Language Switcher

V2025

චණ්ඩියෙක් බලයට පත්වූ හැම රටකම අවසානයේ සිදුවූයේ මිනී කඳු ගොඩගැසීමයි ! බිමල්

චණ්ඩියෙක් බලයට පත්වූ හැම රටකම අවසානයේ සිදුවූයේ මිනී කඳු ගොඩගැසීම බව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  බිමල් රත්නායක පවසයි.
 
ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
 
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මෙසේද පැවසීය.
 
අගමැති සහ ඇමතිවරුන් ඉතිහාසය හෑල්ලු කරනවා !

මේ වනවිට මේ ආණ්ඩුව මාස අටයි. ආණ්ඩුවේ ප්‍රබලයන් ජනතා ප්‍රශ්න ගැන තිබෙන අසංවේදීකම හොඳින්ම ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. ජනතා ප්‍රශ්න හෑල්ලුවට ලක් කරනවා. කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානය වැනසීමේ සිද්ධයෙන් පස්සේ අද රටේ අගමැතිවරයා සහ ප්‍රබල ඇමතිවරු ඉතිහාසයත් හෑල්ලු කරමින් ඉන්නවා. පුරාවිද්‍යා ස්ථාන ගණිකා මඩම් විදිහට හඳුන්වන්නත් උත්සාහ ගන්නවා. රටේ ජනාධිපතිවරයාත් දැන් උත්සාහ ගන්නවා පුරාවිද්‍යා පනත සංශෝධනය කරන්න. මේ හදන්නේ තමන්ගේ හෙංචයියන්ව බේරගන්න. ජනාධිපතිට බලයක් නැහැ මෙවැනි පනත් සංශෝධනය කිරීමට. එම බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. දැන් මේ හදන්නේ පොලිසියේත් අධිකරණයේත් ගෙල විධායක සපත්තුවෙන් සිර කිරීමටයි. 

ආණ්ඩුව බලයට පත්වී මේ ටික කාලය තුළ විශාල පරිසර විනාශයක්ද කළා. වැලි සහ පස් බලපත්‍ර ඉවත් කිරීම ඒකට එක උදාහරණයක්. ඒකෙන් වුණ හානිය කොපමණද කියා පරිසරවේදීන්ට පවා ප්‍රශ්නයක්. අධිකරණ තීන්දුවක් දුන්නා මෙවැනි පනත් ගේන්න ජනාධිපතිවරයාට බලයක් නැහැ කියලා. මේ විනාශය කළේ පරිසරවේදීන් මේ බලපත්‍ර ඉවත් කර ගැනීමේ භයානක පැත්ත පෙන්වා දෙමින් සිටියදීයි. 
 
රටේ සියළු ක්ශේත්‍ර ඇනහිටලා !

අද කොරෝනා තත්වය බරපතළ සමාජ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කොට තිබෙනවා. රෝගීන් 600ක් දැනට ප්‍රතිකාර ලබමින් ඉන්නවා කියලා ආණ්ඩුවේ වාර්තාවල කියනවා. අද රටේ සියලු ක්‍ෂේත්‍රවල වැඩ ඇනහිටලා. ඒ ඒ ක්‍ෂේත්‍රවල නියැලී සිට ජීවනෝපාය රැකගත් පිරිස් දැන් අතරමං වෙලා. රටේ ආර්ථික ක්‍රියාවලිය අඩපණ වෙලා. මිනිස්සුන්ට ලබාදුන් සුභසාධන කටයුතු නවත්වලා දාලා. බඩුමිල අහස උසට නැගලා. සංවේදී නායකයන්ට මේ ගැන වගේ වගක් නැහැ. 

ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ගත් අය බරපතළ ගැටලුවකට මුහුණ දී තිබෙනව. මේක ලෝක පරිමාණ ප්‍රශ්නයක්. ලෝකය පුරා ලක්‍ෂ ගණන් මේ නිසා දිවි නසාගෙන තිබෙනවා. ධනවාදයේ කුරිරු බව පෙන්වාදීමට මෙය හොඳ උදාහරණක්. අපේ රටේ අඩුම වශයෙන් ග්‍රාමීය ජනතාවගෙන් ලක්‍ෂ 100කට වඩා පිරිසක් මේ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය සමාගම්වල ණය උගුලේ පැටලිලා. දැනට දෙසිය ගණනකට අධික පිරිසක් දිවි නසාගෙන තිබෙනවා. ගෝඨාභය මහත්තයා බලය ගත්තේ මේ තත්වය වෙනස්කොට ඒ ණය ගත් උදවියට උපරිම සහන දෙනවා කියලා. දැන් අඩුම තරමේ ඒ ගැන ප්‍රකාශයක්වත් කරන්නේ නැහැ. ඒ වගේම කෙටි කලක් ලබා දුන් ණය සහනාධාරත් දැන් නවත්වලා. මේකෙන් වැඩිපුරම පීඩාවට ලක්වෙලා ඉන්නෙ අපේ රටේ කාන්තාවෝ. 
 
 4% පොලියට ණය ලබාදුන්නේ ආණ්ඩුවේ හිතවතුන්ට !

4% පොලියට ණය ලබාදුන්නේ ආණ්ඩුවේ හිතවතුන්ට. කිසිදු සුදුසුකමක් නැති සමහර එවැනි හිතවතුන්ට කෝටි 100 පවා ණය ලබාදී තිබෙනවා. ඒ ගැන තොරතුරු අපි ළඟ තිබෙනවා. අගෝස්තු 05වැනිදායින් පස්සේ මේ රටේ ජනතාවගේ බෙල්ල හිර  කරන තීන්දු-තීරණ නිසැක වශයෙන්ම මේ ආණ්ඩුව ගන්නවා. 

මේ වනවිට විශ්‍රාම වැටුප නතර කරලා. රටේ වැඩිහිටි පරම්පරාව ගැන කිසිම කතාවක් නැහැ. රටේ ජනාධිපති සහ අගමැති දෙන්නම වැඩිහිටියෝ. වැඩිහිටියන් ගැන අර කිවූ සංවේදිකම කෝ? වැඩිහිටි ස්ථාවර තැන්පතු පොලිය අඩු කළා. ඡන්දේ නිසා සහ පැමිණි විරෝධය නිසා තාවකාලිකව ඒක නතර කරලා තිබෙනවා. අගෝස්තු 05වැනිදායින් පස්සේ නියත වශයෙන්ම එම තැන්පතුවල පොළිය අඩු කරන බව අප ප්‍රකාශ කරනවා. දැනටමත් ඒ සඳහා චක්‍රලේඛ ගහලා ඉවරයි. රටේ පීඩාවට පත් මිනිස්සුන්ට මේ ආණ්ඩුවෙන් කිසිම සහනයක් නැහැ. සෞඛ්‍ය අංශයේ නිර්දේශවලට පයින් ගසා රටේ සියලු අංශ විවෘත කළා. දැන් ජනාධිපති, අගමැති සහභාගී වන රැස්වීම්වලට කොරෝනා නීති අමු අමුවේ උල්ලංඝණය කරනවා. ඒ මැද්දේ ආගමික සංස්කෘතික උත්සවත් තහනම් කරලා. 

අද වනවිට සංචාරක වෙළෙන්දන්ගේ ලක්‍ෂ 5කට වැඩි පිරිසකගේ ජීවිත කඩාවැටිලා. ඔවුන්ගේ යැපුම් මාර්ග ඇහිරිලා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 40කට වඩා පිරිසක් දැනට කොරෝනා නිසා මිය ගිහිල්ල. විදේශ තානාපති කාර්යාලවල විශේෂයෙන් මැද පෙරදිග රටවල අපේ තානාපති කාර්යාල ඉස්සරහට ගිහිල්ලා ශ්‍රී ලාංකික අසරණ සේවකයෝ හඬා වැළපෙනවා. තමන්ව සිය රටට ගෙන්වා ගන්න කියලා. ඒ අතර ආණ්ඩුවේ බලධාරීන් ඔවුන්ගේ ඥාතීන්, හිතවතුන් කඩිමුඩියේ ගෙන්වා ගන්නවා. මැද පෙරදිග සේවකයින් දහස් ගණනකට අද රැකියා අහිමි වෙලා. ඔවුන්ගේ ශ්‍රී ලාංකික පවුල් අනාත වෙලා. රටේ ජනාධිපතිවත් අගමැතිවත් මේ ගැන කිසිම කතාවක් නැහැ. මින් බරපතලම අමාරුවක වැටිලා ඉන්නේ අපේ රටේ කාන්තාවෝ. 
 
