වෙනස් මාදිලියකින් මාධ්‍ය මර්දනය යළිත් - කරූ ජයසූරිය

වෙනස් මාදිලියකින් මාධ්‍ය මර්දනය යළිත් - කරූ ජයසූරිය

" මෑත යුගයේ අපි දකින්නේ වෙනත් මාධ්‍ය සංස්කෘතියක්. අද පහර දෙනවා වෙනුවට නිවාස වලට පැන මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන කොම්පියුටර් රැගෙන ගොස් හිරිහැර කරනවා. බොරු ප්‍රකාශ ගන්න බල කරනවා. තමන් කැමති දේශපාලකයින් ජයග්‍රහණය කිරීම සදහා අමූලික බොරු ගොතනවා. චරිත ඝාතනය කරනවා. ජාති, ආගම් බේද ඇති කරනවා. ආගම වෙළද භාණ්ඩයක් කරගන්නවා. මේ නිසා අපි ඉතිහාසයේ නොවූ විරූ  භයානක අභියෝගයකට රටක් වශයෙන් මුහුන දී සිටිනවා." යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය පවසයි.

ඔහු මෙසේ සඳහන් කර සිටියේ  සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍යවේදී සංගමය සංවිධානය කර තිබු ඝාතනය හෝ අතුරුදහන් කර ඇති මාධ්‍යවේදීන් සිහිපත් කිරීම වෙනුවෙන් පැවති අවස්ථාව අමතමින්ය.

එහිදී  සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය දැක්වූ අදහස් මෙසේය.

ජීවිත පරිත්‍යාග කළේ අප වෙනුවෙන් !   

අද අපි කරන්නේ ජාතික  යුතුකමක් ඉටුකිරීම. ඒ වෙනුවෙන් අද අප සිහිකරන කීර්තිමත් මාධ්‍යවේදීන් අප වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කර තිබෙනවා. අපට ලැබී ඇති වාර්තා අනුව 1981 සිට මාධ්‍යවේදීන් 117 ඝාතනය හෝ අතුරුදහන් වෙලා තිබෙනවා. ඒ වාගේම අසීමිත සංඛාවක්  විශාල පීඩන වලට ලක්ව තිබෙනවා. මේවා සිහිවන විට අපට විශාල මානසික වේදනාවක් ඇතිවෙනවා. ශීලාචාර රටක මෙවැනි කෲර, අමානුෂික ක්‍රියා ඇති විය හැකි ද?   අද ඔබත් මමත් මෙහි රැස්වෙලා තියෙන්නේ ඒ ශ්‍රේෂඨ පුද්ගලයන්ට උපහාරය, ගෞරවය පුද කරන්න.   එහෙම නැත්නම්  අපේ ණය ගෙවන්න.  මෙවැනි උපහාර උත්සවයක් අන්තිමට පැවැත් වූයේ 2015 වර්ෂයේ දී අවුරුදු 5කට පෙර.  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් එහි එකල කැදවුම් කරු සුනිල් ජයසේකර මහතා අද මෙතැන සිටිනවා.

එමෙන්ම (දිවංගත) සමන් වගආරච්චි මහතාත් මෙයට විශාල ශක්තියක් ලබා දුන්නා. සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය අද මෙම උත්සවය යෝජනා කර සංවිධානය කළ මාධ්‍යවේ දී කණ්ඩායමට අපගේ ස්තුතිය, ගෞරවය පුද කරනවා. ඒ වෙනුවෙන් ඔවුන් විශාල වෙහෙසක් දැරුවා, කැපවීම් කළා,  

මෙම උත්සවය යෝජනා කර සංවිධානය කළ සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍යවේදී සංගමයට මාගේ ගෞරව පූර්ව ස්තූතිය පුද කරනවා. කැඳවුම්කරු ප්‍රියන්ත ශ්‍රීලාල් මැතිතුමා ඇතුළු කණ්ඩායම ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් දැරුවා. කැපවීම් කළා. මාධ්‍ය නිදහස රැකගැනීමට ඔබට අනාගතයේ විශාල අභියෝග ඇති වෙයි. ඒ ගමනෙදි මා, ඔබත් සමඟ දිගටම රැඳී සිටිනවා.   අපගේ මාධ්‍යවේදීන් විදි දුක් ගැහැට අපි හොදට දන්නවා, එදා මාධ්‍යවේදීන්ට වෙඩි තැබූ විට නිවාස, කාර්යාල වෙඩි තබා, බෝම්බ ගැසූ විට, පහර දුන් විට අපි ක්‍රියාත්මක වූ ආකාරය සිහිවනවා. මෙහි සිටින සමහර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් එම ස්ථානයන් හිදී අපට හමු වී තිබෙනවා. එතුමන්ලා නැවතත් දැකීම අපට සතුටක්.

නිදහස් පිරිසිදු මාධ්‍යක් වෙනුවෙන් හෙළු ලේ !  

