Language Switcher

V2025

මහින්ද ලෑස්තිනම් අපිත් ලෑස්තියි..! ඇතුගල්පුර තීරණය මහින්ද ද? බුවනෙකබා ද?

කුරුණෑගල  ඓතිහාසික බුනෙකබා රාජසභා මණ්ඩපය බිඳ දැමීම නොදැනුවත්කමින් කළ දෙයක් ලෙස මුලින් පෙනී ගියද එය හිතාමතාම සිදුකළ අපරාධයක් බව මේ වනවිට ඒත්තු ගැන්වී තිබේ. එහි තිබෙන බරපතල හානිය සලකා එම වරදට එරෙහිව පාට පක්ෂ භේදයෙන් තොරව නැගී සිටිය යුතුව ඇත. එය එසේ වූවද මේ සම්බන්ධව වගකිව යුතු අය විනාශයෙන් පසුව හැසුරුණ ආකාරය දෙස බැලීමේ දී මෙය බරපතල ගැටලුවක් බවද අනාගත ජාතික ව්‍යසනයක පෙරමග ලකුණක් බවද පැහැදිලි වෙමින් තිබේ. එබැවින් ඒ බව පැහැදිලි කර දීමට මෙම ලිපිය ඉදිරිපත් කර සිටිමි.
 
නගරාධිපති !
 
නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ ස්ථානයේ පැවතියේ අවන්හලක් බවත් එය බුවනෙක වූයේ එහි අයිතිකරුවාගේ පුතාගේ නමින් බවයි. අයිතිකරුවා ඉතිහාසය අගය කරන්නෙකු ලෙස තමන්ගේ පුතාට එම නම තැබුවා විය හැකිය. එය එසේවූවත්, මේම ස්ථානය බුවනෙකබා රජු සහ තවත් රජවරු තිදෙනෙකුගේ රාජසභාව වූ අතර පැරණි කුරුණෑගල රාජධානියේ සෙසු ගොඩනැගිලිවල නටබුන් මේ අවට භූමියේ පොළව යට තිබෙන බව පාරේ කැණීම් කරද්දී ද මතුවී තිබේ. (පසුකාලීන ඉදිකිරීම් නිසා බොහෝ නටබුන් විනාශ වී තිබේ.) කුරුණෑගල ජනතාව දන්නා පරිදි නගරාධිපතිවරයා බලවත් වූයේ සහ එම තනතුරට පත්වූයේ දේශපාලන පරිනතභාවය නිසා නොව දේශපාලකයින්ගේ අවශ්‍යතා ඉටුකළ නිසා බව පැහැදිලිය. එසේ හෙයින් ඔහුගේ ක්‍රියාකාරිත්වය ගැන පුදුම විය නොහැකිය.
 
දිස්ත්‍රික් නායක ජොන්ස්ටන්..!
 
නගරාධිපතිවරයාට මේ පුරාවස්තුව විනාශ කරන්නට උපදෙස් දුන්නේ ඔහු වෙනුවෙන් කතාකළ ප්‍රදේශයේ දේශපාලන බලවතෙක්ද යන්න තරමටම දැන් ප්‍රශ්නය උඩට ඇවිත් ඇත. එම දේශපාලකයා මාලදිවයින් සම්බවයක් සහිත පරපුරක ආගමිකයෙකි. (මෙහි ජාතිකත්වය සහ ආගම මතුකරන්නට මුලින් අදහස් නොකළත් ඔහු මේ දිනවල සිදුකළ ප්‍රකාශයන්ද සලකා එය කිවයුතුව ඇත.) පසුගියදා ඔහු මේ ස්ථානය හෙලා දකිමින් කථාකළ ආකාරය අනුවම පැහැදිලිවන්නේ ඔහුට දේශීය සංස්කෘතිය සහ ඉතිහාසය සම්බන්ධව තිබෙන වෛරයයි.  එම වෛරය ඔහු තුළ බුර බුරා  නැගෙමින් තිබු දෙයක් බව ඔහු ගේ වචන සහ ඉරියව් අනුව මැනවින් කාටත් දැකගත හැකිවිය.  ඔහුගේ ප්‍රකාශය අනුව  ඉදිරියේ දී ඔහු රාජසභා මණ්ඩපයේ ඉතුරු කොටස්ද විනාශ කරන්නට සූදානම්  බව සක්සුදක් සේ පැහැදිලිය. එසේ හෙයින් කොයියම් ම හෝ මොහොතක කුමන ආකාරයේ හෝ හතුරු ක්‍රියාකාරකමක්  සිදුවිය හැකිය. එසේ නැතිනම් පුරාවිද්‍යාස්ථානයට කඩාවදින මැරකණ්ඩායමක් විසින් එම විනාශය කළ හැකිය. ජොන්ස්ටන් තමන්ගේ වියරු කථාව කරන අතර ඔහුගේ සහචරයන් නැගූ අවලාද හිනාව තුළ තිබූනේ එවන් වියරුවකි. රා පෙව් නාලාගිරියන් කීප දෙනෙකුට මේ ස්ථානය විනාශ කිරීම වැඩි අපහසුවක් නැත. එසේ හෙයින් ස්ථානයේ ආරක්ෂාව පිලිබඳව හිතෛශීන්ගේ ක්‍රියාදාමයක් අවශ්‍යව තිබේ.
 