දැන් ගොවියන්වත් හෑල්ලුවට අරගෙන !

දැන් ආණ්ඩුවේ ලොක්කෝ ගොවීන්වත් හෑල්ලුවට ලක්කරන්න පටන් අරන්. බැසිල් කියනවා, ගොවියෝ ජොලියටලු වට්ටක්කා ඇට දෙක තුනක් කුඹුරට විසි කරන්නේ. ඊට පස්සේ ඵලදාව විකුණගන්න බැරුව ජනාධිපතිව හොයාගෙන එනවලු. බැසිල්ට අනුව වට්ටක්කා වගාව කියන්නෙ එවැනි ජොලි වැඩක්. හැබැයි මේ රටේ ගොවියෝ දන්නවා වට්ටක්කා වගාව මල්වානේ ගේ හැදුවා වගේ ලේසියෙන් කරන්න බැහැ කියලා. ගොවියට සමච්චල් කරනවා. නමුත් මොන ජරා වැඬේ කළත් මේ රටේ ජනතාව තමන්ට ඡන්දෙ දෙනවා කියලා මේ පාලකයන්ට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ජනතාවත් මේ ගැන කල්පනා නොකර පරණ පුරුද්දට මේ ගොල්ලන්ට ඡන්දෙ දෙනවා. 
 
ඉදිරියට රාජපක්ෂ පවුල් පාලනයක් !

සෞඛ්‍ය සේවකයො, විදෙස්ගත ශ්‍රමිකයො කොරෝනා බෝම්බ කියලා මේ දේශපාලුවෝ අද සමච්චල් කරනවා. මෙවැනි උද්දච්ඡ දේශපාලකයින් සහ ඔවුන්ගේ බලය ශක්තිමත් කළ යුතුද? දැන් පාතාලය මඩින්න 2/3ක බලයක් ඉල්ලනවා. ඉදිරියේ ගොඩනැගෙන්නේ රාජපක්‍ෂ පවුල් පාලනයක්. පොදුජන එක්සත් පෙරමුණු පාලනයක් නොවෙයි. රාජපක්‍ෂ පවුලට සම්බන්ධ හයදෙනෙක් මෙවර ඡන්දෙ ඉල්ලනවා. සියලු බලතල කේන්ද්‍ර කරගන්නේ ඔවුන්ගේ අතට. අනෙක් අයට සිද්ධ වෙන්නේ පා පුවරුවේ ගමන් කරන්න. තමන්ට වඩාත් හිතවත් තිහිප දෙනෙකුට ජනතා දේපොළ ගසා කන්න යම් ඉඩකඩක් විවෘත කරල දේවි. මේ බලය ඉල්ලන්නේ එක පැත්තකින් කුඩු නැති කරන්න කියලා. නමුත් ලංකාවේ ලොකුම කුඩු ජාවාරම්කාරයෝ හොරු හැමදාමත් හිටියේ සහ ඉන්නේ ආණ්ඩු පක්‍ෂය එක්ක. මොවුන්ට කොයි ආණ්ඩුව ආවත් එකයි. ඔවුන් ජාවාරම්කාර දේශපාලුවන්ගේ රැකවරණය ඉහළින්ම ලබනවා. පොලිසියේ සමහර නිලධාරීන්ට කුඩු ජාවාරම නිදැල්ලේ කරගෙන යාමට නම් ඉහළ නිලධාරීන් හා දේශපාලන බලවතුන්ගේ රැකවරණය නොමැතිව කළ නොහැකියි. නාකොටික් කුඩු ගබඩාවේ වාර්තා නොකළ කුඩු කිලෝ 600ක් තියෙනවා කියනවා. මේවා කාගෙද? ඇයි මේවා ගැන මේ ආණ්ඩුව මුනිවත රකින්නේ? 2/3 බලය ඉල්ලන්නේ වෙන කාටවත් නෙවෙයි මේවගේ අපරාධ කරන පාතාලයන් හා දේශපාලුවන් රකින්නයි. අප මේ විනාශකාරී ගමන නතර කළ යුතුයි. එසේ කරන්න නම් මේ විනාශයේ මුදුන, ඒක මෙහෙයවන තැන කඩා බිඳ දැමිය යුතුයි. අපි මේ රටේ ජනතාවට කියනවා, 2/3 උගුලට නම් අහු වෙන්න එපා කියලා. එවැනි බලයක් ගත්තු හැම ආණ්ඩුවක්ම කළේ රට විනාශ කරන එක. ඒක ඉතිහාසයේ ඔප්පු කළ කාරණයක්. මේ පාතාලය මර්දනය කරන්න එහි අධිපති ගෝඞ්ෆාදර් පන්නයේ දේශපාලකයෝ කතා කිරීම ලොකුම විහිලුවයි. එදා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් ගිහිල්ලා කුඩු බිස්නස්වලට එස්.ටී.එෆ්. එකට මාට්ටු වුණු තම හිතවත් දේශපාලකයා බේරගත් අන්දම ඔබට මතක ඇති. රාජපක්‍ෂ ගිය ගමන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ අර කුඩු දේශපාලුවගේ කරට අත දාගන්න එක. එවිට ආරක්‍ෂක අංශවලට සිද්ධ වුණා පසු බැහැලා යන්න.
 
