තේනුවරගේ - පත් බෝ බිය - කොළඹ සිට ලොවටම !

තේනුවරගේ - පත් බෝ බිය - කොළඹ සිට ලොවටම !

තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් හත් අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහි ගන්වමින් ONLINE නිර්මාණ ප්‍රදර්ශනයක් සංවිධානය කොට තිබේ.

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු  ලේකම්වරයකුද වන ජගත් කීර්තිධර චිත්‍ර ශිල්පී  මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් රටේ පවතින වාතාවරණය නිමිති කොටගෙන කොළඹ  සස්කියා කලාගාරයේදී පවත්වන "පත්|බෝ|බිය" ප්‍රදර්ශනය ලොව ඕනෑම තැනක සිට අද පටන් අන්තර්ජාලය ඔස්සේ නොමිළේ  දැකගත හැකිය.

"ATMOSPHERE | AT|MOST|FEAR" යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් නම් කර ඇති එම ප්‍රදර්ශනය ජුලි මස 23 සිට අගෝස්තු මස 16 දා දක්වා ONLINE හරහා නැරඹීමේ පහසුකම සපයා තිබේ. කොරෝනා වසංගතය නිසා ජනතාව එක්රැස් වන ප්‍රදර්ශනයක් පැවැත්වීම වෙනුවට අන්තර්ජාලය ඔස්සේ ප්‍රේක්ෂකයන් හවුල් කර ගැනීම සංවිධායකයන්ගේ අපේක්ෂාවයි.  

පහත යොමුව හා සම්බන්ධවීමෙන් ඔබටත් එම ප්‍රදර්ශනය හා එක්විය හැකිය.

"පත්|බෝ|බිය"
"ATMOSPHERE | AT|MOST|FEAR"  

1983 July

2014 වසරේදී සමාජයේ දැක ගත හැකි වු හමුදාකරණ වාතාවරණය නැවත වතාවක් රට තුල හිස ඔසවමින්  තිබෙන බව පවසන මහාචාර්ය වරයා අවධාරණය කරන්නේ එය විදහා දැක්වෙන කලා නිර්මාණ ද කළු ජූලිය අනුස්මරණය කෙරෙන මෙම ප්‍රදර්ශනයේදී දැක ගත හැකි බවයි.

1983 වර්ෂයේ  ජුලි 23 දින ආරම්භ  වූ  ශ්‍රී ලංකාවේ කළු ජුලිය නමින් කුප්‍රකට  වර්ගවාදි සංහාරයෙන් දෙමළ වැසියන් දහස් ගණනක් ඝාතනය කෙරුණු අතර කෝටි ගණනක නිවාස ඇතුලු දේපල ගිනිබත්  විය.

එල්ටීටීඊ සංවිධානය විසින් ශ්‍රී ලංකා හමුදාවේ සෙබළු දහ තුන් දෙනෙකු ඝාතනය කිරීමෙන් ඇවිලුණු  දෙමළ විරෝධී විනාශය යුද්ධයට පාදක වු බව ප්‍රචලිත මතයයි. කෙසේවෙතත්, කොටි සංවිධානයේ ප්‍රහාරයට පෙර කලක සිටම රජයේ ආරක්ෂක අංශ විසින් උතුරේ දියත් කළ මර්දනීය ප්‍රහාරය දෙමළ තරුණයන් ආයුධ සන්නද්ධ වීමට මග පෑදු බව ඒ යුගයේ තොරතුරු විමසිල්ලෙන් පරිශීලනය කරන විට පෙනී යයි.

මෙවැනි බියජනක සිදුවීම් වැළක්වීමට පියවර ගත යුතු බවට ජනතාව තුළ අවබෝධයක් ඇති කිරීම පිණිස සෑම වසරකම ජුලි 23 වන දින  මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් මෙවැනි කලා ප්‍රදර්ශනයක් පවත්වනු ලබයි.

එහෙත් එය ONLINE ප්‍රදර්ශනයක් ලෙස සිදු කරන පළමු අවස්ථාව මෙය බවයි මහාචාර්යවරයා පවසන්නේ.

83 දෙමළ සංහාරය සම්බන්ධයෙන් වගකිවයුතු කිසිවකුත් කිසිදු රජයක් විසින් නීතිය හමුවට පමුණුවා නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න