හරීන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා - සජිත්

හරීන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා - සජිත්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු  සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඊයේ (09) සිදුකළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පවසයි.

මහජන නියෝජිතයකු වශයෙන් හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව තුළදී කළ කතාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තර්ජනාත්මකව සිදුකළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයකු සහ සහෝදර මන්ත්‍රීවරයකු වන හරීන් ප්‍රනාන්දුට එල්ල වී ඇති ජීවිත තර්ජනය හමුවේ ඒ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් සහ පක්ෂය සම්පූර්ණයෙන්ම කැපවන බව පැවසූ  හරීන් ප්‍රනාන්දුට අබමල් රේණුවක පමණින් හෝ හානියක් සිදුවුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා සහ රජය බාරගත යුතු බවත් අවධාරණය කළේය.

මොනයම් හෝ ආකාරයක තර්ජනයකින් ගර්ජනයකින් ජනතාවගේ මතය යටපත් කළ නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා මෑතකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ද ප්‍රජාතන්ත්‍රවාදය කෙළසමින් තර්ජනයෙන් ගර්ජනයෙන් භීෂණයෙන් ජනතා මතය යටපත් කිරීමට උත්සාහ දැරූ නමුත් අවසානයේ සිදුවුනේ ඔහුට එරෙහිව ඔහුගේම පක්ෂය තුළින් පවා දැවැන්ත විරෝධයක් ගොඩනැඟීම බවත් සිහිපත් කළේය.

එසේම අපේ රට තුළ කිසිදු ආකාරයකින් තර්ජනයට ගර්ජනයට භීෂණයට ප්‍රචණ්ඩත්වයට හෝ ම්ලේච්ඡත්වයට කිසිදු ඉඩක් නොමැති බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම උදෙසා තමන් සහ තම පක්ෂය දිවිහිමියෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් වදින බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (10) පෙරවරුවේ පැවති සමගි ජන බලවේගයේ පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න