Language Switcher

V2025

සල්ලි නෑ - රට බංකොලොත් - පීබී හරි : ආණ්ඩුවේ සහායකයන් පිළිගනී !

කොපමණ අමිහිරි වුවද,  පී.බී. ජයසුන්දර ඉදිරිපත් කරන යෝජනාව හැර වෙනත් ක්‍රමයක් රාජ්‍ය සේවයේ වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප් ගෙවීම සදහා නොමැති බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
 
එසේම "රාජ්‍ය සේවකයින්ට වැටුප් හා දීමනා ගෙවීම සදහා අවශ්‍ය රු. බිලියන 100 ක් භාණ්ඩාගාරයේ නොමැති" බවත් ඔහු සඳහන් කරයි.
 
"පී.බී. ජයසුන්දර පෙන්වන ආර්ථික අර්බුදය හදුණාගනිමු. සිනා නොම සෙමු. " යනුවෙන් සටහනක් සමාජ මාධ්‍ය වෙත යොමුකරමින්  ඔහු මේ බව සඳහන් කරන අතර රාජ්‍ය සේවකයින්ට සිය වැටුප හෝ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන ලෙස කරන හුදු ඉල්ලීමක් ඉක්මවන තත්වයක් බවත් ඔහු සඳහන් කර ඇත.
 
ඒ අනුව පෙනී යන්නේ ආණ්ඩුවේ කොටස්කරුවන් වන  ශ්‍රිලනිප - පොදුජන පෙරමුණ සසංධානයේ සභාපති හිටපු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය ලංකා භාණ්ඩාගාරය බංකොළොත්බව පිළිගෙන ඇති බවය.
 
අදාළ ලිපිය තුළ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පී.බී. ජයසුන්දර  ගොඩයන මාර්ගය පෙන්වා ඇති බව සඳහන් කර තිබෙන අතර අදාළ සම්පූර්ණ සටහන පහත දැක්වෙයි.
 
රට දැවැන්ත ආර්ථික අර්බුදයක !
 
ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයක ගිළී ඇත.   රාජ්‍ය සේවකයින්ට වැටුප් හා දීමනා ගෙවීම සදහා අවශ්‍ය රු. බිලියන 100 ක් භාණ්ඩාගාරයේ නොමැතිය.  එය කෙසේ හෝ ලබා ගත යුතුව ඇත. ජනාධිපති ලේකම් පී.බී. ජයසුරන්දර මහතා ‘පෞද්ගලික ආයාචනයක්‘ ලෙසින් ඉදිරිපත් කරන මැයි 5 ලිපියේ හරය බොහෝ දෙනා විකෘති කර ඇත.   රාජ්‍ය සේවකයින්ට සිය වැටුප හෝ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන ලෙස කරන හුදු ඉල්ලීමක් ඉක්මවන තත්වයකි.  
 
පී.බී. ජයසුන්දර මහතා ගේ ඉල්ලීමට විරුද්ධව ද්විත්ව ප්‍රතිචාරයක් ලැබේ.  පළමුවැන්න, ඔහුගේ විරුද්ධවාදීන්, රජයේ දේශපාලනික විරුද්ධවාදීන්ගේ කණ්ඩායමෙනි.  දෙවැන්න, මේ වන විට දැඩි ආර්ථික අපහසුතාවට පත්ව ඇති පිරිසගෙනි. ඔවුන්ගේ පීඩාව අප තේරුම්ගත යුතුය.  ජනාධිපති ලේකම්වරයා ඉදිරිපත් කරන  සත්‍යය, අභියෝගය ආර්ථික විද්‍යා දෘෂ්ඨියකින් විග්‍රහ කිරීමට ඔහුගේ අනුගාමිකයින්ට, රජයට පවා හැකිවී නැත. අනෙක් අතට ඔහුගේ විරුද්ධවාදීන් පවා ජනප්‍රිය විරෝධයකට වැඩි සත්‍ය පදනම් තාර්කික ප්‍රවේෂයකට යොමු විය යුතුය.  
 
සැපයුම් ජාල  බිඳවැටුනා !
 
පළමු ඡේදයෙන් දැක්වෙන පරිදි, 1930 දී ඇතිවුණු ලෝක ආර්ථික අවපාතයටත් වැඩි දරුණු ලෝක අර්බුදයකට ලෝකයම මුහුණ දී ඇති බවට විවාදයක් නැත. 
දෙවන ඡේදයේ, ‘රෝගීන් හදුණාගැනීම, රෝගය ව්‍යාප්තවීම පාලනය ගැන, ස්වයං නිරෝධායනය, පිළිබද කරුණු අතිශයින් විවාද සම්පන්නය.  
 
තෙවන ජේදයේ දැක්වෙන, කෘෂි නිෂ්පාදන පවත්වා ගැනීම, එළවළු, මාළු, බිත්තර වැනි දෑ මිලදී ගැනීම, බෙදා හැරීමට රාජ්‍ය නිලධාරීන් විශාල කැපවීමක් සිදු කළ බව සත්‍යයකි.  එසේ නමුත්, සැපයුම් ජාල බිද වැටීම පාලනය කිරීමට අප අසමත් වූ බව නම් කණගාටුවෙන් වුව ද, පිළිගත යුතුව ඇත.  
 
සිව්වන ඡේදයේ පරිදි, රු. 5000 ගෙවීම සාර්ථිකය. පවුල්, අනුපවුල් වලින් කිහිපයකට හැර මේ වන විට රු. 5000 ලැබී ඇත.  දෙවන වටයද ඇරඹී ඇත.  මෙවැනි දැවැන්ත වැඩ පිළිවෙලක මානව සම්පත් කළමනාකරණය පිළිබද ගැටළු ඇතිවීම ස්වභාවිකය.  මේ සදහා වැය වී ඇත්තේ ජනතාවගේ ඉතුරුම් වුව ද, එයට ලැබුණු දේශපාලන නායකත්වය නොවන්නට ජනතාව ඇති දැවැන්ත පීඩාවට පත් විය හැකිව තිබුණි.  
 
ග්‍රීසියේ අත්දැකීම !
 
පුදුමය නම්, පස්වන ඡේදය මගින් ජනාධිපති ලේකම්වරයා පුද්ගලික අංශයට දැවැන්ත කම්මුල් පහරක් එල්ල කිරීමය.   සමස්ත රාජ්‍ය සේවය පුරෝගාමී හා සංවිධානාත්මක බව ඔහු කියයි. පෞද්ගලික අංශය පසුගාමී බව අවධාරණයෙන් කියයි. ලෝක සංවර්ධන නිර්ණායක අනුව, රටක රාජ්‍ය අංශය සීමා විය යුතු බව කලක් දැඩිව ඇදහූ ජයසුන්දර මහතා දැන් වෙනස් වී ඇත.  රාජ්‍ය අංශය පුළුල් කිරීම ‘ප්‍රජාතන්ත්‍රවාදය මරු පහරක්‘ ලෙස පිළිගැනෙන ලෝකයක් අප ඉදිරියේ තිබේ. ලංකාවේ ආර්ථිකයට දැවැන්ත විනාශයක් සිදු කළ ග්‍රීක් ආර්ථිකය බිදවැටීම (ග්‍රීක් බැදුම්කර මිලදී ගැනීම) මගින් ලෝකයට උගත් පාඩම රාජ්‍ය අංශය අනවශ්‍ය ලෙස පුළුල් නොකිරීමේ වැදගත්කමයි.  ග්‍රීසිය ඇද වැටී උගත් පාඩම අප නොතකා හරින්නේ නම් අප ගලවා ගැනීමට කිසිවෙකුත් නොමැති විය හැකිය. 
 
