Language Switcher

V2025

“ශ්‍රී ලංකාවේ උසාවි ක්‍රමය දෙබිඩියි” සෙයිඩ් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

චූදිත රාජ්‍ය සහ හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් යුක්තිය පසිඳ ලීමේදී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාදාමය දෝෂ දර්ශනයට ලක්කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා යුද අපරාධ ඇතුළු මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට කටයුතු කරන මෙන් ජාත්‍යන්තර බලවතුන්ගෙන් ඉල්ලා සිටී.

ඉහල අවධානයක් යොමුවූ නඩු කිහිපයක්ම වසර ගණනක් කල් ගතවීත් “සැලකිය යුතු ප්‍රගතියක්” අත්කරගෙන නැති බව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරයා විසින් ජගත් මානව හිමිකම් මණ්ඩලයේ තිස් හත් වැනි සැසිවාරය හමුවේ තබන ලද විශේෂ වාර්තාවකින් පෙන්වා දී ඇත.

“ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය ගොරතර ලෙස උල්ලංඝනය හා කෙලෙසීම සහ ජාත්‍යන්තර මානවීය නීතිය කෙලෙසීම සම්බන්ධයෙන් සැලසී ඇති දණ්ඩ මුක්තිය පිළිබඳව පියවර ගැනීමට හැකියාවක් හෝ අභිලාෂයක් හෝ බලධාරීන් විසින් මේතාක් ප්‍රදර්ශනය කොට නැත,” යි මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් ශ්‍රී ලංකාවට චෝදනා කරයි.

නොවිසඳුනු අපරාධ

වැලිකඩ බන්ධනාගාරයේ 2012 සමුහ ඝාතනය, වැලිවේරිය උද්ඝෝෂකයන් 2013 දී වෙඩි තබා මැරීම, 2006 ත්‍රිකුණාමලයේ දී සිසුන් පස් දෙනකුත් මුතුර් හිදී සහන සේවකයන් 17 කුත් ඝාතනය කිරීම, 2008-2009 කාල වකවානුවේ නාවික හමුදා නිලධාරීන් විසින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, 2006 පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, 2010 මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, 1996 දී හමුදා නිලධාරීන් විසින් සිදුකළ කුමාරපුරම් සමූහ ඝාතනය සහ 2009 ලසන්ත වික්‍රමතුංග ඝාතනය මේතාක් නොවිසඳුණු අපරාධ අතරින් කිහිපයක් ලෙස වාර්තාවේ ලැයිස්තු ගත කොට ඇත.

නොවිසඳුනු මෙම නඩු සැමෙකකම පාහේ චූදිත ආරක්ෂක අංශ සාමාජිකයන් ඇප ලබා නිදහස්ව ගොස් සිටින බව පෙන්වා දී තිබේ.

ලලිත් සහ අනුෂ

මීට අමතරව, කෝටි හැටක මුල්‍ය වංචාවකට වැරදිකරුවන් වී 2017 සැප්තැම්බරයේ තුන් අවුරුද්දකට බන්ධනාගාර ගත කරනු ලැබූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට සති දෙකකට අඩු කාලයක් තුලදී “විශේෂ හේතු” දක්වා ඇප මත මුදා හැරීමද වාර්තාවෙහි දැක්වෙයි.

කෙසේවෙතත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්නා අය වසර ගණන් නඩු නැතිව සිරකොටගෙන සිටින බව පෙන්වා දී තිබෙන මහ කොමසාරිස් සෙයිඩ් එය “දෙබිඩි පිළිවෙතක්” ලෙස හෙලා දැක තිබේ.

“ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ පොදු ලක්ෂණයක් සේ දිස්වන්නේ අපරාධ නඩු වලදී චෝදනා ලබා සිටින රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන්ට අදාලව යුක්තිය පසිඳ ලීමේදී දක්වන සැලකිල්ලේ දෙබිඩි පිළිවෙතයි,” යනුවෙන් මහ කොමසාරිස් වාර්තාව පවසයි.