1

රටේ ප්‍රශ්න විසඳන්න දැඩි පාලනයක් ඕනෑ කියලා ජනතාව හිතනවා. එහෙම ආකල්පයක් විවිධ පැතිවලින් ජනතාවගේ ඔළුවට කිඳා බස්සලා තියෙනවා. දැඩි පාලකයෙක් ඕනෑ කියලා ඔවුන් හිතනවා. නමුත් එවැනි චණ්ඩියෙකුට රට හදන්න බැහැ. එවැනි චණ්ඩි පාලකයෝ කරලා තියෙන්නේ ඒ ඒ රටවල මිනී කඳු ගහපු එක පමණයි. මේ තත්වය වෙනස් කළ හැක්කේ පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදී නීතිය කාටත් පොදු පාලනයකට පමණයි. ඒ වගේම රටේ සම්පත් බලගතු රටවල්වලට කුණු කොල්ලයට දීලා සාක්කුව පුරවා නොගන්නා පාලනයකට පමණයි. අපි මේ රටේ ජනතාවට කියන්නේ එවැනි පාලනයක් අවශ්‍ය නම් ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණ ඉදිරියේ කතිරය ගසා මාලිමාවේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවා එය ශක්තිමත් කරන ලෙසයි.

රටේ ප්‍රධාන පක්‍ෂ දෙකේම ලැයිස්තුවල කුඩු ජාවාරමුන් ඉන්නවා !-  ජාතික ජන බලවේගයේ ජාතික කමිටු සභික, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන 

රටේ හැමදාමත් මත්කුඩු අල්ලනවා කියලා මාධ්‍ය වාර්තා යනවා. නමුත් ඒවාට මොකද වෙන්නේ කියන එක අපට ප්‍රශ්නයක් වෙලා තිබුණා. දැන් ඒක හෙළිවෙලා. මත් ජාවාරම කරන්නේ දේශපාලුවොයි, කුඩු මුදලාලිලයි දෙගොල්ලම එකතු වෙලා කියලා රටට හෙළිවෙලා. අපි මේ රටේ ජනතාවගෙන් අහන්නේ එක ප්‍රශ්නයයි. ඔබලා ඡන්දය දිය යුත්තේ ඔවුන්ටද කියායි. මේ දේශපාලුවන්ට හැම මැතිවරණයකදීම කෝටි ගණන් සල්ලි මත්කුඩු මුදලාලිලා වැය කරනවා. අපේ රටේ ලක්‍ෂ ගණනක තරුණ පිරිසක් අද මත් උවදුරට ගොදුරු වෙලා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි කියලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය උවදුර මේ රටෙන් සම්පූර්ණයෙන්ම තුරන් කර දමනවා කියා. ඊට අවශ්‍ය වැඩපිළිවෙළ අප සතුයි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමග ඒකාබද්ධව කළ යුතු සැලසුමක් අපි ඉදිරිපත් කර තිබෙනවා. 

