Language Switcher

V2025

අලුත් මේජර් ජනරාල්වරුන් : ජාත්‍යන්තර අවධානයට : සුකාගෙන් දැඩි විවේචනයක් !

අලුත් මේජර් ජනරාල්වරුන් : ජාත්‍යන්තර අවධානයට : සුකාගෙන් දැඩි විවේචනයක් !

මතබේදාත්මක ඉතිහාසයක් සහිත හමුදා නිලධාරීන්ට ඉහල තනතුරු ප්‍රදානය කිරීමෙන් දණ්ඩ මුක්තිය තවත් තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජාත්‍යන්තරය හමුවේ අභියෝගයකට මුහුණ පා සිටී.

යුද්ධය අවසාන වී අවුරුදු 11ක් ගතවීම නිමිත්තෙන් ජනාධිපතිවරයා විසින් මේජර් ජෙනරාල්වරුන් පහකට උසස් වීම් ලබා දීම  සත්‍යය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය (ITJP) විසින් හඳුන්වා දී ඇත්තේ “විලිබියෙන් තොර දණ්ඩ මුක්තියේ දුගඳ වහනය වීමක්” ලෙසිනි.

ඊළඟ නිලයට උසස් කරන ලද යුද්ධ හමුදාවේ නිලධාරීන් 177 දෙනා අතර වන ඒ පස්දෙනාගේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳ කෙටි විස්තරයක්ද ITJP විසින් එළිදක්වා තිබේ.

මෙය මෑතකාලීනව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ “එක්දිනක් තුල ලබාදෙන ලද විශාලතම උසස්වීම් අතරින් එක් අවස්ථාවක්” බව හමුදා ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙසේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මේජර් ජෙනරාල් තනතුරු වලට පත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ 30/1 යෝජනාවේ දැක්වෙන ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ යටතේ ශ්‍රී ලංකාව විසින් පොරොන්දු වී ඇති පරිදි පූර්ව පරීක්ෂාවක් හා සෝදිසියක් මගින් නිලතල වලින් පහ කළ යුතු නිලධාරීන් පිරිසක් බව ITJP පවසයි.

වින්දිතයන්ට අපහාසයක් !

Sooka“ඉතාම බරපතල දේශපාලනීකරණයක්  වන මේ පුද්ගලයන් තෝරාගැනීමෙන් නැවතත් ශ්‍රී ලාංකිකයන්ටත් ජාත්‍යන්තර ප්‍රජාවටත් දෙනු ලබන පණිවිඩය වන්නේ වචනයට පමණක් සීමාවූ සංහිඳියාව පවා න්‍යාය පත්‍රයෙන් බැහැර කර ඇති බවයි. වින්දිතයන්ට කරන ලද තවත් එක් අපහාසයක් වන මේ ක්‍රියාවෙන් විලිබියෙන් තොර දණ්ඩ මුක්තියේ දුගඳ වහනය වෙයි,"  යනුවෙන් ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසා තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ බලකායේ මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ, ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් ටී ජගත් කොඩිතුවක්කු, විශේෂ බලකායේ මේජර් ජෙනරාල් හරේන්ද්‍ර පරාක්‍රම රණසිංහ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරාල් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් චන්න ඩී වීරසුරිය අලුත්ම ITJP වාර්තාවේ නම්කොට ඇති නිලධාරීන් පස් දෙනායි.

ඒ අතරින් වඩාත් කැපී පෙනෙන පත්වීම ලෙස දක්වා ඇත්තේ වන්නේ ශ්‍රී ලාංකික තානාපති නිලධාරියකුව සිටියදී මහජන සාමය  කඩකිරීමේ වරදට මහා බ්‍රිතාන්‍ය අධිකරණයකින් වරදකරු  කරනු ලැබූ ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු ගේ උසස්වීමයි.

 2018 දී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ගොඩනැගිල්ලෙන් පිටත උද්ඝෝෂණයේ යෙදුනු දෙමළ විරෝධතාකරුවන්ට ගෙල සිඳින සංඥාවකින් තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු කරනු ලැබීය. ශ්‍රී ලංකාවට ගියදා සිට කිහිප වාරයක් උසස් වීම් දෙනු ලැබූ ඔහුගේ සාපරාධී ක්‍රියා නොතකා ඔහු වීරයකු ලෙස පිළිගන්නා ලද බව ITJP ජාත්‍යන්තරයට සිහිපත් කර දෙයි.

"හමුදා නිලධාරීන්ට මෙන්ම තානාපති නිලධාරීන්ටත් මෙයින් දෙනු ලබන පණිවිඩය නම් ලෝකය වටේ යමින් දෙමළ ඩයස්පෝරාවට අපහාස හා තර්ජන කළොත්, වරදාන ලැබෙන බව,” යැයි යැස්මින් සූකා පැවසුවාය. “එය මහා බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතියට කරන දරුණු අපහාසයක්ද වෙයි.”