ඒ නිසා රාජ්‍ය හා හමුදා නිලධාරීන් විසින් සිදුකර ඇති මහා පරිමාන අපරාධ වලට එරෙහිව පියවර ගැනීම සඳහා විශේෂඥ දැනුමින් යුත් නිලධාරීන්ගෙන් සහ ජාත්‍යන්තර නීතිවේදීන්ගෙන් සැදුම්ලත් විශේෂ අධිකරණයක් පිහිටුවීම සඳහා වන “තර්කය වඩාත් ශක්තිමත් වන්නේ” යයි ජගත් මානව හිමිකම් ප්‍රධානියා කියා සිටී.

ජාත්‍යන්තර අධිකරණ බලය

යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පසුගිය දස මාසයේ ශ්‍රී ලංකාව දක්වා ඇත්තේ අසමත්කමකැ’යි අවධාරණය කරන වාර්තාව “වගවීම නගා සිටුවීම සඳහා ජාත්‍යන්තර අධිකරණ බලය ඇතුළු වෙනත් මාර්ග යොදාගැනීම සම්බන්ධයෙන් සොයාබලන” මෙන් සාමාජික රටවලින් ඉල්ලා සිටියේය.

යුද්ධයේ අවසාන භාගයේ මානව වර්ගයාට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් විශ්‍රාමික යුද හමුදාපති ජගත් ජයසූරියට චෝදනා නගා බ්‍රසීලයේ හා කොලොම්බියාවේ 2017 අගෝස්තුවේදී නඩු පැවරීම ජාත්‍යන්තර අධිකරණ බලය යොදාගැනීම සම්බන්ධ උදාහරණයක් ලෙස මහකොමසාරිස් සෙයිඩ් විසින් පෙන්වා දෙන ලදී.

යුද පීඩිතයන්ගේ විශ්වාසය දිනා නොගත් විශ්වසනීය වගවීම් යාන්ත්‍රණයක් නැති තැන එවැනි තවත් තොරතුරු හෙළිවිය හැකි බව පවසන මානව හිමිකම් ප්‍රධානියා අවශ්‍ය අවස්ථාවලදී ජාත්‍යන්තර අධිකරණ බලය පාවිච්චි කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටී.

වධබන්ධන සහ දූෂණ

පසුගිය දෙවසර තුල ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් වධබන්ධන සහ ලිංගික දූෂණ සිදු කළ බවට නැගෙන චෝදනා සහිතව ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) ගවේෂණයකින් පළවූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කෙරේ සිය බරපතල අවධානය යොමුවී ඇතැයි කී ජගත් මානව හිමිකම් ප්‍රධානී සෙයිඩ් රාද් අල් හුසේන් ඒවා වඩාත් හොඳින් තවදුරටත් විමර්ශනය කිරීමේ මාර්ග මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් සොයා බලමින් සිටින බවද දන්වා සිටියේය.

අඩුම වශයෙන් හැත්තෑ දහසක් සාමාන්‍ය වැසියන් ඝාතනය කරන ලද බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගණන් බලා ඇති ශ්‍රී ලංකාවේ යුද අපරාධ ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් 2015 දී ශ්‍රී ලංකාව දුන් පොරොන්දු ඉටු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පසුගිය වසරේ තවත් අවුරුදු දෙකක් කල් දුන්නේය.

යුද පීඩිතයන්ගේ විරෝධය තිබියදීත් ඇතැම් දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද ඊට අනුමැතිය පල කරන ලදී.

ලබා දුන් කාල අවකාශයෙන් අපේක්ෂිත ප්‍රගතිය අත් වී නැති බව ජගත් මානව හිමිකම් ප්‍රධානියාගේ නිරීක්ෂණයයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට එක්සත් ජාතීන්ට තොරතුරු සපයන්නන් එල්ටීටීඊ හිතවාදීන් ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ගර්හාවට ලක් වී තිබුනි.

radiogagana