පොලිසියෙන් නිරෝධායනය කළ ගුරුවරුන් සෞඛ්‍යයෙන් මුදාහැරලා !

 පොලිසියෙන් නිරෝධායනය කළ ගුරුවරුන් සෞඛ්‍යයෙන් මුදාහැරලා !
ගල්කිස්ස පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත නිරෝධායනයට ලක්කර සිටි රත්මලාන කොතලාවලපුර විදුහලේ ගුරුවරුන් විසිහත්දෙනා රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් මත පැය විසි හතරකින් නිරෝධායනයෙන් ඉවත් කර තිබේ.
 
මේ පරස්පර තීන්දුව සම්බන්ධව ලංකා ගුරු සංගමය විශේෂ නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේ සඳහන් කර ඇත.
 
බප/පිළි/කොතලාවලපුර විදුහලේ නවාතැන් ගෙන සිටි නාවික හමුදා සෙබළුන් කිහිපදෙනෙකු කෝවිඞ් 19 අසාදිතයන් බවට තහවුරු වී තිබූ අතර, එම පාසලේ විදුහල්පතිවරයා විසින් පසුගිය 21 දින වැටුප් ලේඛන අත්සන් කිරීමට එම පාසලේ ගුරුවරු පාසලට ගෙන්වා තිබුණි. එම තත්වයතුළ අදාළ ගුරුවරු ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබුණි.

එහෙත් රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්වරයා විසින් ගල්කිස්ස පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අමතන ලද 2020.05.30 දිනැති  MOH/RAT/Gen/2020 අංකයෙන් යුතු ලිපිය මගින් දැනුම් දී ඇත්තේ නිරෝධායනයට ලක්කර ඇති කොතලාවලපුර විදුහලේ මුරකරු සහ ගුරුවරුන්ගේ නිරෝධායනය වහා ඉවත්කරන ලෙසයි.

මෙසේ පොලීසිය විසින් ගුරුවරු නිරෝධායනයට ලක් කිරීමත්, රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්වරයා විසින් ඔවුන් නිරෝධායනයෙන් ඉවත් කිරීමත් බරපතල පරස්පර තත්වයකි. මේ තත්වය තුළ ගුරුවරු දැඩි අපහසුවකට හා පීඩාවක පත්ව ඇති අතර, එසේ පීඩාවට පත්වීමට හේතු වී ඇත්තේ අනවශ්‍ය ලෙස එම ගුරුවරු විදුහල්පතිවරයා විසින් පාසලට ගෙන්වීමයි.  මෙලෙස ගුරුවරු අපහසුවට හා පීඩාවට පත්වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය බරපතල අප‍්‍රසාදය පළ කර සිටී.

මෙයට,
ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න