ජුනි 20 මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට නොගෙන ඉවතට !

 ජුනි 20 මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට නොගෙන ඉවතට !

ජුනි  20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළේය.

මෙම පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලදී.

අගවිනිසුරු  ජයන්ත ජයසූරිය,  බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

දින 10 ක් පුරා පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශ්ව වල කරුණු දැක්වීම් ඊයේ (01) අවසන් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගයට අවසර  දෙනවාද  නැත්ද යන්න පිළිබඳ තීන්දුව මීට ස්වල්ප මොහොතකට පෙර ප්‍රකාශයට පත් කරමින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

නීතීඥ චරිත ගුණරත්න , රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීන මාධ්‍යවේදී විකටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක් , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු , සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය  රංජිත් මද්දුමබණ්ඩාර , ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය  කුමාර වෙල්ගම  ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි.

ජාතික වැදගත්කමින් යුතු පෙත්සම් වන බැවින් මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්ව කළ ඉල්ලීම සලකා බලමින් මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ඉකුත් මැයි 14 වැනිදා අගවිනිසුරුවරයා තීරණය කළේය.

මෙම පෙත්සම් වල  වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම , එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු  සාමාජිකයින් වන  ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති  ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

එසේම ජුනි මස 20 වැනිදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන  ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.

කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20 වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවය.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇති බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.

ඉකුත්  මාර්තු මස පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු  මන්ත්‍රී වරුන් තෝරා ගැනීමට මැතිවරණය අප්‍රේල් මස  පැවැත්වීමට  නියමිතව තිබූ ණි. එහෙත් කෝවිඩ්  වසංගතය පැතිරී ඇති නිසා එදින මැතිවරණ පැවැත්වීමට නොහැකි බව සඳහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස පැවැත්වීමට  මැතිවරණ කොමිසම විසින්  තීරණය කරන ලදී. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ  දිනයේ සිට  මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා  මැතිවරණය  පැවැත්විය යුතු අතර එසේ  නොකිරීම  නීතිවිරෝධී  බව  කියමින් මෙම පෙත්සම්  ගොනු කර තිබුණි.

එමගින්  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය  වන බව ද පෙත්සමේ සඳහන්  කර තිබේ. 

එබැවින්  මෙම මැතිවරණය ජූනි මාසයේ   පැවැත්වීමට අදාළ ව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසද ඉල්ලා තිබිණි.

එසේම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව, නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි , අචාර්ය ගුණදාස අමරසේකර , නීතීඥ ප්‍රේම්නාත් සී.දොළවත්ත , මහාචාර්ය සුදන්ත ලියනගේ , සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු පිරිසක්ද අතරමැදි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා  පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොන  කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතාවයන් තුනක් ගොනු කළ අතර එමගින් මෙම පෙත්සම් කාලාවරෝධී බවත් ඇතැම් පෙත්සම් වල අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති නම් නොකිරීම සහ ඉල්ලා සිටින සහනයන් ප්‍රදානය කිරීම සදහා පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිය මූලික වි⁣රෝධතා ඉදිරිපත් කියා සිටියාය.

එසේම පෙත්සම් හි වගඋත්තරකරුවකු වන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ද මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් කරුණු වසන් කරමින් අධිකරණය හමුවේ ගොනු වී ඇති බවත් , එසේම එම පෙත්සම් නීතියට පටහැනි ලෙස ගොනු කෙරී ඇති බවත්ය .

(මූලාශ්‍රය - ලංකාදීප )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න