Language Switcher

V2025

නාමයෝජනා දිනය ජනාධිපතිටවත් වෙනස් කරන්න බෑ : අගවිනිසුරු ඓතිහාසික තීන්දුවක !

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ජනාධිපතිවරයා නියම කළ නාමයෝජනා බාරගැනීමේ දින ජනාධිපතිවරයාටවත් ආපසු කැඳවීමේ හෝ සංශෝධනය කිරීමේ හැකියාවක් නැතැයි මැතිවරණයට පක්ෂව සහ විපක්ෂව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය කියා සිටියේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය  මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිරද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ පීරිස් මලල්ගොඩ  එහි සෙසු සාමාජිකයෝ වෙති.

මෙම පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිස් ජනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුණි ද සිල්වා  කරුණු දක්වමින් කියා සිටියේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති කෝවිඩ් උපදේශ මාලාවට අනුව කටයුතු පිළියෙල කිරීම මැතිවරණ කොමිසම අවසන් කරමින් සිටින බවයි.

ඉන් අනතුරුව මාධ්‍යවේදී වික්ටර් අයිවන්  ඇතුළු පෙත්සම්කරුවන් 8 දෙනාගේ පෙත්සම් වෙනුවෙන් යළි කරුණු දැක්වීම අරඹමින් ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන්  මෙසේ පැවසීය.

පෙත්සම්කරුවන් අතශවශ්‍ය පාර්ශවකරුවන් ලෙස නම් නොකිරීම පිළිබඳව මේ අවස්ථාවේදී චෝදනා එල්ල වුණා. වරුණ කරුණාතිලක එදිරිව දිසානායක නඩු තීන්දුව අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමක අත්‍යවශ්‍ය පාර්ශවකරුවන් නම් කිරීම අනිවාර්ය නැහැ. මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට ලිපියක් යොමු කිරීම පමණක් ප්‍රමාණවත් ඒ අනුව වගඋත්තරකරුවන්ගේ තර්කය බිඳ වැටෙනවා.

තවද ප්‍රේමචන්ද්‍රට එදිරිව මොන්ටේගු ජයවික්‍රම නඩුව අනුව ව්‍යස්ථාව උත්තරීතර නීතියයි. ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ඉන්පසුව පවත්වන මැතිවරණයත් නීතියට පටහැනි බව එම නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් වනවා.


ඊළඟට මම නිවාඩු දිනයක නාමයෝජනා පත්‍ර බාරදීමේ ගැටලුව පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරනවා. මෙතැන තිබෙන ප්‍රමුඛතම ප්‍රශ්නය නිවාඩු දින පිළිබඳ පත්‍රයේ සිංහල හෝ දෙමළ පිටපතක් නැහැ. වසර 100 ත් පැනලා. තවමත් පරිවර්තනයක් නැහැ.

Public Holiday කිව්වාම ප්‍රසිද්ධ නිවාඩුද රජයේ නිවාඩු යන්න ප්‍රශ්න ගතයි. මේ පිළිබඳ පනතේ සිංහල හෝ දෙමළ පිටපතක් නැති නිසා ගැටලු සහගත තත්ත්වයන් උද්ගත වනවා. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වගන්තියේ සඳහන් වන්නේ රජයේ නිවාඩු යන්නයි. සාමාන්‍යයෙන් ඉරිදා දින කිසිම දිනක නාමයොජනා බාරදී නැහැ.

අනෙක් අතට 8 වැනි පාර්ලිමේන්තුව මැරිලා කියලා තර්කයක් ගේනවා. පාර්ලිමේන්තුව කවදාවත් මැරෙන්නේ නැහැ. එය හරියට ෆීනික්ස් පක්ෂියා වාගේ අළු ගසා දා යළි නැගිටිනවා.

හරි, පාර්ලිමේන්තුව මැරිලා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) වගන්තිය අනුව හදිසි අවස්ථාවකදී කැඳවන්නේ කොහොමද?


අගවිනිසුරු- පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුව කල් තැබිය හැකිනේද?

ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන් මහතා- ස්ථාවර නියෝග 7 (1) යටතේ කල්තැබිය හැකිය.

ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන් මහතා- පාර්ලිමේන්තුව මාස 2 කට කල් තැබිය හැකිය.

අපි හිතමු පාර්ලිමේන්තුව මාස 2 කට කල් තබා මාස 2 ඉක්මවූ පසුවත් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැහැ කියලා එතකොට පාර්ලිමේන්තුව කල් තැබූ නියෝගය ඉබේම අවලංගු වනවා. එවිට පාර්ලිමේන්තුවට යළි රැස්විය හැකියි.

මේ අවස්ථාවේදීත් වෙන්නේ ඒකයි. පාර්ලිමේන්තුව විසුරුවා මාස 3 ක් ගතවී අහවරයි. එම නියෝගය ඉබේට අවලංගු වෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව යළි කැඳවිය හැකියි.

අගවිනිසුරු- පාර්ලිමේන්තුව විසුරුවා නාමයෝජනා දින නියම කළාම ඒක ජනාධිපතිටවත් ආපසු කැඳවන්න සහ වෙනස් කරන්න බලයක් නැහැ.

ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන් මහතා-
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීම අනිවාර්යය කරුණක් බව ඔබතුමන්ලාගේ අධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දුවක් ලබා දී තිබෙනවා. එපමණක් නොවෙයි ඉන්දියාවේ ගුජරාටි නඩුවේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙය අනුමත කර තිබෙනවා. මීට පෙර කරුණු දැක්වූ ආචාර්ය ලක්සිරි මෙන්ඩිස් මහතාත් මේ පිළිබඳව කරුණු දැක්වූහ.

ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන් මහතාගේ කරුණු දැක්වීම ඉන් අවසන් විය.

ඉන්පසු සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද සුමන්තිරන් මහතාගේ කරුණු දැක්වීම අනුමත කළහ.

ඉන්පසු මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා යළි කරුණු දක්වමින් මෙසේ පැවසීය.

මැතිවරණය කල් දැමුවේ ජනතාවගේත් ඡන්ද නිලධාරින්ගේත් ආරක්ෂාව ලබා දෙන්නයි. වසංගත තත්ත්වයකදී එසේ කිරීමට කොමිසමට බලය තියෙනවා. හිතාමතාම ඡන්දය කල් දැමූ බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි රොමේෂ් ද සිල්වා මහතා සහ නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුනි ද සිල්වා මහත්මිය යළි කරුණු නොදැක්වූහ.

ඉන්පසු පාර්ශ්වකරුවන් ඇමතූ අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ මෙම පෙත්සම් විභාගයට ගත්නවාද ඉවත දමනවාද යන්න පිළිබඳ තීන්දුව අද දින ප.ව. 3.00ට ප්‍රකාශ කරන බවයි.

නීතිඥ චරිත ගුණරත්න, රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සමගි ජන බලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් මේ දෙදින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ.

ජාතික වැදගත්කමින් යුත් පෙත්සම් වන බැවින් මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්ව කළ ඉල්ලීම සලකා බලමින් මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ඉකුත් 14 වැනිදා අගවිනිසුරුවරයා තීරණය කළේය.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

එසේම ජූනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉල්ලා තිබිණි.

කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20 වැනිදා මහ මැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බවය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත් දා 2072/3 දරන අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇති බව ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් කියා සිටිති.

ඉකුත් මාර්තු මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට  මැතිවරණය අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් කොවිඩ් වසංගතය පැතිරී ඇති නිසා එදින මැතිවරණය පැවැත්වීමට නොහැකි බව සඳහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කරන ලදී.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය පැවැත්විය යුතු අතර, එසේ නොකිරීම නීති විරෝධී බව කියමින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.
එමඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ද පෙත්සමේ සඳහන් කර තිබේ.

එබැවින් මෙම මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා තිබිණි.

එසේම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට එරෙහිව නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත, ව්‍යාපාරිකයකු වන සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු 11 දෙනකු ද අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන්, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, නීතිඥ විරාන් කොරයා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.

මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිඥ වී.කේ. චොක්සි මහතා පෙනී සිටියේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.

(මූලාශ්‍රය - ලංකාදීප )