කන්දකාඩු අලුත් පොකුරේ ආසාදිතයින් 500 පනියි !

කන්දකාඩු අලුත් පොකුරේ ආසාදිතයින් 500 පනියි !

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන ඇතිවූ 'කොරෝනා අලුත් පොකුර' තුළින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව අඟහරුවාදා (ජූලි 14) වන විට 519 දක්වා ඉහළ ගොස් තිබේ.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් 440 දෙනෙකු ඊට අයත් වන අතර සෙසු පිරිස එහි කාර්ය මණ්ඩලය සහ ඔවුන් ඇසුරු කළ අය වෙති.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරෙන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පිටත ඒ ආශ්‍රිත වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබෙන්නේ අනුරාධපුරය, රාජාංගනය ප්‍රදේශයෙනි.

කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය සඳහා රාජාංගනය ප්‍රදේශයේ තවත් ගම්මාන දෙකක සංචරණය සීමා කිරීමට සිදුවන බව උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය පාලිත බණ්ඩාර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

රාජාංගනයේ නිදැල්ලේ සිටින ආසාදිතයන් සොයා පරීක්ෂණ.

රාජාංගනයේ නිදැල්ලේ සිටින ආසාදිතයන් සොයා පරීක්ෂණ.

රාජාංගනය යාය 06 සහ 05 කණුව යන ප්‍රදේශ වලින් නව රෝගීන් වාර්තාවීමත් සමග මෙම තීරණය ගෙන තිබේ. මීට පෙර රාජාංගනය යාය 1, යාය 3 සහ යාය 05 ගම්මානවල සංචරණය සීමා කිරීමට සෞඛ්‍ය බලධාරීහු ක්‍රියා කළහ.

''අපි අධි අවදානම් කියලා හඳුනාගත්ත ප්‍රදේශවල තමයි මේ විදියට සංචරණය සීමා කරලා තියෙන්නේ. ජූලි 13 වැනිදා අපි පවුල් 67ක PCR පරීක්ෂණ 200ක් කළා. අද ජූලි 14 දවස තුළ තවත් PCR පරීක්ෂණ 200ක් කරනවා. මේ වනවිට රෝගීන් 17 ක් අපිට හමුවෙලා තිබෙනවා. '' යනුවෙන් වෛද්‍ය පාලිත බණ්ඩාර පැවසීය.

ඔහු සඳහන් කළ ආකාරයට රාජාංගනය, තලාව, නොච්චියාගම, ගල්නෑව, පලුගස්වැව සහ කැකිරාවේ කිතුලහිටියාව යන ප්‍රදේශ වලින් කොරෝනා බවට තහවුරු වූ රෝගීන් මේ වන විට වාර්තාවී තිබේ. එම රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇත.

''ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් අපි තවම හඳුනා ගනිමින් සිටිනවා. අපි මේ තත්ත්වය හඳුනාගෙන වැඩ පටන් ගන්නකොට සතියක් විතර ආසාදිතයන් නිදැල්ලේ සැරිසරලා තිබෙනවා. ඒ නිසා සියලු දෙනා හඳුනාගන්න තවත් සතියක් විතර යයි. ජනතාව නිවැරදි තොරතුරු දෙනවා නම් අපිට මේක පාලනය කරන්න වඩාත් පහසු වෙනවා.'' යනුවෙන් උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය පාලිත බණ්ඩාර වැඩිදුරත් ප්‍රකාශ කළේය.

ආසාදිතයින් සැරිසැරූ ප්‍රදේශ හඳුනා ගැනේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ , කොරෝනාවෛරස ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් පිටබැද්දර, තංගල්ල, හෝමාගම, කොළඹ, රත්නපුර සහ කලවාන ප්‍රදේශ වලට පැමිණ ඇති බවට අනාවරණය වීම නිසා ඔවුන් ගමන් කළ ස්ථාන හඳුනාගෙන අවශ්‍ය නිරෝධායන පියවර ගෙන ඇතැයි මාධ්‍ය වාර්තාකර තිබේ.

මේ අතර සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් වලින් තොරව කලවාන නගරයේ වෙළෙඳසල් වසා දැමීමේ සිද්ධියක් ද අඟහරුවාදා (ජූලි 14) වාර්තා විය.

කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙකු බීබීසි සිංහල සේවයට පැවසුවේ කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට කලවානට පැමිණි හමුදා සාමාජිකයෙකුට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වීම නිසා, එම රෝගියා පිවිසි වෙළෙඳසල් හඳුනාගෙන ඔවුන්ට සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් ලබා දුන් බවය.

නමුත් ඊට බියවූ අනෙකුත් වෙළෙඳසල් හිමියන් ද ඔවුන්ගේ වෙළෙඳසල් වසා දමා ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර PCR පරීක්ෂණයක් සඳහා මීගමුව බන්ධනාගාරයේ සිට මිගමුව මහ රෝහලට රැගෙනගිය රැදවියෙකු පළා යාමට උත්සාහ කිරීමේදී අට වන මහලෙන් වැටී ජිවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් සඳුදා (ජූලි 13) වාර්තා විය.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වෙයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය සඳහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (ජූලි 14) රැස් විය.

PCR පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සමාජය තුළ වසංගතය පැතිරයාම අවම මට්ටමේ තබා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොවිඩ්19 මර්දන කාර්ය සාධන බලකාය

 වසංගතය පිළිබඳ අලුත්ම තොරතුරු සහ රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී ඇත.

කොවිඩ් වසංගත මර්දනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබේ.

'කොරෝනා රෝගීන් 2646ක්'

සෞඛ්‍ය අමාත්‍යංශයේ, වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තා වලට අනුව ජූලි 14 වැනිදා පෙරවරු 10.00 වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා වයිරස රෝගීන් බවට තහවුරු වූ සංඛ්‍යාව 2646කි.

ඉන් 647 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 1988කි.

තවත් පුද්ගලයන් 120 දෙනෙක් සැක සහිත රෝගීන් ලෙස ප්‍රතිකාර ලබති.

මරණ 11ක් වාර්තා වී ඇත.

(බීබීසී )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න