Language Switcher

V2025

බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමග කිසිඳු ආකාරයේ ගැටුමක් නෑ - හිටපු අමාත්‍ය මංගල සමරවීර

"සිවුරක් දා ගත්තු පලියට භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ චීවරයේ මුවාවෙන් ඉන්න කල්ලි  ගැන. මේ සංඝ කල්ලි  එදා ඉදන්ම අද දක්වාම තිබුන බව, තියෙන බව ඉතිහාසයෙන්ම ඔප්පු වෙනවා. බෞද්ධයෙක් හැටියට මට විතරක් නෙවෙයි හැම බෞද්ධයෙකුටම මේ වෙනුවෙන් කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා විතරක් නෙවෙයි යුතුකමක් තියෙනවා කියලා මම හිතනවා" හිටපු මුදල්  අමාත්‍ය මංගල සමරවීර පවසයි.

එසේම බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමග තමාට කිසිඳු ආකාරයේ ගැටුමක් නොමැති බවත්, තමන් විටින්විට ගැටෙන්නේ 'දෙව්දත් කල්ලියේ' චීවරධාරීන් සමග පමණක් බවත් හිටපු අමාත්‍යවරයා  යලිත් වතාවක් අවධාරණය කර සිටියි. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් මත ඊයේ  (19) පෙරවරු 10.15 ට පමණ එම කාර්යාලයේ 4වන තට්ටුවට ගොස් සිය ප්‍රකාශය ලබාදීමෙන් පසු සවස 2.30ට පමණ ඉන් පිටතට පැමිණ මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ගෙන් ඊයේ  දිනයේ ද පැය හතරකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

හිටපු මුදල් ඇමතිවරයා ගෙන් ඊයේ  දිනයේ ද ප්‍රශ්න කර ඇත්තේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින අවතැන් වූවන් 12,500 දෙනෙකුට පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට යාමට ඒමට ප්‍රවාහන  පහසුකම් ලබාදීමට, පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ යටතේ ඇති 'අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය' මගින් පුත්තලම ශ්‍රී  ලංගම ඩිපෝවට මුදල් ගෙවීමට මුදල් අමාත්‍යංශයෙන් අනුමැතිය ලබා දුන්නේ ද යන කාරණය සම්බන්ධයෙනි.

ප්‍රකට 'වොයිස්කට්' හිමිනමක් විසින් කල පැමිනිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භකර තිබේ.

 පුත්තලමේ අවතැන් වු ජනතාවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා බස් රථ 22 කින් පුත්තලමේ  සිට මන්නාරම දක්වා රැගෙන යාමට රුපියල් ලක්ෂ 95 ක මුදලක් රජයෙන් ගෙවීමට අනුමැතිය ලබා දී ඇතැයි කියමින් උන්වහන්සේ මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

පසුගිය මැයි 14 දින ද මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය 5කට වැඩි කාලයක් පුරා අදාළ  සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණ.

 ඊයේ  කට උත්තර ලබාදීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා මෙසේ පැවසිය.

මැතිවරණ කොමිසමට යෝජනාවක් :  

''එදා කරපු පරීක්ෂණයේ දෙවෙනි කොටස තමයි අද සිදුවුනේ. ඇත්ත වශයෙන්ම යලි වතාවක් මම මගේ සතුට ප්‍රකාශය කරනවා. විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ශ්‍රී ලාංකික පුරවැසියන් දොළොස් දාහකට (12,000කට) වැඩි  පිරිසකගේ ප්‍රජා අයිතිය රුකදෙන්න පුළුවන් වුන එක ගැන.  ඔව්, මම සතුටු වෙනවා ආඩම්බර වෙනවා කියන එක තමයි මම යලි වතාවක් අද මේ රහස් පොලිසීයේ පරීක්ෂණ කරපු ඒ නිළධාරි මහත්වරුන්ට කිව්වේ . 

''ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නවාද කිසිම වැරදක් නැ කියලා '' මාධ්‍යවේදියකු කළ  විමසීමේදී ප්‍රතිචාර දැක්වූ හිටපු ඇමතිවරයා, 

''ඔව් කිසිම වරදක් නෑ.  උතුරේ ජීවත්වූ මුස්ලිම් ජාතිකයින් ලක්ෂයකට වැඩි පිරිසක් මිට වසර 30කට උඩදී එල්ටීටීඊ  ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ ගම්බිම් වලින් පලවා හැරියා. තමන්ගේ ජීවත්වන තැනුත් අහිමි වෙලා, ගෙවල් දොරවල් අතහැරලා හැතැම්ම 100කට 200කට දුර ගෙවාගෙන ඇවිත්  දකුණේ  අවතැන් වූ  කෑම්ප් වල වසර ගණනාවක් ජීවත් වුනා. ඔවුන් අතරින් සැහෙන පිරිසක් අවුරුදු 30ක් තිස්සේ දැනටත් ජීවත්වෙන්නේ අවතැන් කඳවුරුවල.  මේ මිනිසුන්ට අඩුම ගානේ තමන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට සෑම රජයක් ම වග බලා ගන්න ඕනේ . 

