MCC ගිවිසුම ගැන ආණ්ඩුව බොරු කියයි : ජනපතිට සහය දෙනවා - මංගල

MCC ගිවිසුම ගැන ආණ්ඩුව බොරු කියයි : ජනපතිට සහය දෙනවා - මංගල

පසුගිය යහපාලන ආණ්ඩුව, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) ගිවිසුමෙන් කොටසක් අත්සන් කර ඇති බැවින් එයින් එකවරම ඉවත් වීමට හැකියවක් තමන්ට නොමැති බවට ආණ්ඩුවේ ප්‍රකාශකයන් කරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බව 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.

මේ ආකාරයට ආණ්ඩුව අසත්‍ය ප්‍රකාශ සිදුකරන්නේ එම ගිවිසුම අත්සත් කිරීමේ සැලැස්මක් ඇති නිසා බව දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

'අනිද්දා' පුවත්පත කළ විමසීමකදී කැබිනට් මණ්ලයේ ප්‍රකාශකයෙකු නිර්ණාමිකව සිටිනු කැමතිව ප්‍රකාශ කර ඇත්තේ, ජූලි 01 පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගිවිසුම අත්සන් කරනවාද නැද්ද යන්න පිළිබඳව විමසීමේදී ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නිශ්චිත පිළිතුරක් ලබා නොදුන් බවය.

එම රැස්වීමේදී ගිවිසුම අත්සත් නොකර සිටීමේ තීන්දුවක් ගෙන නොමැත. ගිවිසුමේ කොටසක් මීට පෙර බලයේ සිටි ආණ්ඩුව අත්සන් කර ඇති නිසා එකවරම ගිවිසුම අතහැර දැමිය නොහැකි බව එහිදී අගමැතිවරයා ප්‍රකාශ කළ බව එම ප්‍රකාශකයා සඳහන් කර තිබේ.

අදහස් දෙන්න කැබිනට් මණ්ඩලයට සතියක්:

MCC ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලලිතසිරි ගුණරුවන් වාර්තාව සම්බන්ධයෙන් සතියක් ඇතුළත සිය අදහස් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ජුලි 01දා දැනුම් දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජුලි 02 පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඒ බව සඳහන් කළේය.

ගිවිසුම අත්සන් නොකරන්නේ නම් එයට අදාල අවසන් තීන්දුවක් නොගන්නේ මන්දැයි මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා පැවසුයේ, රාජතාන්ත්‍රික ගිවිසුම් පිළිබදව හදිසි තීරණ ගතහොත් විහිලුවක් බවට පත්වන බවත් මීට පෙර රජය ඊට අදාල ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බවත්ය.

මීට පෙර ආණ්ඩුව MCC සමාගම සමග ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ වාර්තාවේ සදහන් වේ.

වැඩ සටහන ගොඩනැගීම වෙනුවෙන් ප්‍රධානය ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමක් 2017 ජූලි 26 වන දා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අත්සන් කර ඇති බව එහි සඳහන් ය. එම ගිවිසුම සංශෝධනය කොට 2018 ජූනි 18 වන දා තවත් ගිවිසුමකට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අත්සන් කර ඇති බවට එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

''ඔය කතාව බොරුවක්'' -හර්ෂ ද සිල්වා

මේ පිළිබඳ 'අනිද්දා' පුවත්පත කළ විමසීමකදී හිටපු ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයිම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ, එය කිසිසේත්ම ගිවිසුම් අත්සන් කිරීමක් ලෙස සැලකිය නොහැකි බවයි. එම ගිවිසුම අත්සන් කිරීමට පෙර ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කිරීම සැලසුම් සකස් කිරීම හා සක්‍යතා අධ්‍යයනය සඳහා ඇති කර ගත් එකගතාවයක් පමණක් බවත් ඔහු සඳහන් කර ඇත.

"අපේ ආණ්ඩුව පිට දාලා මේ ප්‍රධානය කොහොම හරි ගන්න උත්සාහ කරනවා. එත් අපේ ආණ්ඩුව ගිවිසුම් අත්සත් ක‌ර නැහැ. ඔය කතාව බොරුවක් ඕනෑම ගිවිසුමක් අත්සත් කරන්නට කලින් එයට අදාල සාකච්ඡා පවත්වන්න එකගතා ඇති කර ගන්නවා. සාකච්ඡාවලින් පස්සේ අත්සන් නොකරන්නත් ඉඩ තියෙනවා, කරන්නත් ඉඩ තියෙනවා. " හර්ෂද සිල්වා වැඩි දුරටත් සඳහන් කර ඇත.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය ශ්‍රී ලංකාවට ලබාදීමට බලාපොරොත්තුවන ප්‍රධානය සඳහා එම සමාගමේ අනුමැතිය ලැබී ඇත්තේ ඉහත කී එකගතාවයට අත්සන් තැබූ පසු 2019 අප්‍රෙල් 29 වන දාය.

සක්‍යතා අධායනය සදහා 2018 ජූනි 18 වන දා අත්සන් කළ දෙවෙනි අවබෝධතා ගිවිසුමේ ඩොලර් මිලියන 10 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව සඳහන් කර තිබුණද ඇමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 30 වන දා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකාවට කිසිදු මුදලක් ලබා නොදුන් බවයි.

'රටට හානිකර වගන්ති කිසිවක් නැහැ' -  මංගල

මේ අතර ජුලි 01දා ස්වර්ණවාහිනි රුපවාහිනී නාලිකාවේ දේශපාලන වැඩසටහනකට සහභාගිවෙමින් හිටපු මුදල් අමත්‍ය මංගල සමරවීර පැවසුයේ, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ මුල් සති කිහිපය තුලදී MCC ප්‍රදානයන් ලබා ගැනීමට සාකච්ජා කිරීමට තමා විදේශ අමාත්‍යවරයා ලෙස ඇමරිකාවට ගියේ මහින්ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත බවයි.

මහින්ද රාජපක්ෂ MCC ප්‍රදානය ලබාගැනීමට උනන්දු වූ ආකාරය එහිදී පැහැදිලි කළ මංගල සමරවීර, ගිවිසුමේ කිසිඳු තැනක රටට හානි කර වගන්ති නොමැති බවත්, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරයේ කිසිඳු වගන්තියක් නොමැති බවත් අවධාරණය කර සිටියේය.

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියන 480 ක මුදල ලබාගැනීම ගැනීම සෑම  අතින්ම රටට වාසිදායක බව එම සාකච්ජාවේදී පෙන්වා දුන් හිටපු මුදල් ඇමතිවරයා, ඊට අත්සන් කිරීමට ජනාධිපති ගෝඨාභයට ආත්ම ශක්තිය තිබේනම් ඒ වෙනුවෙන් සහය දැක්වීමට තමා සුදානම් බව ද පැවසුවේය.

ද ලීඩර් 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න