ජනාධිපති ලේකම් "පීබී" බලය අනිසි ලෙස භාවිත කරලා - විදුහල්පති සේවා සංගමය

ජනාධිපති ලේකම් "පීබී"  බලය අනිසි ලෙස භාවිත කරලා - විදුහල්පති සේවා සංගමය
රාජ්‍ය සේවක වැටුපෙන්  කොටසක් අයකරගැනීමට ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර  විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමුකළ ලිපිය නෛතික වරදක් මෙන් ම තමන්ගේ බලය අනිසි ලෙස භාවිත කිරීමක් බව සඳහන් කරමින් විදුහල්පති සේවා සංගමය ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර ඇත.
 
විදුහල්පති සේවා සංගමය මෙම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇත්තේ ජනාධිපති ලේකම්ගේ  ඉල්ලීම මත රාජ්‍ය සේවක වැටුපෙන් කොටසක් අයකරගැනීමට විරෝධය දක්වමිනි.
 
එසේම අදාළ ඉල්ලීම ජනාධිපති ලේකම්  ගේ පෞද්ගලික ඉල්ලීමක් ලෙස සැලකිය නොහැකි බවත්  ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල ලිපි ශීර්ෂය යොදා ගැනීමෙන් ම ඒ බව තහවුරු වන බවත් එම ලිපියේ අවධාරණය කර ඇත 
 
තවද  එම ලිපිය නිකුත් කිරීම මගින් අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය සේවකයින් වෙත ජනාධිපති ලේකම්වරයා ලෙස කරනු ලබන අනිසි බලපෑමක් මෙන් ම සදාචාර විරෝධී කටයුත්තක් බව ද  එහි සඳහන් කර ඇත.
 
විදුහල්පති සේවා සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ එම ලිපිය පහත දැක්වේ.
 

ගරු ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

ආණ්ඩුවලවිදුහල්පතිවරුන් ගුරුවරුන් හා අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අයකර ගැනිම සම්බන්ධවයි.

2020. 05. 05 දිනැතිව ජනාධිපති ලේකම් විසින් අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වෙත යොමුකර ඇති ලිපිය මගින් සෑම අමාත්‍යාංශයක ම හා රාජ්‍ය සේවකයකුගේ ම වැටුප හෝ ඉන් කොටසක් අයකර ගැනීම සඳහා දැනුම් දී ඇත. මේ පිළිබඳව විදුහල්පති සේවා සංගමයේ දැඩි විරෝධය පලකර සිටිමු.

එම ලිපිය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළද, ලේකම්වරයාග් පුද්ගලික ඉල්ලීමක් යැයි අපි නොසිතමු. ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල ලිපි ශීර්ෂය යොදා ගැනීමෙන් ම ඒ බව තහවුරු වේ. එසේ ම එම ලිපිය නිකුත් කිරීම නෛතික වරදක් මෙන් ම තමන්ගේ බලය අනිසි ලෙස භාවිත කිරීමකි. එම ලිපිය මගින් අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය සේවකයින් වෙත ජනාධිපති ලේකම්වරයා ලෙස කරනු ලබන අනිසි බලපෑමක් මෙන් ම සදාචාර විරෝධී කටයුත්තක් බව ද පැහැදිලි වේ.


තවද, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ නියැලෙන කිසිවෙකුටත් ඔබ ලේකම්වරයා පිළිබඳ කිසිදු විශ්වාසයක් නැත. ඒ ඔහුගේ අතීත භාවිතයන් නිසාවෙනි. අතීතයේ සිදුවූවාක් මෙන් ම '' #කොරෝනා #Covid- 19'' අරමුදලේ මුදල් වියදම් කිරීම සම්බන්ධව ද විනිවිදභාවයක් නොතිබීමත්, රාජ්‍ය යාන්ත්‍රණයක් හරහා වගකීමෙන් එම මුදල් පරිහරණය නොකිරීමත් නිසා ඒ පිළිබඳව ද සැකයක් මතුවේ.

මේ වනවිට දැඩි ණය බරකින් හා දැඩි මූල්‍ය අපහසුතා මැද සොච්චම් වැටුපකින් ජීවත්වන විදුහල්පතිවරුන් හා ගුරුවරුන් තව තවත් පීඩනයට සහ අපහසුතාවයට පත් නොකරන ලෙස ද අවධාරණය කරනු කැමැත්තෙමු.

ස්තූතියි.

මෙයට විශ්වාසි,
සුනිල් ප්‍රේමතිලක,
සභාපති
විදුහල්පති සේවා සංගමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න