2011 ලෝක කුසලාන චෝදනාව පුස්සක් : මහින්දානන්දට එරෙහිව නීතිය ක්‍රියාත්මකවෙයිද ?

2011 ලෝක කුසලාන චෝදනාව පුස්සක් : මහින්දානන්දට එරෙහිව නීතිය ක්‍රියාත්මකවෙයිද ?

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  කළ චෝදනාව පදනම් විරහිත බව අද (03)  සනාථ විය.

ඒ අදාළ චෝදනාව  සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා සිදුකළ දැනුම්දීම අනුවය.

මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මෙසේ පවසා තිබිණ.


“මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල අපිට යොමු කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙක්ම්තුමාට වාර්තාවක් යවනවා” 

“අපේ ඒකකයේ නිලධාරීන්ගේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලු දෙනාම සහභාගි වුණා. එහිදී අපි තීරණය කළා විමර්ශනය අවසන් කරන්න”

“සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආදෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවට මේ වන විට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්”


“අපේ ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් අපිට තේරුම් ගියා මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපියොමු කළා කිව්වත් අයි.සී.සී. ප්‍රතිචාර දක්වලත් නෑ. අයි.සී.සී. පරීක්‍ෂණයක් කරලත් නෑ”


“අපි කටඋත්තර ගත්ත තිදෙනාම සාධාරණ හේතු කියලා තියෙනවා. විශේෂයෙන්ම කණ්ඩායම් මාරු කළේ ඇයි කියලා. අනික මේක 2011 වසරේ සිද්ධියක්” යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසීය. 

මේ අතර දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මහින්දානන්ද ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේද ? යන්න මතුකර ඇත.

 ඊට අදාළ නෛතික පසුබිමත් ඔහු එම සටහනේ දක්වා ඇති අතර එය පහත දැක්වෙයි.

mahinadannada A 1000px
 
මහින්දානන්දට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේද? 
 
තරඟ පාවාදීම් පිළිබඳ ක්‍රීඩකයින්ට විරුද්ධව සාක්ෂි හමුවුනේ නැත්තම්, බොරු චෝදනා එල්ල කළ පුද්ගලයින්ට 2019 අංක 24 දරණ ක්‍රීිඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ අංක 13 වගන්තිය, අංක 14 (ඊ) යටතේ නඩු පැවරිය යුතුයි. බොරු චෝදනාවට වරදකරු වන්නේ රු. ලක්ෂ දෙකක දඩයක්, වසර දෙකකට තුනක් නො ඉක්මවන සිරගත කිරීමක් දඩුවම් ලෙස ලැබිය හැකියි.
---------------
 
මේ තියෙන්නේ 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ 13 වන වගන්තිය.
 
"මේ පනතේ 16 වන වගන්තිය යටතේ හෙළිදරව් කරනු ලබන යම් තොරතුරක ඇතුලත් යම් චොදනාවක අන්තර්ගතය සාවද්‍ය බව දැන දැනම හෝ, ඒ චෝදනාව සත්‍ය නොවන බව විශ්වාස කිරීමට හේතු තිබිය දී ඒ තොරතුර මගින් යම් සාවද්‍ය චෝදනාවක් කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදක් සිදු කරන අතරල මහෙස්ත්‍රාත්වරයකු විසින් වරදකරු කරනු ලැබීමේ දී රුපියල් ලක්ෂ එකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නො ඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බනධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතුය."
 
16 වන වගන්තියේ දක්වා ඇත්තේ තරඟ පාවාදීම් අනීතික ඔට්ටු ඇල්ලීම් ආදිය පිළිඹඳව කරනු ලැබෙන පැමිණිලි ගැන. ඉතිං මහින්දානන්ද හිටපු ඇමතිතුමා කලේ එවැනි පැමිණිල්ලක්. දැන් විමර්ශණ කණ්ඩායම කියනවා ඒ පැමිණිල්ල ඔප්පුකරන්න සාධක නෑ කියලා. එහෙමනම් ඔය විමර්ෂණ කණ්ඩායම දැන් පනතේ 13 වන වගන්තිය යටතේ හිටපු ඇමතිතුමාට එරෙහිව නඩු පැවරිය යුතුයි. එහෙම නැතිනම් මේ විමර්ෂණය දේශපාලන උවමනාවකට කරපු දඩයමක් බවට හොඳටම පැහැදිලි වෙනවා. මීට අවුරුද්දකට කලින් එතුමාත් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් වෙලා හිටපු කාලේ හදපු නීතියක් නිසා එතුමා මේක ගැන නොදන්නවා කියන්නත් බෑනේ!

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න