රාජපක්‍ෂලා වගේම එජාප නායකයිනුත් මේ රටේ කුඩු මුදලාලිලා හොඳින් රැකගත් බවට ඕනෑතරම් සාක්‍ෂි අපිට තිබෙනවා. එදා මේ පාලකයෝ මත්කුඩු ජාවාරමුන් ආරක්‍ෂා කළා. අදත් එසේමයි. ඊට අමතරව අද පුරා වස්තු විනාශකරුවන්ද ආරක්‍ෂා කරනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය අනුව අපි මේ රටේ සෑම දිසාවකම තිබෙන පුරාවිද්‍යා ස්ථානවල පූර්ණ ආරක්‍ෂාව තහවුරු කරනවා. මේ රටේ සාමය වෙනුවෙන් ජාතීන් අතර ආගමික සහයෝගීතාවය වෙනුවෙන් අපිට පැහැදිළි වැඩපිළිවෙළක් තිබෙනවා. 

අපේ රටේ තානාපතිකම් දීලා තියෙන්නේ ඒ සඳහා සුදුසු පුද්ගලයින්ටද? හැම ආණ්ඩුවකම ප්‍රතිපත්තිය වෙලා තිබුණේ තමන්ට හිතවත් කලාකරුවන්ට, ජාතික චින්තකවරුන්ට, ආණ්ඩුවේ හිතවත් වෛද්‍යවරුන්ට සහ තමන්ට විවිධ අන්දමේ උපකාර කළ අයට, ඒ වගේම එවැනි අය කුමක් හෝ නීතිවිරෝධී වැඩක් කරලා අහු වුණාට පස්සේ තානාපතිකමක් දීලා විදෙස්ගත කරන එක තමයි මේ ආණ්ඩු හැම එකක්ම කළේ. දැන් වියත් මගේ යනවා කියන කට්ටියක් එවැනි තැන්වලට යවා තිබෙන බව අපි දන්නවා. 

කෙරෝනා වසංගතය මැඩලීමේ කටයුත්තේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ සෞඛ්‍ය අංශයටයි. නමුත් අද එය ද්විතීය තැනට දාලා. කොරෝනා වසංගතය වළක්වන්න පුළුවන් තැන්වලත් ඒක වළක්වා ගැනීමට නොහැකි වුණේ ඒ නිසයි. කලින් හිටියේ රෝගීන් 300යි. දැන් රටේ රෝගීන් සංඛ්‍යාව විශල ලෙස වැඩිවෙලා. සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපැද්දා නම් මේක  මෙහෙම වෙන්නෙ නැහැ. අද රටේ අධ්‍යාපනයත් කඩා වැටිලා. විභාග කල් දාලා. සමාජය හැම පැත්තෙන්ම පරිහාණියට ගිහිල්ලා. මේ පරිහාණියට ආණ්ඩුව වගකිව යුතුයි. කොරෝනා ඉදිරියට දාගෙන ඡන්දය කරන්න ගිය ආණ්ඩුව අද ඒ ඉදිරියේ දණින් වැටිලා. අද රටට අවශ්‍ය කරන්නේ මෙ හැම පැත්තෙන්ම ගරා වැටිලා තියෙන රට ගොඩගන්න පුළුවන් ශක්තිමත් වැඩපිළිවෙළක් සහිත නායකත්වයක්. එහෙම දියුණු වැඩපිළිවෙළක් සහ නායකත්වයක් තිබෙන රටේ එකම බලවේගය ජාතික ජන බලවේගයයි.

ජාතික සමගිය සහ ආගමික සහජීවනය රටට උදාකළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි - 
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු සභික, වෛද්‍ය රිස්වි සාලි 

අද පාර්ලිමේන්තුවේ වැඩිපුරම ඉන්නේ මිරිස්කුඩුකාරයෝ, ජෝකර්ලා සහ ඒ වගේම අපරාධකාරයෝ. මම දේශපාලනඥයෙක් නොවෙයි. නමුත් මම මේ රටට ආදරෙයි. ඒවගේම අපේ මුස්ලිම් ප්‍රජාව ගැනත් ටිකක් කතා කරන්න ඕනි. මම අහනවා, රටේ සම්ප්‍රදායික මුස්ලිම් පක්‍ෂවලට මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද කියලා? මෙච්චර කල් මුස්ලිම් ජනයා ඡන්දය දුන්නේ ඔවුන්ට. ඔවුන් කළේ මොකක්ද? ප්‍රධාන පක්‍ෂ දෙකට මුස්ලිම් ඡන්ද ටික විකුණන එකයි. ඒ ඇරෙන්න මුස්ලිම් ජනයා වෙනුවෙන් කළ කිසි දෙයක් නැහැ. 

