Language Switcher

V2025

වෙළෙඳ පොළේ හාල් හිඟය අස්සේ : ඩඩ්ලි තවත් හෝටලයක් අරගෙන !

වෙළදපොලේ උග්‍ර හාල් හිගයක් ඇතිව තිබෙන මෙම අවස්ථාවේ ඩඩ්ලි සිරිසේනට අයත් සමාගමක් විසින් පොලොන්නරුව වැව ඉස්මත්තේ හෝටලයක් මිලදී ගෙන ඇති බව වාර්තා වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

 ඒ පිළිබදව තම සංවිධානයට ගැටලුවක් නැති මුත් සහල් පාරිභෝගිකයා සූරාගෙන කෑමට ඉඩදීම ගැටළුවක් බවත් ඔවුන් සඳහන් කරයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ අදහස් දක්වා ඇත්තේ ජනාධිපති අවධානය සඳහා  නිවේදනයක් නිකුත්කරමින් වන අතර එහි සහල් හිඟය මැඩීමට විසඳුම් ද යෝජනා කර ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

සහල් පාරිභෝගිකයා හාන්සිකර ඩඩ්ලි සිරිසේන හෝටල් මිලදී ගනී. හාල් හිගයට පිළියම මෙන්න !

වෙළදපොලේ උග්‍ර හාල් හිගයක් ඇතිව තිබෙන මෙම අවස්ථාවේ ඩඩ්ලි සිරිසේනට අයත් සමාගමක් විසින් පොලොන්නරුව වැව ඉස්මත්තේ හෝටලයක් මිලදී ගෙන ඇති බව අප වෙත වාර්තා වී ඇත. ඒ පිළිබදව අප සංවිධානයට ගැටලුවක් නැති මුත් සහල් පාරිභෝගිකයා සූරාගෙන කෑමට ඉඩදීම නම් අපට මහත් ගැටලුවකි.

මීට මාස කිහිපයකට පෙර ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකදී සහල් මෝල් හිමියෙක් කීවේ සහල් මිල රැපියල් 96.00 ක් වීම නැවැත්විය නොහැකි බවයි. එම අවස්ථාවේ හමුදා නිළධාරියෙක් කීවේ හමුදාව විසින් සහල් ඇතිවෙන්න මිලදීගෙන ඇති බවයි. ඒත් මේ වන විට සැබෑ වී තිබෙන්නේ මහාපාරිමාන සහල් මෝල් හිමියා පැවැසූ දෙය බව අප පිළිගතයුතුය.

සහල් හා පොල් යනු රටක ආණ්ඩු වෙනස් කරන භාණ්ඩ දෙකකි. මක්නිසාස යත් රටේ බහුතරයක් තුන්වෙලටම තවමත් බත් කන නිසාය. එම නිසා එවැනි භාණ්ඩයක පාලනය පුද්ගලයින් හතර පස්දෙනෙකුට ලබා දීම ඉතා භයානක බව දැන්වත් රජය තේරුම්ගත යුතුය.

ගැටලුව පමණක් ඉදිරිපත් කිරීම හෝ විවේචනය කිරීම අප සංවිධානයේ කාර්යය නොවන නිසා සහල් හිගය සදහා වන අපගේ විසදුම අප ඉදිරිපත් කරමු. ඒ පිළිබදව සොයා බැලීම ජනාධිපතිවරයාට හා අමාත්‍යවරු ඇතුලු රාජ්‍ය නිළධාරීන්ට පවරමු.

මෙරට වී මිලදී ගැනීම හා සහල් වෙළදාම විධිමත් කිරීම සදහා 1971 දී නව පනතක් හදුන්වා දී තිබේ. ඒ 1971 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනතයි. එම පනත මගින් වී ගොවියා සහ සහල් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහා නීති ප්‍රතිපාදන හදුන්වා දී තිබේ. එහෙත් මෙරට කූට ව්‍යාපාරිකයින් මුලින්ම කලේ එම පනත මගින් හදුන්වා දුන් වී අලෙවි මණ්ඩලය මරා දැමීමය. එසේ වී අලෙවි මණ්ඩලය මරා දැමූ පසු ඔවුන් විසින් ඔවුන්ගේම වී මිලදී ගැනීමේ හා සහල් විකිණීමේ ඒකාධිකාරයක් පවත්වා ගෙන යන්නේය. එමගින් බැට කන්නේ මෙරට බහුතරයක් වූ සහල් පාරිභෝගිකයා බව දැන්නම් පැහැදිලිය.

