සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ පසුව ආණ්ඩුවට එක්වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සිදුකළ ඉල්ලීමක් අනූව
ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිර දඬුවමට ලක්ව සිටින මාළිගාවත්ත බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිව ඇති බව වාර්තා වෙයි.
ඒ, දඩුවමට එරෙහිව ගොනු කර ඇති අභියාචනය ඉල්ලා අස්කර ගැනීමේ කොන්දේසියට යටත්වය.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගේ පක්ෂය මාරු කිරීමේ කොන්දේසි අතර ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමද ඇතුළත්ව තිබී ඇත.
එහිදී අදාළ ඉල්ලීම සිදුකිරිමට මන්ත්‍රීවරියගේ සැමියා වූ සේනක සිල්වා ද මැදිහත් වූ බවත් එම ආරංචි මාර්ග පවසයි.
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන් ඔහුගේ ප්‍රධානම ආධාරකරුවකු ලෙස කටයුතු කළේය.
2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි, උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ 2020 ජුනි 01දා ය.
ටී-56 ගිනි අවි ලඟ තබාගැනීමේ චෝදනා හැර අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගත් බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව නඟා තිබු සියළු චෝදනාවන්ගෙන් උන් වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
ටී-56 ගිනි අවි 02ක් ලඟ තබා ගන්නා ලද බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවටන්වහන්සේ වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා වරදකරු කළ චෝදනාවට උන්වහන්සේට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
මෙම නඩුව මුලින්ම පවරන ලද අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන්, මාවෙලතැන්නේ සුමේධ හිමියන් සමඟ කරුණා පාර්ශවයේ ආධාරකරුවන් බව කියන ජී. බාලන්, කේ. තමිල් චෙල්වන් සහ සන්දීපන් සුබ්‍රමනියම් නමැති තිදෙනකුද චෝදනා ලැබ සිටියේය.
එම විත්තිකරුවන්ට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට 2018 ජුනි මස 24 වැනිදා නීතීපතිවරයා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා එම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළේය.
ඒ සමයේ ඌව තැන්නේ සුමන හිමි මෙම ආයුධ තබාගත් හේතුව ලෙස වාර්තා වුයේ කිසියම් ආකාරයකට 2010 මැතිවරණය හමුවේ ප්‍රතිවාදී අපේක්ෂක මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණදීම සඳහා ය.

