චීනය යළිත් වරක් සිය භූ ගෝලීය න්‍යාය පත්‍රය මත පිහිටමින් කොරෝනා එන්නත හරහා ශ්‍රී ලංකාව හිරකිරීමේ සූදානමක් පෙන්නුම් කරයි.
ඒ චීනයේ Sinopharm ආයතනය නිෂ්පාදනය කරන කොරෝනා එන්නත් ලක්ෂ 3ක් ලබාදීමට සූදානම් බව පවසමින් කොළඹ පිහිටි මෙරට චීන තානාපති කාර්යාලය හරහා නිවේදනය කරමින්ය.
චීන තානාපති කාර්යාලය මේ නිවේදනය නිකුත්කර ඇත්තේ Oxford-AstraZeneca එන්නත ඉන්දියාවෙන් මෙරටට ලැබීමට පැය 24 කට ආසන්න කාලයක් තිබියදීය. Oxford-AstraZeneca කොරෝනා මර්දන එන්නත මෙරටට ගෙන්වන්නේ ඊට මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිසින් අවශ්‍ය අනුමැතිය ලබාදී ඇති පසුබිමක වන අතර ඒ බව පසුගිය ජනවාරි 21 වනදා කොළඹ පැවති උත්සවයකදී ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රසිද්ධියේ සඳහන් කළේය.
චීන එන්නතට තවම අවසර නෑ !
නමුත් චීන තානාපති කාර්යාලය නිවේදනය කර ඇති චීනයේ Sinopharm ආයතනය නිෂ්පාදනය කරන කොරෝනා එන්නත සඳහා මෙතෙක් මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර නිකුත්කර නැත.
මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ඒ බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනද ප්‍රකාශයක් සිදුකර ඇති අතර ඒ චීනයේ Sinopharm ආයතනය නිෂ්පාදනය කරන එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසරය අපේක්ෂාවෙන් තවමත් ලැයිස්තු ගතව තිබෙන බවටය.
ලැයිස්තුගතව අවසර අපේක්ෂාවෙන් ඇති සියලු ඖෂධ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය හිමිවෙනවා කියා දෙයක් නොමැති අතර කිසියම් ඖෂධයක් මෙරට තුළට ගෙන්වීමට අධිකාරිය අවසර දෙන්නේ පරීක්ෂණ ගණනාවක් සිදුකිරීමෙන් පසුව බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ පැහැදිලි කිරීම වෙයි.
පැනලා දෙන්නේ ඉන්දියාවට ගේමටද ? විචාරකයන් අසයි !
ඒ පසුබිමේ ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධ විචාරකයන් පවසන්නේ කොළඹ පිහිටි තානාපති කාර්යාලය හරහා චීනය සිදුකර ඇති ප්‍රසිද්ධ දැනුම්දීම තුළ Sinopharm ආයතනය නිෂ්පාදනය කරන කොරෝනා එන්නත ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයට පිළිගැන්වීමක් සිදුකර ඇති බවක් නිරීක්ෂණය වන බවයි.
එසේම එය ඉන්දියාවෙන් සපයන ඖෂධ තොගයට දැක්වූ ක්ෂණික ප්‍රතිචාරයක් නැතිනම් තකට තක කිරීමක් ලෙස සැලකිය හැකි බවත් දේශපාලන විචාරක අදහස වී තිබේ.
කෙසේ වුවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ ආණ්ඩුව මේ මොහොතේදී රාජතාන්ත්‍රික ගැට වලට හසුනොවී සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුව ඇති බවය.
සබැඳි පුවත :
ඉන්දියාවේ එන්නත් ලක්ෂ 5 හෙට එයි : ලක්ෂ 3ක් දෙන්න චීනයත් සූදානම් !