අගමැති සහ සංස්කෘතික ඇමති..!
 
මේ තනතුරු දෙකම දරන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. රාජසභාව විනාශ කර ඇති බව මාධ්‍යවලින් ප්‍රචාරය වූ පසු මහජන විරෝධය උත්සන්න වෙද්දී ඔහු නීතිය ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන් ම අඩාල කළේ කොමිසමක් පත් කරමින්ය. ඒ අනුව පොලිසියට ද නිදහසට කරුණක් ලැබුණි. ඒ කොමිසමේ තීරණය එන තෙක් සිටීමේ ව්‍යාජයයි. ඒ අනුව වරදකරුවන්ට අවශ්‍ය රැකවරණය අගමැතිවරයා ලබා දී තිබේ. ඊළඟට ඔහු කටයුතු කළේ කොමිසම් වාර්ථාව තමන්ට හිතකර ආකාරයට සකසා ගැනීමයි. එහෙත් කොමිසමට අමු අමුවේ එවන් අපරාධයක් කළ නොහැකිය. එසේ වූවද බලය හමුවේ නිලධාරීන් අසරණය.  ඒ නිසාම කොමිසම් වාර්ථාව පිළිබඳව අවිනිශ්චිත තත්වයක් උදාවී තිබේ.  ඒ අතර අගමැතිවරයා පෞද්ගලිකවම භික්ෂූන් වහන්සේලාට කථාකොට මේ විරෝධතා සමනය කරන්නට මැදිහත් වන්නැයි ඉල්ලා තිබෙන බවද වාර්තා වේ. අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ඇතැම් භික්ෂූන් වහන්සේලා මේ මොහොතේ නිහඬය. ජනාධිපතිවරණයේ දී ගෝඨාභයට සහය දුන් ගලගොඩඅත්තේ ඥාණසාර සහ වනවාසී රාහුල යන හිමිවරු මේ සම්බන්ධව අගමැති සහ ජනාධිපති දැඩි විවේචනයකට ලක්කළහ.
 
අප බලාපොරොත්තු  වූයේ කොමිසම් වාර්ථාවත් සමග ව්‍යාජව හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා කටයුතු කරාවි කියාය. එහෙත්  පුදුමය නම් අගමැතිවරයාම සටනට බැසීම ය. ඔහු මොණරාගල දී ප්‍රකාශයක් කරමින් බුවනෙකබා රජු අපහාසයට ලක් කළ බව කිවයුතුය. ඔහු එම ස්ථානයේ රාජසභා ගොඩනැගිල්ල තිබුනේ නැතැයි කිව්වේ  නැත. ඔහු කිව්වේ රජතුමාගේ පැටිකිරියයි. ඔහු නොකියා කිව්වේ බුවනෙකබාට 'මුස්ලිම් බිසවක්' සිටි බවයි. ඒ කථාවෙන් මහින්ද අපේක්ෂා කරන්නේ රාජසභා ගොඩනැගිල්ල කඩා බිඳ දැමිය යුතු තැනක් බව තහවුරු කරන්නට ය. බුවනෙකබා රජුට ගොඩාක් ගෑණු සිටි බව  කියන ඔහු මෙය මගුල් මඩුවක් නොව මගුල් නටපු ගුබ්බෑයමක් යයි  නොකියා  කිව්වේය. මේ අපහාසය කරන්නේ පෙර රජවරුන්ටය.
 
බරපතලම ගැටලුව මතුවන්නේ දැන්ය. රටේ සංස්කෘතික ඇමතිවරයා ජාතික උරුමයකට එරහිව තිබේ. ඊටත් වැඩිය ඔහු අගමැති ය. සියල්ලට වඩා භයානක ඔහු ගේ මැතිවරණ දිස්ත්‍රික්කය කුරුණෑගල වීමයි. ඉදිරියේ දී වැඩිම මනාපයකින් ඔහු පාර්ලිමේන්තුවට පත්වනු ඇත. යලිත් අගමැති හැටියට දිව්රුම් දෙනු ඇත. එයින් පසු ඔහු අනිවාර්යයෙන් කියනු ඇත්තේ මේ ස්ථානය කඩා බිඳ දමන්නට අපට ජනවරමක් ලැබුණා කියා ය. එහි යම් සාධාරණත්වයක් නැතිව නොවේ. මහින්ද සේම දිස්ත්‍රික් නායකයා  වන ජොන්ස්ටන් ද මැතිවරණ වේදිකාවේ රාජසභා මණ්ඩපය ඉවත්කිරීම සාධාරණ බව ප්‍රකාශ කොට තිබේ.
 