ඉසෙයිප්‍රියාගේ ඝාතනය !

විශේෂ බලකා ආඥාපති හරේන්ද්‍ර පරාක්‍රම රණසිංහගේ උසස්වීම ITJP විසින් හඳුන්වා ඇත්තේ වගවීමට එල්ල කර ඇති තවත් මරු පහරක් ලෙසය.

ඉසෙයිප්‍රියා යනුවෙන් ප්‍රකට දෙමළ රූපවාහිනී නිවේදිකාව අත් අඩංගුවට භාරගන්නා සෙබළකු ලෙස ඔහු මීට ඉහතදී වීඩියෝවකින් හඳුනා ගෙන තිබුණි. පසුව ඇය හමුදා අත්අඩංගුවේදී මරා දමන ලද බව එක්සත් ජාතීන්ගේ විමර්ශනයකින් හෙළි කරගන්නා ලදී. ජය සංකේත ලෙස ගන්නා ලද ඡායාරූප වල පසුව අඩ නිරුවත් මල සිරුර දැක ගත හැකි ඉසෙයිප්‍රියා සමග ඉන්නා බව පැහැදිලිව දැකගත හැකි මේජර් ජෙනරාල්  රණසිංහගෙන් අදවනතුරු සිදුවූ දේ ගැන ප්‍රශ්න කර නැති බව ITJP පවසයි.

"සිය දියණියගේ ඝාතනයේ සාක්ෂියක් මේජර් ජෙනරාල් පදවියකට උසස් කරනු ලැබීම පිටුවහලේ ජීවත් වන්නට බල කරනු ලැබ ජීවතුන් අතර ඉන්නා ඉසෙයිප්‍රියා ගේ පවුලේ උදවියට කෙලෙස බලපානු ඇතිදැයි  අසන්නට සිදුවෙයි,” යනුවෙන් යැස්මින් සූකා පවසා තිබේ.

මේ උසස්වීම් කර ඇත්තේ හමුදාකරණය වැඩිවෙමින් පවතින සහ ජනාධිපතිට සමීප විශ්‍රාමික සහ රාජකාරියේ නිරත නිලධාරීන්ට සිවිල් රැකියා දෙනු ලබන පසුබිමක බව ITJP පෙන්වා දෙයි.

හමුදා බලපෑම ‘සාමාන්‍යකරණය' !

“අප මේ අත්දකිමින් සිටින්නේ එදිනෙදා ජීවිතයේ  හමුදා බලපෑම ‘සාමාන්‍යකරණය' වෙමින් පැවතීමයි,” යනුවෙන් යැස්මින් සූකා පැවසුවාය. “ආකාරගත නොවන ජාල ජනාධිපති රාජපක්ෂ යටතේ  විධිමත් කිරීමේ ප්‍රතිපලය වන්නේ දණ්ඩ මුක්තිය තවත් ගැඹුරට කිඳා බැසීමයි”.

කෙසේ වෙතත්, හමුදාවට චෝදනා එල්ලවන අපරාධ සම්බන්ධයෙන් වගවීම සඳහා කෙරෙන ඉල්ලීම් නැවත නැවතත් තරයේම ප්‍රතික්ෂේප කරන ජනාධිපතිවරයා එවැනි බලපෑම් ගෙනෙන ජාත්‍යන්තර ආයතන වලින් ඉවත්වන බවට තර්ජනයක්ද කර තිබේ.

“අපේ රටට අසාධාරණයක් වන  ආකාරයට යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවානම්  එම ආයතන‍යේ හෝ සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට මා කිසිවිටකත් පසුබට වන්නේ නෑ,” යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 11 වැනි රණවිරු සැමරුම් උළෙල අමතා ප්‍රකාශ කර සිටියේය.

මතබේදයට තුඩු දී සිටින මේජර් ජනරාල් 5ට අමතරව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල් නිලයේ සිටි 4 දෙනකු බ්‍රිගේඩියර් නිලය දක්වාත්, මේජර් නිලයේ සිටි 9 දෙනකු ලුතිනන් කර්නල් නිලය දක්වාත්, කපිතන් නිලයේ සිටි 69 දෙනකු මේජර් නිලය දක්වාත් දෙවන ලුතිනන් නිලයේ සිටි 60 දෙනකු ලුතිනන් නිලය දක්වාත් නිල උසස් කර තිබේ.

මීට අමතරව යුද්ධ හමුදාවේ තවත් 14,617 කගේ නිල උසස් කරන බවද යුද හමුදාව නිවේදනය කරයි.

(ද ලීඩර් )