හත් වන ඡේදයේ ඉතා නිවැරදිව දක්වා ඇති පරිදි, අප දේශීය හා විදේශීය ණය කළමනාකරණය කළ යුතුය.  ‘ජාත්‍යන්තර වෙළෙදාම, අපනයනය, සංචාරක කේෂ්ත්‍ර ඇනහිට තිබෙන‘ තත්වයක දී වුව ද, අප ණය නොගෙවා සිටින්නට අපට නොහැකිය. නමුත්, සැබෑ ගැටළුව බවට පත් වන්නේ රජය මේ මොහොතේ නිවැරදිව, ව්‍යවස්ථානුකුලව ණය කළමනාකරණය කරන්නේ ද? යන්නය.  එය ද, වෙනම කථා කළ යුතු ප්‍රශ්නයකි. 
 
රෝහිත න්‍යායට සල්ලි ඇවිත් !
 
2019 ඔක්තෝබර් මස 23 දින පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකා රජයට 2020 ජනවාරි - අප්‍රේල් කාල සීමාව සදහා අනුමැතිය ලබා දී ඇති ණය ලබා ගැනීමේ ප්‍රමාණය රු. බිලියන 721 කි.  මේ වන විට රජය රු. බිලියන 102 ක් හෙවත් කෝටි 12,000 ක ණය ලබාගෙන ඇත.  එයින් රු. බිලියන 744.8 ක් භාණ්ඩාගාර බිල්පත්, බැදුම්කර මගින් දේශීයව ලැබී ඇත.  චීනයෙන් රු. බිලියන 96.4 ක් ලැබී ඇත. (රෝහිත තියරියට අනුව නැවෙන් සල්ලිම පැමිණ ඇත)  ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ණය රු. බිලියන 42.5 කි.  පාර්ලිමේන්තුව අනුමත කර ඇති මුදලට වඩා රට මේ වන විට ණය ලබා ගෙන ඇත.  තේරෙන භාෂාවෙන් කියන්නේ නම් මුදල් අච්චුගසා ඇත! (මෙය ද වෙනම පුළුල්ව සාකච්ඡා කළ යුතු කරුණකි)
 
නව වන ඡේදයේ කරුණු මත පදනම්ව පී.බී.ජයසුන්දර මහතා මේ වන විට දැඩි විවේචනයකට සමාජ මධ්‍ය තුල යොමුව ඇත.  ඔහුගේ යෝජනාව ‘‘‘අප මේ වැටුප නොගෙන එම මුදල්  වැන්දඹු අනත්දරු ගෙවීම් සදහා යොදවන ලෙස මහා භාණ්ඩාගාරයට උපදෙස් දීම‘‘ තුලින් අය-වැය පරතරය අඩු වන්නේය.  අප මුහුණ දී සිටින අර්බුදය ජය ගැනීමට එය පිටුවහලකි.  
 
පී.බී ගේ ක්‍රමය හැර වෙනත් ක්‍රමයක් නෑ !
 
කොපමණ අමිහිරි වුවද,  පී.බී. ජයසුන්දර ඉදිරිපත් කරන යෝජනාව හැර වෙනත් ක්‍රමයක් රාජ්‍ය සේවයේ වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප් ගෙවීම සදහා නැත. අමාත්‍යාංශ ලේකම්වරුන්ට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම දිරිගැන්වීමට පෙළඹවීම් කළ යුතුය.  ප්‍රතිඑල අනුව ඔවුන් ඇගයීමට ලක් කළ යුතුය.   විවේචනය කරන්නන් ඒ සදහා වෙනත් විකල්ප මාර්ග ඇති නම් ඒවා ඉදිරිපත් කළ යුතුය.  හුදු ජනප්‍රියත්වය වෙනුවෙන් ගැලරියට කථා නොකළ යුතුය.  කොරියාව, ජපානය වැනි ලෝකයේ බොහෝ රටවල් අසීරු අවස්ථාවන් හි දී මෙයට වඩා කැපවීම් සිදු කර ඇත.  අනෙක් අතට, අද පරිත්‍යාග කරන මුදලට අනාගතයේ දී පොලියක් ද ලැබෙන්නේය. 
 
