නැගෙනහිර ගුරු වැටුප් කප්පාදුවට එරෙහි නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ !

නැගෙනහිර ගුරු වැටුප් කප්පාදුවට එරෙහි නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ !

නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ වැටුපෙන් කොටසක් අඩු කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 04 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම අද (29) බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නැගෙනහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් නීතිඥවරයකු පෙනී නොසිටීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වැනිදා දක්වා කල්තබන ලෙස අධිකරණය නියම කළේය.

ලංක ගුරු සංගමය , එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු , එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් , ගුරු වැටුප් කප්පාදුවට ලක්වූ නැගෙනහිර පළාත් ගුරුවරයෙකු වන පොන්නදුරෙයි උදයරූබන් යන මහත්වරුන් විසින් පෙත්සම ගොනු කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.එම් .මන්සූර් , නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ටී.පී.වනිගිසිංහ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ,සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

ඉකුත් මාර්තු 31 වැනිදා නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නැගෙනහිර පළාතේ දුප්පතුන්ට ආධාර කිරීම යනුවෙන් සඳහන් චක්‍රලේඛයක් පළාතේ ගුරුවරුන් වෙත නිකුත් කර ඇතැයි පෙත්සමෙන් සඳහන් වේ.

ඒ තුළින් අප්‍රේල් මාසය සදහා දිනක වැටුපක් කපා හැර ඇති බවත් ඒ යටතේ පෙත්සම්කාර පොන්නතුරෙයි උදයරූබන් නැමැත්තාගේ මාසික වැටුපෙන් රුපියල් 1174.82 ක මුදලක් නොදන්වා කපා හැර ඇති බව දැන ගන්නට ලැබී ඇති බවද පෙත්සමේ සඳහන් වෙයි.

මේ පිළිබඳව තවත් ගුරුවරු පිරිසක් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර සංගමයට පැමිණිලි කර ඇත.

මෙසේ ගුරු වැටුපෙන් නොදන්වා මුදල් කපා හැරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී. 

ඊට අමතරව නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කළ ගුරු වැටුප් කප්පාදු කරන චක්‍රලේඛය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය මූලික අයිතීන් උල්ලංඝනය වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් පෙත්සම්කාර සංගමය අධිකරණයෙන් ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න