Language Switcher

V2025

අලි අවුල ලිහන්නත් : කරූ මැදිහත් වෙයි !

අද වනවිට අලින් හා සාමාන්‍ය ජනතාව අතර සිදුවන ගැටුම් හේතුවෙන් ලෝකයේ වැඩිම අලින් සංඛ්‍යාවක් මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බවත් එසේම අලි මිනිස් ගැටුමට මැදිවී ලෝකයේ දෙවැනි තැනට මිනිසුන් මිය යන රට බවට පත්ව ඇත්තේ ලංකාව බව ත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසුරිය පවසයි.
 
එසේම මේ ප්‍රශ්ණයෙන් රට මුදාගන්නට නම් ජාතික මට්ටමෙන් ක්‍රියාන්විතයක් සැලසුම් කළයුතු බවත් ඔහු අවධාරණය කරයි.
 
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මේ අදහස් දක්වා සිටියේ අද (21) පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින්ය.
 
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.
 
 අප රටේ කීර්තිමත් විද්වතුන් කණ්ඩායමකට ඇතුළත් වන ආචාර්ය ඒ.ඩබ්ලිව්.විජේරත්න, ආචාර්ය ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු හා පරිසරවේදී සුපුන් ලහිරු විසින් සිදුකර ඇති අධ්‍යයනයන් මඟින් තමයි මේ තොරතුරු අනාවරණය වෙන්නේ.

අපට වාර්තා වී ඇති ආකාරයට මෙම තත්වය පාර්ලිමේන්තු කමිටුවකදී ද අවධානයට ලක්වී තිබෙනවා. එමෙන්ම අලි මිනිස් ගැටුම ගැන පසුගිය දශක කිහිපය තුළදී මේ රටේ බලයට පත්වූ විවිධ ආණ්ඩු ජනතාවට විවිධ පොරොන්දු ලබාදී තිබෙනවා. එහෙත් පලදායි යමක් සිදුවූවේ යැයි අපට සතුටු වෙන්න බැහැ.
 
දිස්ත්‍රික්ක 19 ක ප්‍රාලේ . කොට්ඨාශ 131ක අලි - මිනිස් ගැටුම් !

අප මේ ඉදිරිපත්කරන කරුණ රටට මොනතරම් බලපෑමක් කරනවාද කියන කාරණය බලධාරීන් නිවැරදිව තේරුම් ගතයුතු වෙනවා.
අද වනවිට දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක 19ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක්ම අලි මිනිස් ගැටුමට මැදිවෙලා තිබෙනවා.
ඒ වගේම වාර්ෂිකව අලි මිනිස් ගැටුම දරුණු අතට පත්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාවත් වාර්තාගතව වැඩිවෙමින් තිබෙනවා.
කොටින්ම කියනවා නම් දකුණින් හම්බන්තොට සිට යාපනය දිස්ත්‍රික්කයට අයත් මදුරන්කේනි හෙවත් වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දක්වාම උතුරු දෙසට අලි මිනිස් ගැටුම පැතිරී තියෙනවා.

මේ ගැන කරුණු අධ්‍යයනය කර වටිනා නිගමන හා නිර්දේශ රටට ලබාදෙන ලෝකය පිළිගත් විද්වතුන් ගණනාවක්ම අප රටේ සිටිනවා.  ඔවුන්ගේ නිගමන හා නිර්දේශ පිලිබඳව ජාත්‍යන්තරයේ පවා විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා. ඒ ගැන අධ්‍යයනය කිරීමට විදේශ රටවල නියෝජිත කණ්ඩායම් පවා ලංකාවට පැමිණි බව වාර්තා වෙනවා.  නමුත් ඔවුන්ගේ අදහස්වලට ප්‍රමාණවත්  අවධානයක් යොමු නොවීම කණගාටුවට කරුණක් මෙහිදී අප ඉතාමත් ඕනෑකමින් යුක්තව අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සිදුවෙමින් පවතින විනාශය අවම කර ගැනීම සඳහා නොපමාවම අවධානය යොමුකරවන ලෙසය. 
 
අලි සහ මිනිසුන් එකම වාසභූමි වල !

එහිදී මෙම ක්ෂේත්‍රය පිළිබඳව පර්යේෂණ හා අධ්‍යයනයන් සිදුකරන ලද ප්‍රාමාණික විද්වතුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලෙසය. 
එහිදී අතීත පැරණි ක්‍රමවේද සමඟ නවීන තාක්ෂණය ද උපයෝගී කරගැනීම ඉතාමත් වැදගත් වෙනවා.  එමෙන්ම එහිදී අප රටක් ලෙස මුහුණ දී ඇති යථාර්තයද තේරුම් ගතයුතු වෙනවා. එනම් අද වනවිට අලින්ගේ වාසභූමිවලින් 70% ක්ම පිහිටා ඇත්තේ මිනිස් ජනාවාස සහිත ප්‍රදේශවලයි. 

අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට නොහැකි වී ඇත්තේ මේ නිසයි. එම නිසා ඉතාමත් සැලසුම්ගත ක්‍රමවේදයක් උපයෝගීකර නොගෙන මේ ප්‍රශ්ණයට මුහුණදීම අසීරු වෙනවා. එමෙන්ම ඒ අතර තුර අලි ඇතුන්ගෙන් ජනාවාසවලට හා වගාබිම්වලට සිදුවන හානිවීම් වැලැක්වීම සඳහා ස්ථිර විදුලි වැටවල් මෙන්ම කුඹුරු වටා ඉදිකරන තාවකාලික විදුලි වැටවල් ද එක් කිරීම ඉතා වැදගත්ය. 
 
වගා හානි සඳහා වන්දි ගෙවන්න !

ඊට අමතරව එම කටයුතු ප්‍රජාමූල සහභාගිත්ව ව්‍යාපෘතීන් හරහා සිදුකිරීමද වැදගත්ය. ප්‍රජාවගේ මූලිකත්වයෙන් වැටවල් ඉදිකිරීමට නොහැකි වන අවස්ථාවල දී පමණක් එම ඉදිකිරීම් සඳහා රජය මැදිහත්විය යුතුය.එමෙන්ම ජනතාවට සිදුවන ශාරිරික හා දේපල හානි සඳහා වන්දි ගෙවීම අඛණ්ඩවම සිදුකළ යුතුවෙනවා. අපට වාර්තා වන ආකාරයට බෝග වගා හානි සඳහා වන්දි ගෙවීමක් මෙතෙක් සිදු වී නැත. ඒ නිසා සිදුවන වගාහානි සඳහා ද රජය මඟින් සුදුසු වන්දියක් ගෙවිය යුතු වෙනවා.

ඒ වගේම මේ ප්‍රශ්ණයෙන් රට මුදාගන්නට නම් ජාතික මට්ටමෙන් ක්‍රියාන්විතයක් සැලසුම් කළයුතු වෙනවා. එහිදී වනජීවී දෙපාර්තමේන්තුව මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිළධාරී, කෘෂිකර්ම නිළධාරී වැනි හැම ක්ෂේත්‍රයකටම අයත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු එම කටයුත්තට සම්බන්ධ කරගත යුතු වෙනවා.ඒ වගේම පසුගිය කාලයේ රටේ විවිධ ආපදා තත්වයන්හිදී සාර්ථක ලෙස ක්‍රියාකළ යුධ හමුදාවේ ද ක්‍රියාකාරීත්වයන් හරහා මේ ප්‍රශ්ණයට සාර්ථක විසදුමක් ලබාගත හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.

එපමණක් නොවෙයි එවැනි විධිමත් සැලැස්මක් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් හා මාර්ගෝපදේශ ලබාදෙන හා එම කටයුතු අධීක්ෂණය කරන ජනාධිපති කාර්ය සාධක බලකායක් ද නිර්මාණය කළයුතු වෙනවා. එවැනි ඒකාබද්ධ ක්‍රියාවලියකින් පමණයි මේ උවදුරෙන් රටේ ජනතාව මෙන්ම අලි සම්පත ද ගලවාගත හැකි වන්නේ. ඒ ගැන රජයේ අවධානය යොමු වේවායි අප ප්‍රාර්ථනා කරනවා.
ඒ සමඟම අද වනවිට මේ රට තුළ මහා දවාලේ කිසිදු හිරිකිතයක් බියක් නැතිව සිදුකරන මහා පරිමාණ වංචාවන් කිහිපයක් ගැන අසන්නට ලැබෙනවා. 
 
බහුතරයක් ජනතාව ලැජ්ජාවෙන් !

මෙවැනි සිදුවීම් ගැන කතා කරන්නට සිදුවීම එක්තරා අතකට කණගාටුවට හේතුවක්, පිරිසිදු රාජ්‍ය පාලනයක්, පිරිසිදු මූල්‍ය පාලනයක් ගැන නිතර දෙවෙලේ ජනතාවට පොරොන්දු ලබාදුන් දේශපාලඥයන්ගෙන් සමන්විත රජයකින් මෙවැනි දේ ජනතාව හීනෙකින්වත් බලාපොරොත්තු වූයේ නැත. 

