මෙවර ආතතිය මහා භාණ්ඩාගාර ලේකම් ආටිගලට : විශ්‍රාම ගැනීමටත්

මෙවර ආතතිය මහා භාණ්ඩාගාර ලේකම් ආටිගලට : විශ්‍රාම ගැනීමටත්

මුදල් අමාත්‍යංශයේ සහ  මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල වහාම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇතයි මුදල් අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වමින් ලීඩර් වෙබ් අඩවිය වාර්තා කරයි.

අවස්ථාවක් ලැබෙන පළමු මොහොතේම තමා විශ්‍රාම යාමට බලාපොරොත්තු වන බව ඔහු පසුගිය දා තමන්ගේ හිතවතුන් කිහිප දෙනෙකුට ම පවසා ඇති බවත් එම පුවත් වාර්තාවේ දැක්වෙයි.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

රුපියල් කෝටි දහස් ගණනක හදිසි ටෙන්ඩර් ගනුදෙනු කිහිපයකට අනුමැතිය ඉල්ලා ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ගෙන් හා පසුගිය කාලයේ රටින් පලාගොස් සිට යලි අමාත්‍යංශ ලේකම්වරයකු ලෙස පත්කර සිටින කුප්‍රකට ජාවාරම්කරුවකු ගෙන් එල්ලවී ඇති බලපෑම් මත මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය දින කිහිපයෙහි දැඩි කම්පනයකින් සිටි බව අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

එම පීඩනය තුල පසුගිය දා ඔහුට හදිසියේ ම හදවත් රෝගී තත්වයක් මතුව ඇති අතර  වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබිණ. එහිදී සිදුකළ සුළු ශල්‍ය කර්මයකින් පසු ඔහු ඊයේ යලි නිවෙසට ගොස් ඇත.

ආයෙත් මහාමාර්ග කොමිස් කුට්ටි පසුපස !

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා මාර්ග කිලෝ මීටර් 105ක් පමණ යළි පිළිසකර කිරීම සදහා චීන සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන 15ක පමණ ණයක් ලබා ගැනීම සඳහාත්, නුවර-කොළඹ අධිවේගී මාර්ගයේ පළමු පියවර සදහා රුපියල් බිලියන 31.7 ක දේශීය හා විදේශීය ණය ලබා ගැනීම සඳහාත් අනුමැතිය ඉල්ලා මහා මාර්ග අමාත්‍යංශයෙන් මුදල් අමාත්‍යංශය වෙත පසුගිය දිනවල දැඩි බලපෑමක් එල්ල වී තිබු බව පැවසේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් කඩලා !

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීන්දු කර ඇති අනෙක් ප්‍රධානතම කාරණය වන්නේ, භාණ්ඩාගාර ලේකම් ලෙසත් මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙසත් ඔහු විසින් පසුගිය දා නිකුත්කර තිබු චක්‍ර ලේඛන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර ඇතයි චෝදනා කරමින් විපක්ෂයේ ප්‍රබලයකු අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරමින් සිටීමයි.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගිය දා මේ සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීමක් කර තිබිණ. ඔහු එහිදී සඳහන් කර තිබුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල්‍ය රෙගුලාසි කඩමින් ක්‍රියාකරන නිලධාරීන්ට ද බරපතල දඬුවම් සමග  ප්‍රජා අයිතිය අහිමිවීමේ ඉඩක් ද ඇති බවයි.

1 - අතුරු සම්මත ගිණුම !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත්කරනු ලැබුවේ 2020 මාර්තු මස 02 වැනි දාය.  එමගින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 2020 අප්‍රේල් මස 25 දින සහ නව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා 2020 මැයි මස 14 ලෙස දින නියම කෙරිණි.

අනතුරුව භාණ්ඩාගාර ලේකම්වරයා නිල වාර්තාවක් ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ, මාර්තු 06 දින සිට ජුනි 06 දක්වා මාස තුනක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් ක්‍රියාත්මක කරන බවයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවත්වීමේ ප්‍රකාශය නිකුත් වී සති තුනක් ඇතුළත රජයේ ආදායම සහ වියදම් පිළිබඳ විස්තර, රජයේ ණය ගැනුම් විස්තර ඇතුළත් පූර්ව මැතිවරණ අයවැය වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීම 2003 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ භාණ්ඩාගාර ලේකම්වරයාගේ වගකීම වේ.

ඒ, අනුව 2020 මාර්තු 23 දින පූර්ව-මැතිවරණ අය-වැය තත්ත්වය පිළිබඳව (Pre-election Budgetary Position Report)  පිටු 40ක වාර්තාවක්  නිකුත් කරන භාණ්ඩාගාර ලේකම්වරයා, මාර්තු 06 දින සිට ජුනි 06 දක්වා අතුරු සම්මත ගිණුමක් ක්‍රියාත්මක කරන බව එම වාර්තාවේ දෙපලක ම සඳහන් කර තිබේ.

2- අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නීති විරෝධී චක්‍ර ලේඛණ !

භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මාර්තු 06 දා සිට ජුනි 06 දක්වා අතුරු සම්මත ගිණුමක් ක්‍රියාත්මක කරන බව එසේ සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ නියෝගය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150/3 ව්‍යවස්ථාවේ ඇති බලය උපුටා දක්වමිනි. එය මුලුමනින්ම ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී බව නීති විශාරදයින් ගේ මතයයි.

ඒ අනුව අමාත්‍යංශ වල විය හියදම් කටයුතු සිදුකරන්නැයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට නිකුත්කර ඇති චක්‍ර ලේඛනය නීති විරෝධී වේ.

ව්‍යවස්ථාව සම්බන්ධ නීති විශාරදයින්ගේ මතය අනුව ජනාධිපතිවරයාට 150/3 ක්‍රියාත්මක කල හැක්කේ, අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනයේ සිට මාස තුනක කාලයක් සඳහාය. ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ එතැන් සිටය.

3- යහපාලන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම අප්‍රේල් 30 දක්වා :

යහපාලන ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත්කර තිබිණ.  එය අවසන් වීමට නියමිතව තිබුනේ 2020 අප්‍රේල් 30 වනදාටය.

එසේ තිබියදී මාර්තු 06 සිට ක්‍රියාත්මක වන අතුරු සම්මත ගිණුමක් සම්බන්ධයෙන් චක්‍ර ලේඛන නිකුත්වීම බරපතල නීතිමය ගැටලුවකි.

එසේම, අතුරු සම්මත ගිණුමක් සම්මත කල හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වීම ද සුවිශේෂී කාරණයකි.

භාණ්ඩාගාර ලේකම් පඹගාලක පැටලිලා !

මේ අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිකුත්කර ඇති චක්‍ර ලේඛන මුලුමනින්ම නීති විරෝධී බව ව්‍යවස්ථා විශේෂඥයින් ගේ මතයයි.

මෙම තත්ත්වය පෙන්වා දෙමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ද නිවේදන කිහිපයක්ම නිකුත්කර තිබිණ.

ඒ අනුව  භාණ්ඩාගාර ලේකම්වරයා ටෙන්ඩර් මගඩි බලපෑම් වලට මෙන්ම නීති විරෝධී චක්‍ර ලේඛන නිකුත් කිරීම සම්බන්ධයෙන් ද පටලැවිලි ගනනාවකට කොටුවී සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න