කුරුණෑගල කුඹුක්ගැටේ දී පහරදීමකට ලක් ව රෝහල් ගතවීමට සිදු වූ ධර්මසිරි බණ්ඩාරනායක මහතා ඇතුළු කණ්ඩායමේ කිහිප දෙනෙක් හා නිට්ටඹුවේ දී දරුණු පීඩනයට මුහුණදුන් කලාකරුවන් අද මෙහිදී හමුවුණා. ඒ අය ලේ හැලුවේ නිදහස් පිරිසිදු මාධ්‍යයක් වෙනුවෙන්.  

මෑත යුගයේ අපි දකින්නේ වෙනත් මාධ්‍ය සංස්කෘතියක්. අද පහර දෙනවා වෙනුවට නිවාස වලට පැන මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන කොම්පියුටර් රැගෙන ගොස් හිරිහැර කරනවා. බොරු ප්‍රකාශ ගන්න බල කරනවා. තමන් කැමති දේශපාලකයින් ජයග්‍රහණය කිරීම සදහා අමූලික බොරු ගොතනවා. චරිත ඝාතනය කරනවා. ජාති, ආගම් බේද ඇති කරනවා. ආගම වෙළද භාණ්ඩයක් කරගන්නවා. මේ නිසා අපි ඉතිහාසයේ නොවූ විරූ  භයානක අභියෝගයකට රටක් වශයෙන් මුහුන දී සිටිනවා. මෙහි ආදීනව ගෙවන්න වන්නේ ඊළග පරපුරට.   මධ්‍යය යනු ගෞරවනීය සේවයක්, ජනතාවට සත්‍ය තොරතුරු ලබා දීම අපක්ෂපාත මාධ්‍යයවේදියකුගේ යුතුකම. අද මාධ්‍යවේදීන්ට සමහර පුවත්පත් ප්‍රධානීන්ගේ විධාන වලටත් යටත්වෙන්න වෙනවා. බොරු මවන්න වෙනවා. ඇත්ත බොරු කරන්න වෙනවා.  

චරිත ඝාතන කරන්න වෙනවා. සමහර චරිත පුම්බන්න වෙනවා. මේකයි අපේ සමහර ආයතන වල මාධ්‍යය සංස්කෘතිය. මේ ළඟදීත්, ඊයේත්, නව ප්‍රවෘත්ති පත්‍ර එළි දැක්කා. අපි ඒ සියළු ආයතන වලට සුභ පතනවා. මාධ්‍යයේ උතුම් චර්‍යාධර්ම ආරක්ෂා කරමින් ඉදිරියට යාමට ශක්තිය ලැබේවායි පතනවා.

හෘද සාක්ෂියට එකඟව ඉටුකරන මාධ්‍ය මෙහෙවර !  

නමුත් හෘදසාක්ෂියට එකගව සිය මාධ්‍යය මෙහෙවර ඉටු කරන වැදගත් මාධ්‍යවේදීන් අප රටේ සිටීම වාසනාවක්. අපගේ අචාරය ඔවුනට පුද කරනවා. මේ අපි කථාකරන්නේ කරුණු දැනගෙන. අපි ඒ කුහක සංස්කෘතිය වෙනස් කළ යුතුයි. එයට නායකත්වය දීම මෙහි පැමිණ සිටින ඔබ අපගේ යුතුකමක්. ඇත්ත තොරතුරු දැන ගැනීම මූලික මිනිස් අයිතිවාසිකමක්. ඒවා අප ලබාගත්තේ ලෙහෙසියෙන් නොවෙයි.  20වැනි සංශෝධනය තුල එම අයිතිය කොතෙක් දුරට රැකේදැයි අපට හිතන්න බෑ. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.  

අවසාන වශයෙන් මෙම ගරු සභාවට එක් වැදගත් පැහැදිළි කිරීමක් කරන්නට අවශ්‍යයයි. අපි යුක්තිය, සත්‍ය හා සාධාරණය වෙනුවෙන් ගෞරවනීය සෝභිත හිමිපාණන් නායකත්වය දුන් දර්ශනය අනුව ඉදිරියට යනවා. අපි ස්වාධීන අපක්ෂපාතී සිවිල් සංවිධානයක්. අපිට, රජුන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් බිහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ රටේ ජනතාවගේ 20වැනි සංශෝධනයෙන් විනාශ කළ මූලික අයිතිවාසිකම් රැක දීමට අපට සිදුවනවා. එය එතරම් භයානකයි.  

අපි බලධාරීන්ට කරුණාවෙන් කියන්නේ එම අයිතිවාසිකම් අහිමි කරන්නට නැති කරන්නට උත්සාහ කරන්නට එපා. දැනටමත් නරක සලකුණු අපට පෙනෙනවා.   ඒ අයිතිය ආරක්ෂා කිරීමට ඊළග පරපුරට රැක දීමට, අපි නැගී සිටිනවා. පූර්ණ වශයෙන් කැපවනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න