පළිගැනීම් කොමිසමට : අනුර සහ ශානි දැක්වූ විරෝධය අධිකරණයේ විභාගයට !

පළිගැනීම් කොමිසමට : අනුර සහ ශානි දැක්වූ විරෝධය අධිකරණයේ විභාගයට !

දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වන හමුවට කැඳවනු ලැබීම වලක්වන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර  විසින් කරන ලද ඉල්ලීම විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පෙත්සම ඊයේ (ජුලි 20) ත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකරගේ පෙත්සම මෙම ජූලි 27 දාත් විභාගයට ගැනීමට නියමිතය.

ඔවුන් දෙදෙනා විසින් මෙම පෙත්සම් ගොනු කොට ඇත්තේ නීති විරෝධී පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාම පිළිබඳ චෝදනා ලබා සිටින ඇවන්ට්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති විසින් කළ පැමිණිල්ලක් විභාග කිරීම සදහා දේශපාලන පලිගැනීම් කොමිසම ඉදිරියට කැඳවනු ලැබීම සම්බන්ධයෙනි.

පෙත්සම් කරුවන්ට එරෙහි පැමිණිල්ලක් හෝ චෝදනා නැහැ :

පෙත්සම්කරුවන් ප්‍රකාශ කර සිටින්නේ තමන් කැඳවනු ලැබූ නොතීසියේ ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ සභාපති වරයා විසින් කරන ලද්දේ “දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක්” ලෙස සදහන් වුවද‍, පෙත්සම් කරුවන්ට එරෙහි පැමිණිල්ල හෝ චෝදනා සම්බන්ධයෙන් අනාවරණයක් එහි නොමැති බවයි.

පෙත්සම්කරුවන් පෙන්වා දෙනුයේ ජනාධිපති කොමිසමට බලය ලබා දී ඇත්තේ, “2015 ජනවාරි ජනාධිපතිවරණය සහ/හෝ 2015 අගෝස්තු මහ මැතිවරණයට පෙර සේවය කළ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථා වල සේවකයන් සහ සන්නද්ධ හමුදා හා පොලිස් සේවයේ සාමාජිකයන් අතරින්, 2015 ජනවාරි 08 සහ 2016 නොවැම්බර් 16 කාලය අතරතුර, රජයේ වෙනස්වීමත් සමග සේවයෙන් ඉල්ලා අස්වූ හෝ සේවය අවසන් කරනු ලැබූ හෝ එම වෙනසෙන් අනතුරුවත් දිගටම තනතුරු දැරූ නිලධාරීන්” දේශපාලන පලිගැනීම් වලට ලක්වීම් සම්බන්ධයෙන් බවයි.

කොමිසමට බලයක් නොමැති බව:

ඒ අනුව ඔවුන් පෙන්වා දෙනුයේ නිශ්ශංක සේනාධිපති ඉහත කී අයගේ ගණයට නොවැටෙන අතර පුද්ගලයෙකුගේ හෝ පෞද්ගලික ආයතනයක පැමිණිල්ලක් විමර්ශණය කිරීමට වගඋත්තරකාර කොමිසමට බලයක් නොමැති බවයි.

පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සේනාධිපතිට විරුද්ධව දැනටමත් ආයුධ ජාවාරම් චෝදනාවක් මහාධිකරණයේදී විභාගයට ගනිමින් පවතිද්දී මෙසේ ජනාධිපති කොමිසම විසින් සමාන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීම අධිකරණය හෑල්ලුවට ලක් කිරීමක් බවයි.

මෙම දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වන කොමිසම පසුගිය ජනවාරි 09 වැනිදා ජනාධිපතිවරයා විසින් පත් කරණ ලද්දේ, 2015 ජනවාරි යෙන් ඇරඹී 2019 නොවැම්බර් 16 න් අවසන්වන  කාලපරිච්ජේදයේ දී රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථා සේවකයන්, සන්නද්ධ හමුදා හා පොලිස් සේවයේ සාමාජිකයන් ලෙස තනතුරු දරමින් සිටියදී අයුතු ලෙස දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන ඒවා පරීක්ෂණයට ලක් කිරීම සදහා බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ, ඒ අනුව පුද්ගලික ව්‍යාපාරිකයකු වන සේනාධිපති විසින් දේශපාලන පලිගැනීම් කොමිසමට කරන ලද පැමිණිල්ල සම්බන්ධව කැදවා ඇති විමර්ශනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ෂානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්:

මීට අමතරව, දැනට සේවය අත්හිටුවා ඇති, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ෂානි අබේසේකර විසින් පසුගිය බදාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේ තමා දරමින් සිටි තනතුරේ නැවත පිහිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ඔහු, ආරක්ෂක ලේකම්, වැඩබලන පොලිස්පති, ජාතික පොලිස් කොමිසමේ සභාපති හා සාමාජිකයන්, ජාතික මැතිවරණ කොමිසමේ සභාපති හා සාමාජිකයන් සහ නීතිපති නම් කර තිබේ.

ඔහු චෝදනා කරනුයේ පසුගිය වසරේ නොවැම්බර් පැවති ජනාධිපතිවරණයෙන් පසුව වලංගු හේතුවක් නොමැතිව අපරාධ විමර්ශන දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයෙන් තමා ඉවත් කර දකුණු පළාතේ නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර වශයෙන් පත් කරනු ලැබූ බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ තමන් අතර වූ දුරකථන සංවාදයක් කරලියට ඒමත් සමග මෙම වසරේ ජනවාරි 7 සිට තම සේවය අත්හිටවූ බව කියා සිටින ඔහු ජාතික පොලිස් කොමිසම විසින් තමන්ට ලබා දුන් ස්ථාන මාරුව හා සේවය අත්හිටුවීම සම්පූර්ණයෙන් නීති විරෝධී බව පෙන්වා දෙයි.

තම සේවය අත්හිටුවීමෙන් මාස 07 කට පසුව වුවද තමන්ට විරුද්ධව කිසිදු විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා නොමැති බව ද ඔහු තවදුරටත් පෙන්වා දේ.

ඔහු ප්‍රකාශ කර සිටින්නේ අසද්භාවයෙන් යුතුව, සිය බලය ඉක්මවා ගත්, නීති විරෝධී හා නීතියට පටහැනිව ස්වභාව යුක්තියේ මූලධර්මයන්ට පටහැනිව පොලිස් කොමිසම විසින් ගත් තීරණය මගින් තමන් වෙනස්කොට සැලකීමකට ලක් කර ඇති බවයි.

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ සහ පොලිසියේ සාමාජිකයන් කිහිප දෙනකුම චෝදනා ලබන පළමු රාජපක්ෂ පාලන සමයේ සිදුකෙරුණු පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, වධහිංසා සහ ඝාතන මෙන්ම ඇවන්ට් ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවූ ප්‍රධාන නිලධාරියකු වන ෂානි අබේසේකර ඇතුළු රහස් පොලිසියේ නිලධාරීන් ගණනාවක්ම මාරු කර යැවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විගස පියවර ගන්නා ලදී. ඔවුන් විසින් කරන ලද විමර්ශන වෙනත් නිලධාරීන්ට පවරන ලදී.

එම විමර්ශන බොහොමයක ප්‍රධාන පරීක්ෂකයා වූ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ආණ්ඩු මාරුවත් සමග දරු පවුල සමග රටින් පලා ගියේය. ඒ සමගම රජය විසින් රහස් පොලිසියේ හත්සියයකට අධික නිලධාරීන් විදේශ ගතවීම තහනම් කොට තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න