මුස්ලිම්වරුන්ට කරන අඩන්තේට්ටම් අත්හිටුවන්න : OIC දැනුම්දීමක් !

මුස්ලිම්වරුන්ට කරන අඩන්තේට්ටම් අත්හිටුවන්න :  OIC දැනුම්දීමක් !

කෝවිඩ් 19 වසංගතය පැතිරීම සමග මුස්ලිම්වරුන්ට කරන අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස තෙල් අපනයනය කරන ප්‍රධාන රටවල් ඇතුළු ලෝකයේ බලවත් ඉස්ලාමීය රාජ්‍ය ශ්‍රී ලංකාවට දැනුම් දීමක් කර තිබේ.

මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකෙරෙන ක්‍රියා හෙලා දකින ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) එම ප්‍රජාවේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස කෝපාන්විත ස්වරයෙන් යුත් නිවේදනයකින් ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටී.

“ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන නැග එන වෛරී භාෂණය සහ එදිරිවාදිකම්, රට තුල නව කොරෝනා වසංගතය (කෝවිඩ් 19) පැතිරීමට මුස්ලිම් ප්‍රජාව වගකිව යුතු බවට වන පක්ෂග්‍රාහී හා සනාථ නොකළ චෝදනා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තා මෙන්ම, වසංගතයට ගොදුරු වූ මුස්ලිම්වරුන්ගේ සිරුරු ආදාහනය කළ බව හා එම පිළිවෙතට විරුද්ධ වූ ප්‍රජා සාමාජිකයන් අත් අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තා ද කෙරෙහි ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) බරපතල අවධානය යොමුවී තිබේ,” යි එම සංවිධානය ප්‍රකාශ කරයි.

කොරෝනා රෝගාතුර වී මියයන ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන්ගේ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ඉස්ලාමීය වත් පිළිවෙත් වලට පටහැනිව ආදාහනය කිරීමත්, කෝවිඩ් 19 වසංගත මර්දනය බාර රාජ්‍ය බලධාරීන් මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මුස්ලිම් විරෝධී වෛරය ඇවිලවීමත් එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර හා හා දේශීය මානව හිමිකම් සංවිධාන වල කනස්සල්ලට මේ වනවිටත් හේතුවී තිබේ.

රටවල් 57 කින් සැදුම්ලත් OIC සංවිධානයද ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රතිපත්තිය හෙලා දකිමින් මුස්ලිම්වරුන්ගේ ගෞරවය රැකදීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටී.

“මේ සම්බන්ධයෙන් ගත් කල, කවර ස්ථානයක වුවද මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් ඉලක්ක කරගත් සකලවිධ ප්‍රතිපත්ති හෙලා දැකීමේ සිය ස්ථාවරය OIC විසින් නැවතත් තහවුරු කෙරේ. මුස්ලිම් ප්‍රජාවේ ආරක්ෂාව, සුරක්ෂිත භාවය  සහ අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ ආගමික වත් පිළිවෙත් වලට ගරු කිරීම සහ  ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම සහතික කරන ලෙසද,  වෛරය, ඉස්ලාම් භීතිකාව සහ රට තුල  මුස්ලිම් විරෝධී හැඟීම් පතුරුවා ලීම පසුපස සිටින සියලු පාර්ශව වල‍ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසද එය ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.”

කෝවිඩ් 19 සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේදී සියලු ජන සමාජ කෙරෙහි එමගින් ඇති කරන බලපෑමට එරෙහිව එක්වන්ව සහෝදරත්වයෙන් මුහුණ දීමේ අගය  ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න