, සියළු හේතුන් මත එදින සිදුවී ඇති මරණ ප්‍රමාණය 2, 776 ක් බව ප්‍රකාශ කොට ඇත.

2020 මාර්තු 01 සිට අප්‍රේල් 20 දක්වා කාලය තුළ විශාලතම මරණ සංඛ්‍යාව සිදුවී ඇත්තේ පැරිස් කලාපය ලෙස හඳුන්වන Ile -de - France කලාපය තුළය. එය ප්‍රතිශතයක් ලෙස +95% ක් ය.

මේ අතර ඊයේ වන විට ප්‍රංශය තුළ කොරෝනා වෛරසය නිසා පැය 24 ක් තුළ සිදු වූ මරණ ප්‍රමානය 278 ක් විය. මේ වන විට මිය ගොස් ඇති සමස්ත පුද්ගලයන් ප්‍රමානය 25, 809 ක් ය.

වෛරස ආසාදිතයන් 1, 37, 150 සිටින අතර, පුද්ගලයන් 23, 983 ක් තවමත් සිටින්නේ රෝහල්ගතවය.

දැඩි සත්කාර ඒකක වල සිටින ප්‍රමානය 3147 ක් වන් විට 53, 972 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

සුනිල් ගාමිණී ( ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙනි )