අද අප ගේ සෑම ස්ත්‍රීවාදී සාකච්ඡාවකට ම වගේ න්‍යායාත්මක පදනම දැමූ මූලස්ථානය ලෙස සාමාන්‍යන් සලකන ඒ මහා කෘතිය තමයි සිමෝන් ද බෝවාගේ ( Simone de Beauvoir) The Second Sex නම් ග්‍රන්ථය.
සමහරු 'කාන්තාව ගේ බයිබලය' ලෙසට ද හඳුන්වන මෙය 1949 දී ප්‍රංශ භාෂාවෙන් මුල්වරට ප්‍රකාශයට පත් වුන අතර එය නූතන ස්ත්‍රීවාදී චින්තනවට න්‍යායික පදනම දැමූ මහා කෘතියක් ලෙසට සලකනවා.
එහි එන අද ස්ත්‍රී කතිකාවල ප්‍රකට ශ්ලෝකයක් බවට පත් වී ඇති 'කෙනෙක් කාන්තාවක් ලෙසට උපදින්නේ නැත, පසුව කාන්තාවක් බවට පත්වෙයි'.(One is not born, but rather becomes a woman) යන ප්‍රකාශය මෙම ග්‍රන්ථයේ සමස්ත අදහස කැටිකර අපට පෙන්වනවා.

බෝවා ගේ ප්‍රශ්නය
මෙහි දී බෝවා අදහස් කරන්නේ ලිංගිකතාව යනු සරල ජීව විද්‍යාත්මක සත්‍යයක් පමණක් නොවන බවයි. එය සමාජය, අධ්‍යාපනය, සම්ප්‍රදා සහ සමාජ අපේක්ෂා ආදිය මගින් කාන්තාවන්ව හැඩගස්වන බවයි. එනම් එයින් පෙන්වා දෙන්නේ “කාන්තාවක් වීම” යනු ජීව විද්‍යාත්මක අහඹුවක් නොව සැලසුම් සහගත සමාජීය ගොඩනැංවීමක් බවයි. එම සමාජ ගොඩනැංවීම විසින් සමාජය, පුරුෂයාට සාපේක්ෂව කාන්තාව “අනෙකා” (Other) ලෙස ස්ථානගත කරනවා. එය සිදුවන්නේ ලිංග භූමිකා, සම්ප්‍රදාය, අධ්‍යාපනය සහ බල සම්බන්ධතා ආදිය හරහායි. වෙනත් විදිහකට කියන්නේ නම් ගැහැනියක් ලෙසට ඔබ සිතිය යුතු හැසිරිය යුතු ආකාරය ඔබගේ වගකීම් භූමිකා ආදී සියල්ල ඔබ ජීවත් වෙන සමාජය විසින් නිර්මාණය කර ඔබට පවරන දෙයක් විනා 'ගැහැණිය' ලෙස නම්කර ඇති ශාරීරික ලිංගික වෙනස නිසා ඔබ උපතින් ලබපු දෙයක් නෙවෙයි. ඔබ ගේ ලිංගික භූමිකාව (Gender) යනු සමාජ නිර්මාණයක් කියන්නේ මේ නිසයි. එබැවින් එය වෙනස් කළ හැකි යි. බෝවා අසන්නේ එය වෙනස් නොකරන්නේ ඇයි කියා යි.

The Second Sexහි සමාජ බලපෑම
වෙනස් කළ නොහැකි දෙයක් ලෙස: උපතට, ඉරණමට, උරුමයට, කරුමයට, දෙවියන්ට, හෝ සම්ප්‍රදායට පවරා තිබූ මෙම අදහස සිමෝන් ද බෝවා ගේ මෙම අද්විතීය ග්‍රන්ථය විසින් උඩියටිකුරු කිරීම විප්ලවීය වුණා. එනයින් ලිංගය සමාජීය නිර්මාණයක් ලෙස දකින පසුකාලීන න්‍යායික අධ්‍යයන සහ ස්ත්‍රියව පුළුල්ව කියවීම සඳහා මෙය පදනම සකස් කළා. එම ස්ත්‍රීවාදී න්‍යායන් හරහා එය සමාජ විද්‍යා සහ ලිංගික අධ්‍යයන ක්ෂේත්‍රවලට සහ ස්ත්‍රී පුරුදු සමාජ භාවය පිළිබඳ අධ්‍යයනයන් (Gender Studies) ආදියට විශාල බලපෑමක් කලා. මෙම කෘතිය 1960–1970 දශකවල හැඩගැසුණු ස්ත්‍රීවාදයේ දෙවන රැල්ලට (Second-wave feminism) පදනම් දැමූ කේන්ද්‍රීය කෘතියක් බවට පත්වුණා. පෙර ස්ත්‍රීවාදී ව්‍යාපාර මූලිකවම ඡන්ද අයිතිය යනාදි නීතිමය අයිතිවාසිකම් පිළිබඳ අවධානය යොමු කළ අතර මෙම දෙවන රැල්ල ඊට වඩා සමාජ අසමානතා, සංස්කෘතික අපේක්ෂා, මානසික හා දාර්ශනික මූල යනාදි ගැඹුරු ගැටලු විමර්ශනයට ලක් කළා. බෝවාගේ කෘතියෙන් ගැඹුරින් විමසන්නේ එවැනි කාරණායි. බෝවා මුලින්ම මතු කළ සමහර අදහස් මේ වන විට සාමාන්‍යකරණයට ලක්වෙලා සමහර ඒවා යම් විවාදයන්ට ද ලක්වෙලා තිබුණ ද බොහෝ අධ්‍යනයන්ට මූලාශ්‍ර සපයන ග්‍රන්ථයක් ලෙසට මෙහි වටිනාකම දිනපතා වැඩිවෙමින් පවතිනවා.

අසාර්ථක වූ පළමු ඉංග්‍රීසි පරිවර්තනය
මෙම පෙරළිකාර ග්‍රන්ථය 1953 දී මුල්වරට ප්‍රංශ බසින් ඉංග්‍රීසියට පරිවර්තනය වුණා. ඉතාමත් අවාසනාවන්ත ලෙස එම මුල් ඉංග්‍රීසි පරිවර්තනය අසම්පූර්ණ, අතිශය දෝෂ සහිත හා වැරදි නිරූපණයකින් යුක්තයි. එහි මුල් ප්‍රංශ රචනයෙන් 10–15%ක් ඉවත් කර තිබූ අතර, එයට අතිශය වැදගත් දාර්ශනික කොටස්, ඓතිහාසික මූලාශ්‍ර සහ අත්‍යවශ්‍යය උදාහරණ ඇතුළත් වුණා. බෝවාගේ සාංදෘෂ්ටික (Existentialist) පද බොහෝ විට වැරදි ලෙස හෝ අති සරලකරණයට ලක් කර පරිවර්තනය කර තිබුණා. අවාසනාවට පරිවර්තකයා වූ H. M. Parshley දාර්ශනිකයෙකු නොව සත්ව විද්‍යාඥයෙකු (Zoologist) වූ අතර කෙසේ හෝ , බෝවාගේ දාර්ශනික සංකල්ප සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට ඔහුට නොහැකි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉංග්‍රීසි පාඨකයන්ට වසර පණහකට වැඩි කාලයක් තිස්සේ බෝවා ගේ අදහස් දුවබෝධයට ලක්කල අර්ථකථනයක් තමයි ලැබුණේ.
සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය
The Second Sex මුල් ඉංග්‍රීසි පරිවර්තනයේ අර්බුදවලට විසඳුමක් ලෙස එහි නව සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනයක් 2009 දී කෙරුණා. එම පරිවර්තනය කළේ කොන්ස්ටෙන්ස් බෝඩ් සහ ශීලා මැලොවානි ශෙවැලියේ (Constance Borde and Sheila Malovany‑Chevallier ) යන ස්ත්‍රීවාදය පිළිබඳ පූර්ණකාලීන අධ්‍යයනය කරන්නියන් දෙදෙනායි. මෙම නව පරිවර්තනය ඉතා වැදගත් වන්නේ 1953 අනුවාදයේ තිබූ ප්‍රධාන ගැටලු නැවැරදි කර බෝවාගේ දාර්ශනික සහ දේශපාලනික පැහැදිලිභාවය නැවත ස්ථාපිත කිරීම නිසායි.