ඇත්ත වශයෙන්ම මම මේ වෙලාවේ මැතිවරණ කොමිසමට යෝජනා කරන්න කැමතියි,  මේ අවතැන්ව සිටින කට්ටියට ඡන්දය පාවිච්චි කිරීමට යම් කිසි නිසි පියවරක් ඉදිරියේ දී සකස් කරන්න කියලා.  ඇත්ත වශයෙන්ම ඒ අයට හැතැම්ම ගානක් තමන්ගේ ගම්බිම් ප්‍රදේශවලට යන්නට අමාරුනම්, එල්ටීටීඊ  සංවිධානය නිසා අවතැන් වුනු මේ අයට අඩුමගානේ විශේෂ තැපැල් ඡන්දයක් හරි ඉදිරි මැතිවරණවලදී ලබාදෙන්නට ඕනේ කියන එකයි මම මේ අවස්ථාවේදී කියන්නේ.''

මෙහිදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම හමුවේ මංගල සමරවීර ප්‍රතිචාර දැක්වුයේ මෙසේය. 

මාධ්‍යවේදීන් :
'ඔබතුමාට සංඝයා වහන්සේලා සමග තියෙන ගැටුම මොකද ?

මංගල :
''මට භික්ෂුන් වහන්සේලාත් එක්ක, සංඝයා වහන්සේලාත් එක්ක කිසිම ගැටුමක් නැහැ. මම පරම්පරාගත බෞද්ධයෙක්. බෞද්ධාගමට බුද්ධ දර්ශනයට විශාල ගෞරවයක් තියන කෙනෙක්. මම පෞද්ගලිකව බෞද්ධ දර්ශණය හදවතින්ම විශ්වාස කරන ඒ අනුව ජිවත්වන්නට උත්සහ කරන කෙනෙක්. 

නමුත් අද බෞද්ධ දර්ශනය කෙලසමින් සිවුරු පොරෝගෙන තමන්ගේ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන රස්තියාදු පිරිසක් ගැනනම් මට ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ අය ගැන මම කතා කලේ. 

නමුත් පැහැදිලිවම මම එදා කිව්වා වගේම මේ සංඝ කල්ලි කියන දේවල් අලුත් දේවල් නෙවෙයි. බුදුහාමුදුරුවන්ගේ කාලයේ දේවදත්ත කියන්නේ මුලින්ම බුදුහාමුදුරුවන්ට එරෙහිව බුද්ධ දර්ශනයට එරෙහිව සංඝ කල්ලියක් ඇති කරගත්තු කෙනෙක්.

 ශාසන ඉතිහාසය අනුව මම දන්නවා බුදුන්වහන්සේට මුලදිම ස්වාමීන් වහන්සේලා 1250යි හිටියේ. ඒ 1250නුත් 750 ක්ම දේවදත්ත අජාසත්තගේ උවමනාවට මේ කල්ලියට එකතු කර ගත්තා. නමුත් බුදුහාමුදුරුවන්ට පුළුවන් වුනා මේ දේවදත්තලා මෙල්ල කරන්න.

ඒ වගේම පරාක්‍රමබාහුගේ කාලේ පරාක්‍රමබාහු රජුට සිද්ධ වුනා ස්වාමීන් වහන්සේලා කියලා කීයා ගන්න 60,000 ක් අර අච්චු කරලා, ශාසනෙන් නෙරපා හැරලා තමයි එදා බුද්ධසාසනය බුද්ධ දර්ශනය රැක ගත්තේ. 

සැබැ බෞද්ධයාගේ විලාපය !

 අන්න ඒ වගේම අදත් තත්වයක් තියෙනවා අද බලන්න, බුදුවෙලායි කියලා ඇඟ සුදු කර ගත්ත පවුඩර් ගා ගත්ත ස්වාමීන් වහන්සේලා කියා ගන්න පිරිසක් ඉන්නවා. අනික් පැත්තෙන් 'වොයිස්කට්'  එකටත් සල්ලි ගන්න, පුවත්පත් සාකච්ඡාවටත් සල්ලි ගන්න, කුඩු මුදලාලිගෙන් ජිවත් වන පිරිසකුත් අද මතුවෙලා තිබෙනවා. අන්න ඒ අයට විරුද්ධවයි මම මේ සටන් කරන්නේ. 

