අධ්‍යාපනයට ගහන ගේම : දැනුවත්ව කරන දෙයක් !

අධ්‍යාපනයට ගහන ගේම : දැනුවත්ව කරන දෙයක් !

අධ්‍යාපන සංස්ථාව ආශ්‍රිත අර්බුද සහ එය බාල්දුවීමට ඉඩහැරීම  නිදහස් අධ්‍යාපනය පිළිබඳව තිබෙන විශ්වසනීය බව සහ මිනිසුන් අතර තිබෙන හැඟීම දුර්වල කිරීමේ දැනුවත් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බව ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඒ තුළින් පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ සැලසෙන බවත් මන්ත්‍රීවරිය සඳහන් කල අතර ඒ ජාතික ජනබලවේගය අද (27) සංවිධානය කර තිබු මාධ්‍ය හමුවක් අමතමින්ය.

එහිදී මන්ත්‍රීනි, හරිනි අමරසූරිය පලකළ අදහස් පහත දැක්වෙයි.

අධ්‍යාපනය කියන්නේ අපේ ජීවිතයේ, අපේ සමාජයේ ඉතාමත්ම වැදගත්ම කොටසක්. ඒක මේ තරම් අවුල්වීමට ඉඩ හැරීම ගැන රජයට ප්‍රධාන චෝදනාව එල්ල වෙනවා. මේ අර්බුද නිසා අපේ අධ්‍යාපනයට තිබුණු පිළිගැනීම බාල්දුවෙමින් යනවා. නිදහස් අධ්‍යාපනයේ ප්‍රමිතීන් සහ පිළිගැනීම පිළිබඳව සමාජය තුළ ලොකු අවිශ්වාසයක් ඇතිවෙමින් තිබෙනවා. නිදහස් අධ්‍යාපන ක්‍රමය දුර්වල කිරීම අහිංසක දෙයක් නොවෙයි. මේ තුළින් පෞද්ගලික අධ්‍යාපනය සඳහා පාර කපන එකත් සිද්ධ වෙනවා. දෙමාපියන් ඇතුළු සමාජය මේ සඳහා පෞද්ගලිකව විසඳුම් සෙවිය යුතුයි කියන තැනට තල්ලු කරනවා. අධ්‍යාපනය ලබන කාලය වැඩිවීම විශ්වවිද්‍යාලවල වරදකින් සිදුවෙන බවට සමාජීය මතයක් තිබෙනවා. ශිෂ්‍යයන් නිතර අරගල කරන නිසා වැඩි කාලයක් වැයවන බව නැත්නම් ආචාර්යවරුන් වැඩි කාලයක් ගන්නා බවට මතයක් සමාජය තුළ පතුරවමින් යනවා. 

මේවා කිසිම පදනමක් නැතිව ඇතිවෙන අර්බුද නොවෙයි. නිදහස් අධ්‍යාපනය පිළිබඳව තිබෙන විශ්වසනීය බව සහ මිනිසුන් අතර තිබෙන හැඟීම දුර්වල කිරීමේ දැනුවත් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. ඒ තුළින් පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ සැලසෙනවා. නිදහස් අධ්‍යාපනය කියන්නේ අපේ රටේ ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගත් දෙයක්. ඒ අධ්‍යාපනය බාල්දු කිරීම අපි කිසිසේත් පිළිගන්නේ නැහැ. විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ ගැටලු මේ අවුරුද්දේ ඇතිවුණු ඒවා නොවෙයි. ඒ පිටුපස විශාල අර්බුදයක් තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ බව නිතර නිතර අවධාරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් නොපැවතීම ගැන අවුරුදු ගණනක් ප්‍රශ්න කරල තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ළඟවත් අවශ්‍ය කරන තොරතුරු නැහැ. අමාත්‍යාංශ ලේකම්වරයා හෝ ඇමතිවරයා අතවත් මේ තොරතුරු නැහැ. අපි පාර්ලිමේන්තුව තුළත් දිගින් දිගටම මීට අදාළ ප්‍රශ්න කිරීම් කර තිබෙනවා. ලිඛිතවත් තොරතුරු ඉල්ලා තිබෙනවා. තාම තොරතුරු ලැබිල නැහැ. 

මේ පිටුපස අපි දකින දේට වඩා විශාල ප්‍රශ්නයක් තිබෙන බව පැහැදිලියි. මේක මේ අවුරුද්දේ ඇතිවුණු ප්‍රශ්නයක් නොවෙයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධාන වගකීම ශිෂ්‍යයන් බඳවා ගැනීමයි. ඒක විනිවිදභාවයකින් තොරව සිද්ධවීම බරපතළ ගැටලුවක්.