ෂෝන් පෝල් සාත්‍ර ගේ සහාය
බෝවාගේ චින්තනයට සාංදෘෂ්ටිකවාදය(Existentialism) ගැඹුරින් බලපාලා තියෙනවා.( සාංදෘෂ්ටිකවාදය අස්තිත්වවාදය සහ භවසත්තාවාදය ලෙසද හඳුන්වනවා) විශේෂයෙන් ඇය හා එකට වැඩ කළ අයගේ මිතුරා වූ ෂෝන් පෝල් සාත්‍ර
(Jean-Paul Sartre) සමග එක්ව ඇය සාංදෘෂ්ටිකවාදි අදහස් වර්ධනය කළ බැවින් ඒ අදහස් ඇගේ ග්‍රන්ථය තුළ තීරණාත්මක වුණා. එහෙත් අවාසනාවට මුල් පරිවර්තනය තුළ බොහෝ විට වැරදියට අර්ථකථනය කර තිබු සාංදෘෂ්ටිකවාදයට ඇතුළත් මූලික දාර්ශනික සංකල්ප නව පරිවර්තනයේදී නිරවුල් කර නිවැරදි කර තිබෙනවා.
Jean Paul Sartre
මෙම රචනාව විශාල ග්‍රන්ථයක් වන අතර සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය පමණක් පිටු 832 කින් යුක්තයි. එබැවින් බොහෝ විට මුල් ග්‍රන්ථය පවා සාමාන්‍ය ව්‍යවහාරයට ආවේ සම්පූර්ණ පොතක් ලෙසකට වඩා එහි කොටස් පරිවර්තනය කිරීමෙන්. කෙසේ හෝ මුල් ඉංග්‍රීසි පරිවර්තනය දෝෂ සහිත බව ප්‍රචාරය වෙත්ම නව ඉංග්‍රීසි පරිවර්තනයට පෙර විවිධ අවශ්‍යතා සඳහා එහි සමහර කොටස් විවිධ අය විසින් ප්‍රංශ බසින් ඉංග්‍රීසියට පරිවර්තනය වූ අවස්ථා තිබුණ අතර ඉංග්‍රීසි පරිවර්තනයේ දෝෂ ගැන කතිකාවක් ඇතිවීමට එය ප්‍රධාන හේතුවක් වුණා.
සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ වැදගත් භාවය
නව ඉංග්‍රීසි පරිවර්තනය තුළින් බෝවා හුදු ස්ත්‍රීවාදී ලේඛිකාවක් පමණක් නොව ප්‍රමුඛ දාර්ශනිකයෙක් ලෙස නැවත ස්ථාපිත කරනවා. පෙර ඉංග්‍රීසි පරිවර්තනය ඇය වඩාත් වාර්තාමය (Journalistic) ලෙස පෙනී ගියත්, නව පරිවර්තනය ඇගේ චින්තනයේ දැඩි දාර්ශනික ස්වභාවය හොඳින් පැහැදිලි කරනවා. මෙම නව පරිවර්තනයෙන් බෝවා සාත්‍රගේ අනුගාමිකාවක් පමණක් නොව, ස්වාධීන හා මූලික චින්තකවරියක් බව ද අපට පෙන්වනවා. එය පුරුෂාධිපත්‍යය, විවාහය, මාතෘත්වය, ආගම සහ ලිංගික පීඩනය පිළිබඳ බෝවා ගේ තියුණු විවේචන වඩා නිරවුල්ව ඉදිරිපත් කරනවා.

මගේ යෝජනාව නම් මෙම ග්‍රන්ථය ප්‍රංශ බසින් හෝ නව ඉංග්‍රීසි පරිවර්තනයෙන් හෝ සිංහලයට පරිවර්තනය කිරීම කාලීනව අතිශය වැදගත් බවයි. කිසියම් ප්‍රකාශකයෙකු විසින් නොකෙරෙන්නේ නම් රජය විසින් හෝ එය කිරීම ජාතික වශයෙන් අතිශය වැදගත් කටයුත්තක්. විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳව කතිකාවක් යන අවස්ථාවක. එමෙන්ම ස්ත්‍රිය පිළිබඳව අතිශය අගතිගාමී සාම්ප්‍රදායික විශ්වාස තාමත් පවතින සන්ධර්භයක ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ කාන්තාව පිළිබඳව අධ්‍යයන දිරිගැන්වීමට මෙය සිංහලයට පරිවර්තනය කිරීමත් එහි නව ඉංග්‍රීසි පරිවර්තනය ශ්‍රී ලංකාවේ පුස්තකාල සහ අධ්‍යන ආයතන වල පරිශීලනයට ලබාදීමත් අතිශයින් වැදගත්.

ධනංජය කරුණාරත්න