ඇමරිකාව ඩොලර් මිලියන 5.8 ක් ද, යුරෝපා සංගමය යූරෝ මිලියන 22 ක් ද, ලෝක බැංකුව ඩොලර් මිලියන 128 ක් ද, ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් ලක්ෂ 6 ක් ද, චීනය ඩොලර් මිලියන 500 ක් ද, ලබා දෙන බවට පොරොන්දු වූ නමුත් ඒ කිසිවක් සෘජු මුල්‍යමය ආධාර නොවේ.  රට තුළින් රාජ්‍ය සේවක වැටුපෙන් මුදල් ලබා ගැනීම පහසුම හා ප්‍රායෝගිකම විකල්පය වන්නේ ඒ නිසාය. 
 
දස වන ඡේදය ලියන පී.බී. ජයසුන්දර මහතා, පසුගිය දෙසැම්බර් මස දී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පැවසූවේ ඔහු ලබා ගන්නේ තමන්නට හිමි වැටුපෙන් 50% ක් පමණ බවයි.  එමෙන්ම, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ද වැඩ කරන්නේ වැටුපක් නොමැතිවය.  ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානීන් පූර්වාදර්ශය සපයා, එම මග යාමට තමා නායකත්වය ලබා දෙන නිලධාරීන්ට, සේවකයින් හා සමස්ත රටටම ආරාධනා කිරීමේ යහපත් පූර්වාදර්ශකයි.  මෙවැන්නක් ලංකාවේ මෙයට පෙර කිසිදා සිදුව නැත.    අනෙක් අතට, නීතිඥවරුන්, වෛද්‍ය, ඉංජිනේරු, ගණනාධිකාරී වැනි තනතුරු දරන ආදායම් බදු නොගෙවන විද්වතුන්, දේශප්‍රේමීන් ද ජයසුන්දර මහතා අනුගමනය කිරීම සුදුසුය.  
 
කලකට ඉහත මර්සියාවේ ද අද ලංකාව වගේම ආර්ථික අර්බුදයකට ලක් විය.  පාලක ලියෝෆ්රික් ආදිපාදවරයා ගේ බිරිද ගොඩීවා (කි.ව. 1066) ය. ගොඩීවා සිය ස්වාමියා වු ආදිපාදවරයාට ජනතාවගේ බදු බර අඩුකරන්නට යැයි කීවේලු. ආදිපාදවරයා ගොඩීවා ට කොවෙන්ට්‍රි නගරය පුරා නිරුවතින් අසු පිටින් යන්නේ නම් බදු බර අඩු කරන බවට අභියෝගයක් බාර දුන්නේය.  ආදිපාදවරයා කිසි ලෙසකින් හෝ සිය බිරිද එවැන්නක් කරනු ඇතැයි සිතුවේ නැත.   ජනතාවට ආදරය කළ ගොඩීවා බිසව දුගී ජනතාව වෙනුවෙන් නිරුවතින් අසුපිට නැගී නගරයේ ඇවිද්දේ ලූ.  රට වැසියා සිය වරළසින් සිය සිරුර වසා ගෙන යන රැජිනට අගෞරවයක් සිදු නොම වන ලෙස ඒ මොහොතේ නිවෙස්වල දොරගුළු වසා, රැජින දෙස නොබලා සිටියේ ලූ.  අද රටට අවශ්‍ය එවන් සාමුහික පරිත්‍යාගයකි. කැපවීමකි. 
 
අප රට ආර්ථික අර්බුදයක පතුලේ ගිලෙමින් සිටී. ඒ ගැන විවාදයක් නැත.  පී.බී. ජයසුන්දර ගොඩීවා මෙන් අර්බුදයෙන් ගොඩ යන මාර්ගයක් පෙන්වා ඇත.  සැවෝම කැපවීමක් කළ යුතුව ඇත.  නායකයින් ජනප්‍රිය තීරණ නොව නිවැරදි තීරණ ගන්නා පුද්ගලයින්ය.  රටේ ආර්ථික අර්බුදයට රට තුළින්ම දේශීය විසදුමක් සොයා ගැනීමට උත්සහ දැරීම ඇගයීමට ලක් කළ යුතුය.  
 
රජිත් කීර්ති තෙන්නකෝන්
හිටපු ආණ්ඩුකාර