2007 වසරේදී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කල ඩඩ්ලි සිරිසේනගේ අයියා වන මෛත්‍රීපාල සිරිසේන නැවතත් වී අලෙවි මණ්ඩලය සක්‍රීය කළේය. ඔහු එහිදී  ඔහු කලේ තම මල්ලීගේ සහල් ව්‍යාපාරයට වාසිදායක වගන්ති පමණක් නැවත ක්‍රියාත්මක කිරීමය. අදාල පනත අනුව වී අලෙවි මණ්ඩලය පිහිටුවා මසක් ඇතුලත සියලුම වී මොල් එහි ලියාපදිංචි කොට බලපත්‍රයක් ලබා ගත යුතුය. 

ඒ අනුව වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම, සහල් මොල්, සහල් අලෙවිය හා ප්‍රවාහනය නියාමනය කරන ආයතනය බවට පත්විය. එම බලපත්‍ර ලබාගත් පුද්ගලයින් හා සමාගම් නියාමනය කිරීමට වී අලෙවි මණ්ඩලයට පුලුවන. තොග සගවා තැබිය නොහැක. මේ වන විට කිසිම වී මෝල් හිමියෙකු සතුව වී අලෙවි මණ්ඩලයෙන් ලබාගත්  බලපත්‍රයක් නොමැත. එසේ බලපත්‍රයක් ලබා නොගත් සමාගම් උක්ත පනත යටතේ නීතිවරෝධි සමාගම් වේ. එසේ නම් නැවතත් කල යුත්තේ 1971 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත නිසි ලෙස ක්‍රියාත්මක කිරීමය. එසේ කලහොත් මහාපරිමාණ මෝල් හිමියන්ගේ සහල් ඒකාධිකාර බිද දැමිය හැක.

මෙසේ කෘතිම සහල් හිගයක් මවාපෑමෙන් මහාභාණ්ඩාගාරයේ නිළධාරීන් හා මහාපරිමාණ සහල් ව්‍යාපාරිකයින් සූදානම් වන්නේ පිටරටින් සහල් ආනයනය කිරීමටය. එසේ සහල් ආනයනය කරන්නේද මහාපරිමාණ මෝල් හිමියන්ය. පිටරටින් සහල් ආනයනය කිරීමේදී භාණ්ගාරයේ සමහර නිළධාරීන්ගේ සාක්කු පිරෙන්නේ විශාල කොමිස් කුට්ටිවලින්ය. මෙරට කුඩා පරිමාණ මොල් හිමියන්ට සහල් මිලදී ගැනීම සදහාරජය මුදලක් වෙන්කලද එම මුදල කුඩා පරිමාණ මෝල් හිමියන්ට තවමත් ලබා දී නැත. ඒසේ කරන්නේ සහල් පාරිභෝගිකයා පීඩාවට පත්වුනද නිළධාරීන්ගේ සාක්කු පිරෙන නිසාය.

අපේ බලාපොරොත්තුව ඩඩ්ලි සිරිසේනට හා සහචරයන් තවතවත් පෝෂණය කිරීම නම් හා මහා භාණ්ඩාගාරයේ නිළධාරීන්ගේ සාක්කු පිරවීම නම් නිහඩ වී බලා සිටිමු. අපේ බලාපොරොත්තුව සහල් පරිභෝගිකයා ආරක්ෂා කිරීම නම් හා කෘතිම සහල් හිගය සදහා විසදුම් සෙවීම නම් නැවතත් 1971 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත යළිත් ක්‍රියාත්මක කරමු.

ස්තුතියි 

මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති - පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය