Language Switcher

V2025

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ජීවිත සුරකිනු : වෘත්තීය සමිති 20කින් ආණ්ඩුවට බලපෑම් !

කොවිඩ් 19 රෝගයට ගොදුරු වී සිටින ශ‍්‍රමිකයන් සඳහා පහසුකම් සලසා ඔවුන්ගේ ජීවිත වසංගත අවදානමෙන් මුදවා ගැනීමට කටයුතු කරන ලෙස වෘත්තීය සමිති 20ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කර ආණ්ඩුවට බලකර සිටියි. 
 
මෙරටට ගෙන්වා ගත හැකි ශ‍්‍රමිකයන් කිසියම් විධිමත් ක‍්‍රමවේදයක් යටතේ ගෙන්වා ගත යුතු අතර, එසේ නොකර ඔවුන් සඳහා පහසුකම් සැපයිය නොහැකි බව පවසමින් ඔවුන් මෙරටට ගෙන්වා නොගෙන සිටීම හා ඔවුන්ට සහන සැලසීමේ කි‍්‍රයාමාර්ගයක් නොගැනීම පිළිකුලෙන් හෙළා දැකිය යුතු බරපතල තත්වයක් බවත් අදාළ නිවේදනය සඳහන් කරයි.
 
එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
 
 කෝවිඞ් 19 වසංගත තත්වය තුළ අතරමං වී සිටින මැදපෙරදිග ශ‍්‍රමිකයන්ට සහන සැලසීම රජයේ වගකීමකි !

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ කුවේට් ඇතුළු මැදපෙරදිග රටවල සේවය කරන ශ‍්‍රමිකයන් විශාල පිරිසක් ශී‍්‍ර ලංකාවට ආපසු පැමිණීමේ අපේක්ෂාවෙන් ඉල්ලීම් කරමින් සිටින අතර, රජය ඔවුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මේ දක්වා පැහැදිලි තීරණයක් ගෙන නැත. කුවේට් හි පමණක්  19000 කට අධික පිරිසක් සිටින අතර, මෙම ශ‍්‍රමිකයන් වසංගත තත්වය තුළ මේ වන විට අඩු පහසුකම් යටතේ බරපතල පීඩාවට ලක්ව සිටින බව වාර්තා වේ. එසේම වීසා අවසන්වී මේ වන විට නීත්‍යානුකූල නොවන ලෙස එම රටවල රැුදී සිටින පිරිසට එම රජයන් විසින් සහන කාලයක් ලබා දී ඇති අතර, එම සහන කාලය අවසන්වීමට පෙර ඔවුන් ගෙන්වා ගැනීම රජයේ වගකීමක් වේ.

රැකියා සඳහා මෙම ශ‍්‍රමිකයන් විදේශගත වීමේදී රජය විසින් ඔවුන්ගෙන් මුදලක් අය කරන අතර, එම මුදලින් විදේශ ශ‍්‍රමිකයන් සඳහා පවත්වාගෙන යන අරමුදලේ රුපියල් බිලියන ගණනක් වේ.  විදේශ රැකියා වෙළඳපොළ තුළ මෙරටට විදේශ විනිමය සපයන මැදපෙරදිග ශ‍්‍රමිකයන් ලංකාවේ ආර්ථිකයේ වැදගත් සාධකයකි. ඔවුන්ගේ ජීවිත අනතුරුදායක තත්වයකට වැටී ඇති මෙම අවස්ථාවේ ක‍්‍රමවත් වැඩපිළිවෙලක් සහිතව ඔවුන් මෙරටට ගෙන්වා ගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා වෛද්‍ය ප‍්‍රතිකාර සැපයීමත්, රෝගයට ගොදුරු වී සිටින ශ‍්‍රමිකයන්ට එම රටවල දී අවශ්‍ය වෛද්‍ය පහසුකම්  ලබාදීම හා නිරෝධායන කටයුතු සඳහා  මැදිහත් වී කටයුතු කිරීම රජය විසින් පැහැර නොහැර කළ යුතු කාර්යයකි. ඔවුන්ට අවශ්‍ය ආරක්ෂක නිවස්න එම රටවල සැකසීමටත්, ඒවායේ පහසුකම් සඳහාත් රජය මුදල් යොදවා ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. මෙරටට ගෙන්වා ගත හැකි ශ‍්‍රමිකයන් කිසියම් විධිමත් ක‍්‍රමවේදයක් යටතේ ගෙන්වා ගත යුතු අතර, එසේ නොකර ඔවුන් සඳහා පහසුකම් සැපයිය නොහැකි බව පවසමින් ඔවුන් මෙරටට ගෙන්වා නොගෙන සිටීම හා ඔවුන්ට සහන සැලසීමේ කි‍්‍රයාමාර්ගයක් නොගැනීම පිළිකුලෙන් හෙළා දැකිය යුතු බරපතල තත්වයකි.

මෙරට වැඩ කරන පන්තිය නියෝජනය කරන වෘත්තීය සමිති ලෙස මෙම මැදපෙරදිග ශ‍්‍රමිකයන් සම්බන්ධයෙන් අවධාන යොමු කිරීම අපගේ වගකීමක් වන අතර, එය මෙරට සමස්ත ජනතාවගේ ද වගකීමක් වේ. මේ තත්වය තුළ විධිමත් වැඩපිළිවෙලක් යටතේ මෙම මැද පෙරදිග ශ‍්‍රමිකයන් ගෙන්වා ගැනීමට හා රෝගයට ගොදුරු වී සිටින ශ‍්‍රමිකයන් සඳහා පහසුකම් සලසා ඔවුන්ගේ ජීවිත වසංගත අවදානමෙන් මුදවා ගැනීමට කටයුතු කරන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

මෙයට,

 
x  ලංකා ගුරු සංගමය
x  ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමය
x  ශී‍්‍ර ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය
x  සමස්ථ ලංකා රාජ්‍ය කලමනාකරණ නිළධාරීන්ගේ සංගමය
x  දුම්රිය ස්ථානාධිපති සංගමය
x  වාරිමාර්ග පොදු සේවක සංගමය
x  ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය
x  පළාත් කළමණාකරණ සේවා නිළධාරින්ගේ සංගමය
x  දුම්රිය සේවක සංගමය
x  දුම්රිය කම්කරු එකතුව
x  වානිජ හා කාර්මික සේවක සංගමය
x  එක්සත් කම්කරු සම්මේලනය
x  සමස්ත ලංකා විදුලි සංදේශ සේවක සංගමය
x  ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය
x  රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමය
x  එක්සත් ජාතික තැපැල් සේවක සංගමය
x  එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය
x  ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සේවක වෘත්තිය සමිතිය
x  ලංකා වෘත්තීය සමිති සම්මේලනය
x  තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය