අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව නිරන්තරයෙන් යොදාගැනීම පිළිබඳ දෙවරක් සිතා බලන මෙන් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය (IBAHRI) පවසයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් "සිර දඬුවම් පැනවීම පිළිතුර නොවන," බව ද එම ආයතනයේ අධ්‍යක්ෂිකා හෙලනා කෙනඩි සාමිවරිය බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.
"අධිකරණයට අපහාස කිරීම කියන වරද නිරන්තරයෙන් යොදාගැනීම ගැන දෙවරක් හිතන්න කියල මම ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වරදට මිනිසුන් නිතර සිරගත කිරීම මේකට පිළිතුර නොවෙයි," ඇය පැවසීය.
1947 දී පිහිටුවන ලද ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය (IBA), ලොව පුරා රටවල නීතිඥ සංගම් සහ නීති ක්ෂේත්‍රයේ සේවයේ නිරත වූවන් නියෝජනය කරන ජාත්‍යන්තර ආයතනය වේ. එහි මානව හිමිකම් ආයතනය (IBAHRI), සාධාරණ නීතියේ ආධිපත්‍යය යටතේ මානව හිමිකම් ප්‍රවර්ධනය, ආරක්ෂා කිරීම සහ සහතික කිරීම මෙන්ම විනිසුරුවරුන්ගේ සහ නීතිඥ වෘත්තියේ ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස ක්‍රියාකරන ස්වාධීන, ජාත්‍යන්තර සංවිධානයකි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සිව් වසරක සිර දඬුවම් නියමවීමේ පසුබිම යටතේ අධිකරණයට අපහාස කිරීමේ වරද සහ ඒ සම්බන්ධයෙන් දිය යුතු දඬුවම සම්බන්ධයෙන් IBAHRI ආයතනයේ ස්ථාවරය කවරක් ද යන්න බීබීසී සිංහල සේවය හෙලනා කෙනඩි සාමිවරිය වෙත මතුකරන ලද ප්‍රශ්නයකි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වුවත්, වෙනත් රටක විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දැක්වීම ඉතා දුෂ්කර කරුණක් බව කියා සිටි සාමිවරිය, අධිකරණයට අපහාස කිරීම පිළිබඳව පියවර ගත යුතු අතර අධිකරණයට සහ අධිකරණයේ නීතියට ගරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළාය.
"ඒ වගේම අධිකරණ පද්ධතියට අපහාස කරන පුද්ගලයන් ගැන කටයුතු කරන්න විනිසුරුවන්ට බලය තිබිය යුතුයි," හෙලනා කෙනඩි සාමිවරිය එසේ කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
"ඒත් අධිකරණයට අපහාස කිරීම ගැන අවුරුදු ගණන් සිරගත කරන එක හරිම දුර්ලභ දෙයක්. නිසි කළමනාකරණයක් තියෙන අධිකරණයකට එවැන්නක් අවශ්‍ය නැහැ. මේ වගේ තත්ත්වයක් ගැන කටයුතු කරන්න දීර්ඝ සිර දඬුවම් දීම ගැන මගේ අවධානය පළ වෙනවා."
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත දෙවසරක සිර දඬුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාවක් ප්‍රදානය කරන ලද අතර, හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න ද එම චෝදනාව යටතේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබිණ.
ස්වාධීන විනිසුරුවරුන් !
වැඩිදුරටත් අදහස් දැක්වූ සාමිවරිය, "ආණ්ඩුව හෝ රාජ්‍යය විසින් නතුකර ගත නොහැකි ස්වාධීන විනිසුරුවරුන් සිටීම" කිසියම් රටක නීතියේ ආධිපත්‍යය සඳහා ඉතාමත් වැදගත් කරුණක් බව අවධාරණය කළාය.
"ඇතැම් අවස්ථාවල, ආණ්ඩුවලින් එල්ලවන පීඩනවලට එරෙහි වෙන්න සිදුවෙන බව දන්නා විනිසුරුවරුන් සිටීම, ස්වාධීන අධිකරණයක පැවැත්ම සහ නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්. එවැන්නක් පවත්වා ගැනීම විනිසුරුවන්ටත් ලොකු වගකීමක්."
ඉබාරි (IBAHRI) ආයතනය ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය දෙස කලක් ඉතා කලකිරීමෙන් යුතුව බලා සිටි බව පවසන එහි අධ්‍යක්ෂවරිය, "ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ මිනිසුන් ඉන්න රටක්. වෙන හැම රටකම වගේ නිදහස සහ ගැටුම්වලින් තොරව ජීවත්වෙන්න කැමති හොඳ මිනිසුන් ඉන්න රටක්. ඒ සඳහා ඔබට හොඳ ආයතන අවශ්‍යයි," යනුවෙන්ද සඳහන් කළාය.
ඒකාධිපතියන් සහ ශානි අබේසේකර !

ශ්‍රී ලංකාවේ සිටින කීර්තිමත්ම රහස් පරීක්ෂකවරයෙකු ලෙසින් සැලකෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දැක් වූ හෙලනා කෙනඩි සාමිවරිය අවධාරණය කළේ, ආණ්ඩුවක් කිසියම් පුද්ගලයෙකුට අකමැතිවීම හේතුවෙන් ඔහු/ඇය අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය.
"මම දන්නවා, ඉහළම තලයේ පුද්ගලයන්ට එරෙහි දූෂණ චෝදනා විභාග කළ රහස් පරීක්ෂකවරයෙක් ලංකාවේ බන්ධනාගාරයේ ඉන්නවා. අපරාධ චෝදනා යටතේ ඒ වගේ පුද්ගලයෙක් හදිසියේම අත්අඩංගුවට ගත්ත බව බාහිර කෙනෙකුට අහන්න ලැබුනම ඒක හරිම භයානක තත්ත්වයක්," ඇය සඳහන් කළාය.
සාමිවරිය පවසන්නේ, මෙය 'ඒකාධිපතියන්' සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතක් බවය.
"ලෝකේ පුරාම ඒකාධිපතියන් මේ දේ කරනවා."
කොරෝනාවෛරසය වැළඳී තිබියදීත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර දිගින් දිගටම අත්අඩංගුවේ රඳවා ගැනීම පිළිබඳව ඇම්නස්ටි ජාත්‍යන්තරය ඇතුළු සංවිධාන බරපතල අවධානය පළ කොට තිබිණ.
මේ අතර ඔහුට එරෙහිව ව්‍යාජ චෝදනාවක් ගොනුකරන මෙන් පොලිස් නිලධාරියෙකු ලෙසින් හඳුන්වාගත් පුද්ගලයෙක් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව ස්වීඩනයේ වෙසෙන චාමලී මදනායක පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.
-
වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳව සිය අවධානය පළ වී තිබෙන බවත් බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකු ද වන හෙලනා කෙනඩි කියා සිටියාය.
"ශ්‍රී ලංකාව තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ කියල මට ඒත්තු ගන්වනවා නම් මම කැමතියි," යනුවෙන් සඳහන් කළ කෙනඩි සාමිවරිය, "අත්අඩංගුවේ ඉන්න අය ඇතුළු හැම දෙනාගේම මානව හිමිකම්වලට ගරු කරන්න ඕනේ," යනුවෙන් අවධාරණය කළාය.
ස්කොට්ලන්ත ජාතික රාජ නීතිඥවරියක සහ බැරිස්ටර්වරියක වන හෙලනා කෙනඩි, වසර හතක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මෑන්ස්ෆීල්ඩ් කොලීජියේ විදුහල්පතිනිය ලෙස ද සේවය කළාය. ඇය සම්මානලාභී රූපවාහිනී නිවේදිකාවක ද වේ.
(බීබීසී)

