Language Switcher

V2025

අගමැති, අගවිනිසුරු හමුවෙලා ! - ජනපති නොසන්සුන් !!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණයේ තවත් විනිසුරු වරයකු හමුවී ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කිරීමත් සමග ජනාධිපතිවරයා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රීලනිප අමාත්‍යවරයකු පැවසිය.

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බවත් එහි තීන්දුව බලාපොරොත්තුවෙන් යුතුව කැබිනට් සංශෝධනය පමාකර ඇති බවටත් පලවන වාර්තා සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කල විමසීමකදී ඔහු එබව කියා සිටියේය.

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් විමසා ඇතැයි පලවන වාර්තා සනාථ කල එම ඇමතිවරයා, එවැනි මොහොතක අගමැතිවරයා අගවිනිසුරු හමුවීම සැකකටයුතු බවද කියා සිටියේය.

'රනිල් ඉවත්විය යුතුමයි' :

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්විය යුතු බවට ජනාධිපතිවරයා දැරූ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බවත් ශ්‍රීලනිප මැති ඇමතිවරුන් බහුතරයකගේ මතද එයම බවත් එම අමාත්‍යවරයා පැවසිය.

ජනාධිපතිවරයා පුර්ණ කැබිනට් සංශෝධනයක් බලාපොරොත්තුවන බවත්, අගමැතිවරයා මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති වීම කැබිනට් සංශෝධනයට පමාව බවත් ඔහු සඳහන් කළේය.

''ආර්ථික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවලට අදාල අමාත්‍යංශ මෙන්ම මහාමාර්ග, සෞඛ්‍ය ආදී අමාත්‍යාංශත් මුළුමනින්ම සංශෝධනය කල යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වෙලා තියනවා. එත් අගමැතිතුමා ඊට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ. ඒ නිසා කැබිනට් සංශෝධනය තවදුරටත් පමාවෙන ලකුණු තියනවා '' යයි එම අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එම ගැටළුව විසඳා ගැනීමෙන් පසු අමාත්‍ය ධුරයක් බාර ගන්නේදැයි 'නිව්ස් ටියුබ්' කල විමසීමේදී එම අමාත්‍යවරයා පැවසුයේ, ජනාධිපතිවරයා කියනවා නම් ඒ ඕනෑම දෙකට එකඟ බවයි.

 හදිස්සියක් නැහැ :

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (21) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ද කියා සිටියේ, ඉදිරියේදී සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු පසුගිය සතියේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ එම සතිය තුළ අදාළ සංශෝධනය සිදුවන බවයි. එහෙත් ඔහු අද ප්‍රකාශ කළේ බොහෝ විට මේ සතිය තුළ එය සිදුවිය හැකි බවයි.

එහෙත් එයට හදිසියක් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

 අද නොවේ හෙට ...

ඒ අතර අමාත්‍ය සරත් අමුණුගම ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙට සිදුවිය හැකි බවයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.