ඒ අතින් අද මේ රටේ බහුතර ජනතාවක් ද ලැජ්ජාවට පත්වෙලා.  ඒ කෙසේ නමුත් මේවා රටක නොවිය යුතු දේවල්, ඉදිරියේ දී කිසිසේත්ම සිදුවීමට ඉඩ නොදිය යුතු දේවල්, ඒ නිසා එම මහා පරිමාණ වංචාකරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදිය යුතුමයි. එවැනි මහා පරිමාණ දැවන්ත වංචාවකට හවුල් වූ එහෙමත් නැත්නම් අනුබල දුන් බවට තොරතුරු ඇති එක් සභාපතිවරයෙක් පදවියෙන් ඉවත්ව ගියා. නමුත් ඊට පසුව ද අද ඔහු ජනාධිපතිතුමන් යටතේ ඇති වෙනත් ආයතනයක සභාපති තනතුරක් දරමින් සිටිනවා.

ඔහුගේ ද සම්බන්ධයක් ඇතුව මේ රටේ සිදුවූ බිලියන 10 ක් තරම් වූ ඒ මහා වංචාව ගැන රජයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කරන්නේ නැත.
මෙය ඉතාමත් පැහැදිලිවම ජනාධිපතිතුමා කෙරෙහි මේ රටේ ජනතාව ඇතිකරගෙන තිබූ විශ්වාසයට බලවත් හානියක්,
එතුමාගේ කීර්ති නාමයට සිදුවන කැලලක්. එතුමා ඒ බව තේරුම් ගතයුතුයි.

වෙළඳ ක්ෂේත්‍රයේ ස්වභාවය ගැන අවබෝධයක් ඇති අයට මෙය තේරුම් ගැනීම ඉතාමත් පහසුයි. ඒ සඳහා එක උදාහරණයක් මා පෙන්වා දෙන්නම්, 1980 දශකයේ දී දේශීය සීනි නිෂ්පාදකයා වෙත සාධාරණ මිලක් ලබාදීමේ වැඩසටහනක් සකස් කළා. එහිදී සීනි නිෂ්පාදකයන් මෙන්ම සීනි ආනයනකරුවන්ද මහා භාණ්ඩාගාරයද ඒකාබද්ධව කටයුතු කළා. එම යුගයේ සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතීත්වය දරණ ලද්දේ මා විසිනුයි.

එදා සීනි නිෂ්පාදකයන් නියෝජනය කළේ සීනි සංයුක්ත මණ්ඩලයේ සභාපතිවරයාව සිටි එමෙන්ම පසුකලක නියෝජ්‍ය කතානායක ධුරය ද දැරූ ආනන්ද කුමාරසිරි මහතා ය. එදා එක සීනි කිලෝවකින් ආනයනකරුවෙක් ලබාගත්තේ සත 05 ක හෝ 10 ක ලාභයක් පමණයි.
එහෙත් පසුගියදා මහා වංචාවකට හේතු වූ කූට ගණුදෙනුවේදී ආනයනකරුවන්ට එක සීනි කිලෝවකින් රුපියල් 50 ට වඩා අයුතු ලාභයක් ලබාගන්නට පහසුකම් ලබාදී තිබෙනවා. 
 
මේ මොන නීතියක්ද ?

ඒ නිසා මේ වෙළඳාම ගැන දන්නා අපට මේ වගේ සිදුවීම් දකින විට ඇතිවන්නේ හිරිකිතක්, ඒ වගේම ලැජ්ජාවක්.
එමෙන්ම ලංකා බැංකුවේ එක්තරා බැංකු ශාඛාවක් යොදාගෙන රුපියල් බිලියන 03 ක ණය ලබාදීම පසුපස ඇති ඛේදනීය තත්වය ගැන අද වනවිට රට තුළ දැඩි කතාබහක් ඇතිවෙලා තිබෙනවා. 

මෙවැනි ගණුදෙනු සිදුවිය හැක්කේ දේශපාලන බලපෑමකින් පමණයි. මේ ණය ගණුදෙනුව සිදු වී ඇති ආකාරය විශ්වාස කළ නොහැකියි.
පිරිසිදු රජයකින් මෙවැනි දේ සිදුවිය හැකි ද? මේ මොන නීතියක් ද? ඒ නිසා අද එක රටක් එක නීතියක් ගැන කතාකරන එක විහිලුවක්.  
ඒ කෙසේ වෙතත් අද රටේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද යන්න පිළිබදව ජනතාව සිටින්නේ ඉතාමත් ම අවදියෙන්, ඔවුන්ට බොරු කරන්න හිතනවා නම් එයින් සිදුවන්නේ විහින් මුලාවේ වැටීමක්. රජය ඒ බව අවබෝධ කර ගතයුතුයි.