ජාතික ජන බලවේගය ඉන්නේ නිවැරදි, ඒ වගේම ශක්තිමත් නායකත්වයක්. සියලු ආගම්වල ජනයාගේ සමගිය ගොඩනගන වැඩපිළිවෙළක් එයට තිබෙනවා. මම කියනවා, මේ රට හදන්න ජාතික ජන බලවේගය හැර වෙන සුදුසු දේශපාලන ව්‍යාපාරයක් නැහැ කියලා. ඒ වගේම අනුර කුමාර සහෝදරයාගේ නායකත්වය හැර වෙන නායකත්වයක් නැහැ කියලා. මේ ආණ්ඩු හැම එකකින්ම කළේ විවිධ ජාතිකත්වවල ජනයා එකිනෙකාට කොටවා කුළල් කාගැනීමට සැලැස්වීම. ඒ වගේම රටේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රධාන පක්‍ෂ දෙකටම කිසිම වැඩපිළිවෙළක් නැහැ. වුවමනාවකුත් නැහැ. ඒක වවාගෙන කන්න තමයි වුවමනාව. ජාතික ප්‍රශ්නය විසඳීමේ දියුණුම වැඩපිළිවෙළ තියෙන්නේ ජාතික ජන බලවේගය පමණයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්..!

අපේ ව්‍යාපාරයෙන් ඉදිරිපත් කරලා තිබෙන අපේක්‍ෂකයෝ 291 දෙනාටම අපි වගකියනවා. මේ අය දේශාපලනයට එන්නත් කලින් තමන්ගේ වෘත්තියට අමතරම අවංකවම සමාජ සේවයේත් යෙදුණු අය. ප්‍රධාන පක්‍ෂ දෙකම කරන්නේ එක්කො හොරෙක් බවට තහවුරු වූ කෙනෙකුට අපේක්‍ෂකත්වය දීම. නැතිනම් දුන්නට පස්සේ හොරෙක් වෙන්න ඉඩ දීලා අහක බලාගෙන ඉන්න එක. 

මහ බැංකු වංචාවෙන් මුදල් ගත්තේ 118 දෙනෙක් ප්‍රධාන පක්‍ෂ දෙකේම ඉන්නවා කියලා ජනාධිපති කොමිසමෙන් කියනවා. දැන් ප්‍රධාන පක්‍ෂ දෙකෙන්ම මේ අයගෙන් වැඩි පිරිසකට අපේක්‍ෂකත්වය දීලා තියෙනවා. 

අපේ අපේක්‍ෂකයන්ගෙන් කවුරුන් හෝ සමාජයට වැරැද්දක් කළොත් අපි දෙපාරක් නොහිතා ඔහුව අපේ ව්‍යාපාරයෙන් නෙරපා හරිනවා. උදාහරණයක් හැටියට විමල් වීරවංශ අපි පක්‍ෂයෙන් නෙරපා හරිනකොට ඔහු උසාවියෙන් වැරදිකරුවෙක් වෙලා හිටියේ නැහැ. අපි උසාවී තීන්දු එනකං බලා නොසිට යමෙක් වැරදි කළ බව පක්‍ෂයට ඔප්පු වූ විගසම ඔහුව ඉන් නෙරපා හරින්න අපේ ව්‍යාපාරය පසුබට වෙන්නේ නැහැ. අනුරුද්ධ පොල්ගම්පොලත් එලෙස පක්ෂයෙන් ඉවත් කරපු කෙනෙක්. උසාවියෙන් වැරදිකරුවන් නොවුනත් අපේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව වැරදි කරනවා නම් අපි ඔවුන් ඉවත් කරන්න පසුබට වෙන්නේ නැහැ.