මම මේ කියන හැම දෙයක්ම සැබැ බෞද්ධයෙක්ගේ විලාපය හැටියට මම දකින්නේ. අද මේ රටේ ගොඩක් අය හදවතින් බුද්ධාගමට වෙන දේ ඉදිරියේ විලාප ගහනවා. ''

මාධ්‍යවේදීන් :
'ඔබතුමා එහෙම සඳහන් කරාට, ඔබතුමාට සදාචාරාත්මක අයිතීයක් නැහැ නේද භික්ෂුන් වහන්සේලාට එහෙම  ප්‍රකාශ ඉදිරිපත් කරන්න.? '

''සිවුරක් දා ගත්තු පලියට භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ''

මංගල :
සිවුරක් දා ගත්තු පලියට භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ චීවරයේ මුවාවෙන් ඉන්න කල්ලි  ගැන. මේ සංඝ කල්ලි  එදා ඉදන්ම අද දක්වාම තිබුන බව, තියෙන බව ඉතිහාසයෙන්ම ඔප්පු වෙනවා. බෞද්ධයෙක් හැටියට මට විතරක් නෙවෙයි හැම බෞද්ධයෙකුටම මේ වෙනුවෙන් කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා විතරක් නෙවෙයි යුතුකමක් තියෙනවා කියලා මම හිතනවා. ''

මාධ්‍යවේදීන් :
ඒකට සාක්ෂි තියෙනවාද ?

මංගල :
''සාක්ෂි මොකටද ?  බලන්න ඇස් දෙක තියෙන ඕන කෙනෙක්ට පේනවා අද බෞද්ධ ආගමට මොකක්ද වෙන්නේ කියලා. ඊට වඩා සාක්ෂි ඕනේ නැහැ. මම මේ නඩු කියන්න නෙවෙයි යන්නේ. කුඩු වලින් ජිවත් වන නාලිකා වලට සමහර වෙලාවකට මම කියන ඒවා ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔය කුඩු මුදලාලිලා ගෙනියන නාලිකා  මොනවාද කියලා අපි දන්නවා, ඒ වගේම ජනතාවත් දන්නවා.

 ඉතින් ඒ අයට ප්‍රශ්නයක් වුනාට අද මම දන්නවා මේ රටේ බෞද්ධයන් බහුතරයක් මගේ මතයට එකගයි. 

මාධ්‍යවේදීන් :
ඔබතුමා ප්‍රශ්න කරාට ඒක මහ නාහිමිවරුන්ට අයිති කාරණාවක් නේද ?

මංගල :
''නැහැ, නැහැ, මේ බුද්ධාගම කියන්නේ කාටවත් අයිති දෙයක් නෙවෙයි. බුද්ධාගම අපි සියලු දෙනාමට අයිති දෙයක්. බෞද්ධ දර්ශනය බෞද්ධ නොවන අයටත් අයිති දෙයක්. බෞද්ධ දර්ශනය ඇත්ත වශයෙන්ම කියලවා නම් 21 වෙනි සියවසක නෙවෙයි මම හිතන්නේ 23 වෙනි 24 වෙනි 25 වැනි සියවල් වල විද්‍යාව සහ  බෞද්ධ දර්ශනයත් අතර තිබෙන වෙනසත් නැති වෙනවා.  මොකද ඒ තරම් ඉස්සරා බලන දර්ශනක් බෞද්ධ දර්ශනය කියන්නේ.

මාධ්‍යවේදින් :
දේශපාගඥයන් තමන්ගේ හිතුමතේ ක්‍රියා කරනකොට භික්ෂුන් වහන්සේලාට අයිතියක් තියෙනවා නේද ඔවුන්ගේ කරුණු ඉදිරිපත් කරන්නට. ඒක ඔබතුමාට විවේචනය කරන්න බැහැ.

මංගල :
නැහැ නැහැ භික්ෂුන් වහන්සේලා ඉන්නනේ සාසනය ආරක්ෂා කරන්න මිසක් රට පාලනය කරන්න නෙවෙයි. ඒක පැහැදිලිවම මතක තියා ගන්න.  හරියට හෝ වැරදියට රට පාලනය කරන්න දේශපාලඥයන් බිහිවෙනවා ඡන්ද දායකයන්ගෙන්.  එහෙම තෝරාපත්කර ගන්න දේශලාඥයන් හරි නැත්තම්, දැන් අද හෙටම ඡන්දයක් එනවා අපිව ගෙදර යවන්න පුළුවන්.

වීඩියෝ