Language Switcher

V2025

යාපන සරසවියේ ස්මාරකය 'ඩෝසර්' කළ හේතුව මෙන්න?

යාපනය විශ්වවිද්‍යාල භුමියේ ඉදිකර තිබු 'මළවුන්ගේ ස්මාරකය' ඉවත් කිරිම එම විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා විසින් ගනු ලැබූ තීරණයක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියි.
 
ඔහු එබව කියා සිටියේ, යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය ඉදිකර තිබූ 'මළවුන්ගේ ස්මාරකය' සන්නද්ධ බලය යොදා උගුල්ලා දැමීමට විරෝධය පාමින් සරසවි සිසුන් පිරිසක් ඊයේ (08) රාත්‍රී වීදි බැසීම නිසා ඇතිවූ නොසන්සුන්කාරී තත්වය පිළිබඳව අදහස් දක්වමිනි.
 
යුද්ධය අවසන් වන විට දැනට විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනය ලබන දරුවන්ට වයස අවුරුදු 9-10ක් ලෙස පැවති බවත් මෙවැනි ස්මාරක මගින් හෙට දවසේ සිංහල දමිළ දරුවන් අතර අසමගිය ඇතිවීමට ඉඩ නොතැබිමක් ලෙස එම ස්මාරකය ඉවත් කිරීමට උපකුලපතිවරයා විසින් පියවර ගෙන ඇති බව මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.
 

ඊයේ රාත්‍රියේ මෙම ඉදිකිරීම කඩා ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග සිසුන් පිරිසක් ඊට විරෝධය පල කළේ ය.
 
පසුව විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් සිවිල් වැසියන් හා දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක්ද විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණි අතර ඔවුන් පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළේ උපකුලපතිවරයා හමුවීමට අවශ්‍ය බව කියමින් ය.
 
විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැඳවා තිබුණි.
 
ඊයේ රාත්‍රියේ සිට අද අද උදෑසන දක්වා පිරිසක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට රැදී සිටි අතර අද දහවල් පොලීසිය දැනුම් දුන්නේ, තවදුරටත් රැස්වී සිටින්නේ නම් PCR පරීක්ෂණ සිදු කළ යුතු බවයි.
 
එම දැනුම්දීමෙන් පසුව රැස්ව සිටි වැඩි දෙනා විසිර ගිය අතර අනතුරුව සිසුන් කිහිපදෙනෙකු උපවාසයක් ආරම්භ කළේ ය.
 
මාධ්‍ය විසින් කළ විමසීමක දී යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සී. සිරිසත්ගුණරාජා කියා සිටියේ, සම්පූර්ණ කර නොතිබූ මෙම ඉදිකිරීම ඉවත් කර ගන්නා ලෙස අවස්ථා ගණනාවකදී දැනුම්දී තිබූ බවය.
 
මෙය අනුමැතියකින් තොරව ඉදිකරන ලද්දක් බවත් එවැන්නක් විශ්වවිද්‍යාලයක් තුළ ඉදිකළ නොහැකි බවත් මහාචාර්ය සී. සිරිසත්ගුණරාජා පෙන්වා දුන්නේ ය.
 
යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකයක් ඉවත්කිරීම සම්බන්යෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග විසින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.
 
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

UGC 1

UGC 2