ජනාධිපති ගෝඨාභය සහ පුරාවස්තු සංරක්ෂණ කමිටුව..
------------------------
නාමල් රාජපක්ෂ කියන විදිහට ගෝඨාභය අලුතින් ගෙනාවේ ලක්ෂ 8 ක චන්දයක් ය. එහි ඇත්තක් තිබිය හැකිය. ඒ ලක්ෂ අට ගෝඨාභය වටා එකතුවුයේ ඇයි? ඒ පැහැදිලිවම ඔහු ජාතික ආරක්ෂාව තහවුරු කොට උරුමය රකිනවා යන විශ්වාසය මත ය. ඒ අදහස තහවුරු කරමින් පුරාවස්තු සංරක්ෂණය සම්බන්ධව මෙහෙයුම් කමිටුවක් ද පත්කළේ ය. එය ඉතාම ශක්මත් කමිටුවකි. එහි ආරක්ෂක ලේකම් සිටියි. පුරාවිද්‍යා කොමසාරිස් සිටී. සංස්කෘතික ලේකම් සිටී. පුරාවිද්‍යාඥයින් සිටිති.  එවන් ශක්තිමත් ආයතනය ද පුස්සක් බව කුරුණෑගල සිද්ධියෙන් පැහැදිලි විය. එම කමිටුවේ කිසි බලධාරියෙක් ක්‍රියාත්මක වූයේ නැත. එහි සාමාජිකයෙකු වන එල්ලාවල මේධානන්ද හිමි මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එහි පුරාවස්තු විනාශයක් සිදුව ඇති බවයි. එහෙත් එම නිවේදනයට මාධ්‍යවල ඉඩක් නොලැබිනි.
 
ආරක්ෂක ලේකම් පුරාවස්තු සංරක්ෂක කමිටුවේ සිටියි. එහෙත් ඔවුන් දෙපල ගේ මේ අකර්මන්‍යත්වය කුමක් ද ? ඔවුන් දෙදෙනාට ඉහලින් සිටින එකම බලවතා අගමැතිවරයා ය. රාජසභා මංඩපය සම්බන්ධව අගමැතිවරයා, ජනාධිපති සහ ආරක්ෂක ලේකම්ට ද ඉහලින් සිටින බව දැන් පැහැදිලිය. දැන් ගැටලුව වන්නේ මහින්ද ට අවශ්‍ය දේ ජොන්ස්ටන් කරනවා ද? ජොන්ස්ටන් ට අවශ්‍ය දේ මහින්ද කරණවා ද? යන්නයි.  මේ රාජපක්ෂවරුන්ගේ සැබෑ ස්වරූපය එළියට එන අවස්ථාවක් දැයි විමසීම ඔබට බාරය. ජොන්ස්ටන්ගේ අනාගත නායකයා නාමල් බව ඔහු ප්‍රකාශ කර හමාර ය. නාමල්ට ඉදිරියේදී රජවීමට අවශ්‍ය වන්නේ වියත්තු නොව අවියත්, අවිගත් මැරයින් සහ කට වාචාලයින් තුළින්දැයි ප්‍රශ්ණ කළ යුතුය. අනුර ප්‍රියදර්ශණ යාපා වැන්නවුන් සිටිය දී ජොන්ස්ටන් දිස්ත්‍රික් නායකයා වන්නේ ඒ නිසා විය යුතුය. වියත් මගට කුරුණෑගල ලිස්ට් එක තහනම් වූයේ ද ඒ නිසා යැයි කාටත් දැන් සිතාගත හැකිය.
 
දැන් මෙතැන දේශපාලන ගැටුමක් නැත. දැන් ඉස්මතුව තිබෙන්නේ ඓතිහාසික ගැටලුවකි.  මැදමුලන මහින්ද රාජපක්ෂ ඇතුගල්පුරය ආක්‍රමණය කොට ඇත. විජාතික පරපුරක අරක්කු වෙළෙන්දෙක් ඔහුගේ සේනාධිනායක වී තිබේ. ඔවුන් ඇතුගල් පුරයේ කේන්ද්‍රයට ප්‍රහාරයක් එල්ලකොට තිබේ. දැන් අපිට එම උරුමය රැකගැනීම සඳහා පෙළ ගැසීමට සිදුව තිබේ. කෙටියෙන් කිව්වොත් අපි බුවනෙකබාවරු වෙනුවෙන් පෙනී සිටිය යුතුව ඇත. මහින්ද ලෑස්තිනම් අපිත් ලෑස්ති ය. ඉදිරියේදී අපි බලමු මහින්ද ද? නැතිනම් බුවනෙකබා ද? කියලා.
 
දර්ශනපති, ධර්මසිරි හේවාගම
රජරට සංස්කෘතික හා කලා පදනම