කොවිඩ් වසංගතය කළමනාකරණය පිළිබඳව තිබෙන අවුල අධ්‍යාපනය තුළින් හොඳටම මතුවෙනවා. රට නවත්වන්න බෑ කියලා ආණ්ඩුව කියනවා. නමුත් කොවිඩ් තත්වය මඟහැරලා යන්න බැහැ. සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරන්න කියල නියෝග කළාට කරන්නේ කොහොමද? පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කරනවා. නමුත් විශ්වවිද්‍යාලවල නම් ප්‍රමාණවත් නේවාසික පහසුකම් තිබෙනවාද? සෞඛ්‍ය ආරක්ෂාව පෞද්ගලික නේවාසිකාගාරවල තිබෙනවාද? විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල තිබෙනවාද? සෞඛ්‍යාරක්ෂිත ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවාද? බස්වල ගමන් ගන්නා මගීන් සීමා කරනවා කියලා ගාස්තුවත් වැඩි කළා. නමුත් යථාර්ථය වී තිබෙන්නේ බස්වල ගෙනයන මගීන් සංඛ්‍යාව සීමා කර නැති බවක්. ඒ නිසා මිනිසුන් ලොකු අවධානමක් අරගෙන සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යන්න සිද්ධ වෙලා. රට විවෘත කරන්න ආණ්ඩුව තීරණ ගත්තත් අවදානමට මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ සමස්ත ජනතාවට. අවදානම අරගෙන කොවිඩ් ආසාදනයට ලක්වුණොත් මොකද වෙන්නේ. කොවිඩ් වැළඳෙයි කියලා සාමාන්‍ය මිනිසුන් ලොකු බයකින් ඉන්නේ. ප්‍රතිකාර ලබාගැනීම, නිරෝධායන මධ්‍යස්ථාවනවල තත්වයන් ගැන විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැටලුවලටත් උත්තර නොදී අවදානම මිනිසුන් මතට දාලා තියෙන්නේ.

කොවිඩ් වැළඳුනොත් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන තැනට ආකල්ප හදල තියෙනවා. මේ සියලු තත්වයන්ට පසුබිම හදලා ආණ්ඩුව ප්‍රකාශ නිකුත් කරමින්, පැත්තකට වෙලා ඉන්නවා. කොවිඩ්වලින් වැළකීමේ ක්‍රියාමාර්ග මිනිසුන්ට පෞද්ගලිකව ගන්න ඉඩ හැරලා තිබෙන්නේ. ආණ්ඩුව තමන්ගේ සියලු වගකීම්වලින් ඉවත් වෙලා ඉන්න පසුබිමක කොවිඩ් ආසාදිතයෙක් වුණොත් සමාජයත් ප්‍රතික්ෂේප කරනවා නම්, ඛේදනීය තත්වයක් තියෙන්නේ. 

තව පැත්තකින් අපේ අධ්‍යාපනයේ තිබෙන විශාල විෂමතාවලට යම් උත්තරයක් හැටියට පහේ ශිෂ්‍යත්වය හඳුන්වා දී තිබෙනවා. වරප්‍රසාද නොලත් දක්ෂ දරුවෙකුට වැඩිදුර අධ්‍යාපනයක් සඳහා ඉඩ සලසාදී තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන්. මේ විභාගයේ අඩුපාඩුකම් ගොඩක් තිබුණත් පවතින අසමානතාවට යම්කිසි උත්තරයක් ශිෂ්‍යත්වයෙන් ලැබී තිබෙනවා. ශිෂ්‍යත්ව හැටියට ලබාදෙන මුදලට වඩා වෙන පාසලකට යන්න තිබෙන අවස්ථාව ඉතාම වැදගත්. නමුත් මේවර කඩඉම් ලකුණු 194 තරම් විශාල ඉහළ අගයකට ගිහින් තියෙනවා. ඒ නිසා බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු සුන්වෙලා. ලකුණු 160, 170 ගන්න දරුවෝ දක්ෂ නොවෙයිද? මුළු අධ්‍යාපන ක්‍රමය පිළිබඳවම තිබෙන විශ්වාසය මේව නිසා බිඳ වැටිලා. වරප්‍රසාද අඩුම පසුබිමක ඉන්න දරුවෙකුට වුණත් දියුණු වෙන්න තිබෙන එකම පසුබිම අධ්‍යාපනය කියන මතයත් සියලුම දෙමව්පියෝ අතර තිබෙනවා. අධ්‍යාපනය මේ ආකාරයෙන් අර්බුදවලට හෙළිමෙන් ජනතාව අතර තිබෙන ඒ බලාපොරොත්තුවත් උදුරා ගැනීමක් කරන්නේ. දරුවෙකුගේ අනාගතය ගැන තිබෙන එකම බලාපොරොත්තුවත් විනාශ කරමින් යන්නේ. මේක ඉතාමත් බරපතළ ප්‍රශ්නයක්. කොවිඩ් නිසා ඇතිවුණු අර්බුදයක් නොවෙයි. අවුරුදු ගණනක් තිස්සේ අධ්‍යාපනයට නිසි සැලකීමක් නොකිරීමේ ප්‍රතිඵලයක්. අවශ්‍ය මුදල් වෙන්නොකිරීම, අදාළ ආයතන දුර්වල වෙන්න ඉඩ හැරීම තුළින් මේ අර්බුදය මතුවෙලා තිබෙනවා. අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ අධ්‍යාපනයේ තිබෙන මේ රටේ වැදගත්ම ක්ෂේත්‍රය මේ විදිහට විනාශ වෙන්න ඉඩ නොදෙන ලෙසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න