මංගල සමරවීරවත් CID යට කැඳවයි: අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!

මංගල සමරවීරවත් CID යට කැඳවයි: අත්අඩංගුවට ගැනීමේ සුදානමක්!

පසුගිය දිනවල දී ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනයට ලක් කළ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරට අද (මැයි 14) පස්වරු 2.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණෙන්නැයි දැනුම් දීමක් කර තිබේ.

පොලිසියේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු මුදල් ඇමතිවරයාව මෙසේ කැඳවා ඇත්තේ,  පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින අවතැන් වූවන් 12,500 දෙනෙකුට පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට යාමට ඒමට ප්‍රවාහන  පහසුකම් ලබාදීමට, පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ යටතේ ඇති 'අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය' මගින් පුත්තලම ශ්‍රී  ලංගම ඩිපෝවට මුදල් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

මෙම අවතැන් වූ පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ  කිරීමට තමන්ගෙ ගම් බිම් සඳහා යාමට අවශ්‍ය  ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙස 'අවතැන්වූවන් ගේ සංවිධානය' එවකට අගමති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව එම ඉල්ලීම ඉටුකර දෙන ලෙස නැවත පදිංචි කිරීමේ විෂයභාර අමාත්‍යංශයේ ලේකම් වෙත අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක විසින් ලිඛිතව දන්වා තිබිණ.

එම තත්වය යටතේ පුත්තලම දිස්ත්‍රීක්කයේ පදිංචි අවතැන්වූවන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාමට ඒමට ප්‍රවාහන පහසුකම් ලබාගැනීම වෙනුවෙන්  ශ්‍රී ලංගම ඩිපෝවට මුදල් ගෙවීමට හිටපු මුදල් ඇමතිවරයා සිය අනුමැතිය ලබා දී ඇතැයි පැවසේ.

මිට අමතරව වෙනත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද මංගල සමරවීර හිටපු ඇමතිවරයාගෙන් අද දිනයේ දී කට උත්තර ලබාගැනීමට නියමිත බව පැවසේ.

දශක ගණනාවක් පුරා අවතැන්ව සිටින දෙමළ සහ මුස්ලිම් ජනයා :

දශක ගණනාවක් පුරා අවතැන්ව සිටින දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්ණය තවමත් දැවෙන ප්‍රශ්ණයකි.

1990 දී උතුරුකරයෙන් මුස්ලිම් ජනතාව පළවා හැර මේවනවිට දශක 03කට ආසන්නය. 1995 සිටම යාපනය ශ්‍රී ලංකා රජයේ හමුදා යටතෙහි තිබි ඇති මුත් මෙම මුස්ලිම් ජනයා යළි පදිංචි කිරීමට රාජපක්ෂ ආණ්ඩු හෝ යහපාලන ආණ්ඩු අසමත් විය.

එහෙයින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදුකල යුත්තේ, අවතැන්වූවන්ට ඡන්දය ලබාදීමට CTB බස්රථ ලබාදීම ගැන විමර්ශන කරන මුවාවෙන් ආණ්ඩුව විවේචනය කරන දේශපාලන නායකයින් දඩයම් කිරීම නොව, දශක කිහිපයක් තිස්සේ අවතැන්ව සිටින දෙමල හා මුස්ලිම් ජනයාගේ ගැටලුවට සාධාරණ විසඳුමක් ලබාදීමය.

කෙසේවුවද මහ මැතිවරණයක් කැඳවා ඇති මොහොතක සිංහල අන්තවාදීන් පිනවීමට උත්සහ කරන රාජපක්ෂවරුන් ගෙන් සුළු ජාතීන්ට එවැනි සහනයක් ලැබේ යයි සිතීම විහිළුවක් විය හැක.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න