Language Switcher

V2025

හොකී ක්‍රීඩාව හරි පීල්ලට ගන්න ඩලස් ඇමති ගන්නා උත්සාහය : ප්‍රවීණයන්ගේ පැසසුමට !

අන්ත දූෂිත බවට චෝදනා නැගුනු හොකී නිලවරණය නැවත පැවැත්වීමට සහ ඒ වෙනුවෙන් වන නිලවරණ කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දැනුම්දී ඇති බවට දැනගන්නට ලැබී ඇති බවත් අමාත්‍යවරයාගේ එම තීරණය මේ වන විට වලපල්ලට ගොස් ඇති ක්‍රීඩාව නැවත නංවා ගැනීම වෙනුවෙන් බලාපොරොත්තු තැබිය හැකි ප්‍රශංසනීය තීරණයක් බව හොකී ක්‍රීඩාවේ ප්‍රවීණයන් පවසයි.

newstube.lk  වෙත ප්‍රකාශයක් කරමින් හොකී ප්‍රවීණයන් පිරිසක් මේ බව සඳහන් කළ අතර හොකී ක්‍රීඩාව අරක්ගෙන සිටි මාෆියාවක් බඳු නිලධාරීන් කිහිපදෙනාගේ ක්‍රියාකලාපය සහ ක්‍රීඩාව ආශ්‍රිත අර්බුද රැස පෙන්වා දෙමින් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වෙනුවෙන් කැපවූ හොකී ක්‍රීඩාවේ ප්‍රවීණයන්ට එය අස්වැසිල්ලක් බවත් ඔවුන් පැවසීය.

පසුගිය වසරේ අගෝස්තු 04 වනදා සිරස රූපවාහිනියේ inside sports  වැඩසටහනට එක්වෙමින් හොකී ක්‍රීඩාවේ අර්බුද රැසක් සම්බන්ධව සාක්ෂි සහිතව අනාවරණය කිරීම හේතුවෙන් ක්‍රීඩාවේ ප්‍රවීණයන් කිහිපදෙනෙකුට එරෙහිව වත්මන් හොකී පරිපාලනය එළව එළවා පළිගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් එය කොතරම් දරුණු ආකාරයට සිදුවුවාදැයි කියතහොත් ඔවුන්ට යළිත් කිසිඳු ආකාරයකට හොකී ක්‍රීඩාව සමඟ සම්බන්ධවීමට නොහැකි ආකාරයේ වාරණයක් පැනවීම පවා සිදුවූ බව අප වෙත අදහස් දැක්වූ ප්‍රවීණයන් පැවසීය.

ලංකා අධිකරණය ලබාදුන් තීන්දු, ක්‍රීඩා අමාත්‍යවරුන් නිකුත්කළ ගැසට් නිවේදන මෙන්ම ක්‍රීඩා පනත පවා උල්ලංඝනය කරමින් මෙකී දුෂිත පරිපාලනය විසින් හොකී ක්‍රීඩාව පත්කර ඇති විනාශය පසුගිය ලංකා තරග වාර්තා අධ්‍යයනය කිරීමෙන් පෙන්නුම් කෙරෙන බවත් එම තත්ත්වය අනාවරණය කිරීමට අවස්ථාව ලබාදීම ගැන සිරස නාලිකාව ඇතුළු මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් වෙත තම ස්තූතිය පළකරන බවත් ඔවුන් සඳහන් කරයි.

නිලවරණ කමිටුවක් පත්කර සාධාරණ නිලවරණයක් පවත්වා ක්‍රීඩාව මේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ඇතුළු පාර්ශව සම්බන්ධව නැවත සිය ප්‍රණාමය පුදකරන බවද ඔවුන් පැවසීය.