Language Switcher

V2025

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන හෙද ජීවිත අවධානමේ : බැරිම තැන ජනාධිපතිට ලියයි !

covid19 වසංගත රෝග තත්වයට අදාලව ජිවිත ආරක්ෂාව නොතකා , අවම පහසුකම්වත් නොමැතිව සේවය කරන හෙද නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටළු රට පුරා සෞඛ්‍ය ආයතනවල මතුවී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙත යොමුකළ ලිපියක් මාධ්‍ය වෙත නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජයවර්ධනපුර , කරාපිටිය, ගම්පහ , හෝමාගම , කාත්තන්කුඩිය හා මිනුවන්ගොඩ ඇතුළු රෝහල් ගණනාවක covid19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම නිසා අවධානම්  තත්වයට පත්වූ හෙද නිලධාරීන්ගේ covid19  ආසාධනය වූ බවට හදුනා ගැනීමේ පරීක්ෂණ නියමිත පරිදි සිදු නොකිරීම සහ අදාල හෙද නිලධාරීන්  නිරෝධායනයට ලක් නොකිරීම අවධානමක් බවය.

ලංකා ජාතික රෝහලේ හා දිවයින පුරා අවධානම් රෝහල්වල හෙද කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සඳහා අහඹු ලෙස රෝග  පරීක්ෂණ වහා කලයුතු බවත් මෙම ලිපිය හරහා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර ඇත.රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,       

කොළඹ .

ගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හා දිවයින පුරා අවධානම් රෝහල්වල හෙද කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සඳහා අහඹු ලෙස රෝග  පරීක්ෂණ වහා කලයුතුයි.  

covid19 වසංගත රෝග තත්වයට අදාලව ජිවිත ආරක්ෂාව නොතකා , අවම පහසුකම්වත් නොමැතිව සේවය කරන හෙද නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටළු රට පුරා සෞඛ්‍ය ආයතනවල මතුවී ඇත

ජයවර්ධනපුර , කරාපිටිය, ගම්පහ , හෝමාගම , කාත්තන්කුඩිය හා මිනුවන්ගොඩ ඇතුළු රෝහල් ගණනාවක covid19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම නිසා අවධානම්   තත්වයට පත්වූ හෙද නිලධාරීන්ගේ covid19  ආසාධනය වූ බවට හදුනා ගැනීමේ පරීක්ෂණ නියමිත පරිදි සිදු නොකිරීම සහ අදාල හෙද නිලධාරීන්  නිරෝධායනයට ලක් නොකිරීම   .ශ්‍රී ලංකා ජාතික රෝහලේ  2020/05/05 දින covid19 රෝහීන් තිදෙනෙකු වාර්තා වූ අතර විශේෂ ශ්‍රේණියේ  හෙද නිලධාරීණියකටත් අසාධනය වී ඇති බව තහවුරු කලද , පසුව දෙවන පරීක්ෂණයේදී එසේ නොවන බවට තහවුරු විය 

PCR පරීක්ෂණයේ සංවේදීතාව 70% වන අතර මෙම පරීක්ෂණ දෙකෙන් කුමක් නිවැරදිදැයි සැකයක් මතු වේ. එබැවින් ඇයට තව දුරටත් තෙවන පරීක්ෂණයට භාජනය කලයුතු බව අපගේ අදහසයි. එසේම ඇයගේ අධීක්ෂණය යටතේ සේවය කරන 300ක් පමණ හෙද කාර්ය මණ්ඩලය ද මේ වනවිට අවධානම්  තත්වයකට මුහුණ දී ඇත.  

මෙහිදී  ජාතික රෝහලේ  2020/05/05 දිනය තුල 25 දෙනෙකුගෙන් පමණ නිදර්ශක ලබා ගනිමින් පරික්ෂා කලද , අනෙක් අයගේ සාම්පල පරික්ෂා කිරීමක් සිදු නොවිය.

එසේම රෝගීන් හමුවූ වාට්ටු අංක 48, 45  යන වාට්ටුවල හෙද නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා පරීක්ෂණ සිදුකිරීමට හෝ නිරෝධායනයට ලක්කිරීම වැනි ආරක්‍ෂිත පියවර  කිසිවක් මේවන විට ක්‍රියාත්මක කර නොමැත .

විශේෂ ශ්‍රේණියේ  හෙද නිලධාරීණියගේ තත්වය එසේ  වුවද , පවතින තත්වය හමුවේ ඇය පාලනය කල එම ඒකකය , වාට්ටු හා ඒකක විෂබීජ හරණය කිරීම වැනි ආරක්‍ෂිත පියවරද කිසිවක් මේවන විට ගෙන නොමැති වීම ඔවුන් අනතුරේ හෙළීමකි.

ප්‍රමිතියක් ඇති N 95 මුඛ ආවරණවත් ප්‍රමාණවත් ලෙස  හෙද නිලධාරීන්ට දීමට පරිපාලනය සමත් නොවීම , ඔවුන් අනතුරේ දැමීමකි.

ප්‍රජාවේ රෝගියකු හමුවූ විට, එම ප්‍රදේශයට සංචරණය සිමා කරමින් අදාල පිරිස් නිරෝධායනය කරමින්  , එම ප්‍රදේශ විෂබීජ හරණය කිරීම් කලද සෞඛ්‍ය ආයතන හා  රෝහල් තුල එසේ නොකිරීම බරපතල වැරැද්දකි.

සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ ආරක්ෂාව ගැන මෙලෙස අවතක්සේරු කිරීම බරපතල වැරද්දක් වන අතර , ඒ හරහා ඔවුන්ගේ චිත්ත ධෛර්ය බිඳ වැටිමද එමහින් රෝගී  ප්‍රතිකාර හා සත්කාර සේවාවන්වලටද අහිතකර බලපෑම් සිදුවීමද වැළක්විය නොහැකි වනු ඇත. එබැවින් අනාරක්ෂිත වී ඇති හෙද කාර්යමණ්ඩලය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමිතියෙන් හා ප්‍රමාණවත්  ආරක්‍ෂිත මෙවලම් සපයන ලෙසත් , පළමුව අවධානම් දිස්ත්‍රික්ක වල රෝහල් කාර්යමණ්ඩල අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කොට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.

එසේ නොවුන හොත් රෝහලේ කාර්ය මණ්ඩලවලට ද , වැලිසර කඳවුරේ නාවික හමුදා රණවිරුවන්ට   සිදුවූ  අවාසනාවන්ත සිදුවීමට  ගොදුරු වන බැවින්, එය වලක්වා ගැනීම අප සැමගේ වගකීම බව  අවධාරණය කරමු.