සීනිවලට දුන්න ගේම ෆාම් ඔයිල්වලටත් : වෙළෙඳපොළේ ගැසට් භීතියක් !

සීනිවලට දුන්න ගේම ෆාම් ඔයිල්වලටත් : වෙළෙඳපොළේ ගැසට් භීතියක් !

ආනයනික ෆාම් ඔයිල් සහ අනුශංගික දෑ ආනයනය තහනම් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත්කිරීමට  ආණ්ඩුව සූදානම් වන බව වාර්තා වෙයි.

මේ සම්බන්ධ කරුණු අනාවරණය වී ඇත්තේ පසුගියදා මුදල් අමාත්‍යාංශය නිලධාරීන් සහ ෆාම් ඔයිල් ආශ්‍රිත ව්‍යාපාරිකයන් අතර හමුවකදීය. මේ වන විට ආනයනය කරන ෆාම් ඔයිල් ඇතුළු අඅනුශංගික දෑ කිලෝවක් සඳහා රුපියල් 275.00 ක බදු මුදලක් අයකරයි.

එසේ ඉහළ බදු මුදලක් අය කරන්නේ ජනතාව පොල්තෙල් සඳහා යොමුකිරීමට බව රජයේ අදහසය. ඒ අනුව පිරිපහදු නොකළ පොල්තෙල් / පිසින තෙල් සසඳහා  අයකරන්නේ කිලෝවකට රුපියල් 125.00 ක බද්දකි.

කාටකාටත් පොදු ප්‍රශ්නයක් !

පොල්තෙල් ඉවුම් පිවුම් කටයුතු සඳහා යොදාගත හැකිය. එහෙත් දැනට ලංකාවේ මාගරින් , මේද වර්ග, ice cream , බිස්කට් ආදී නිශ්පාදන සඳහා  අමුද්‍රව්‍ය ලෙස පාවිච්චි කරන්නේ ෆාම් ඔයිල් ය.  රජය දිගින් දිගටම මෙම නිෂ්පාදන සඳහා පොල් තෙල් පාවිච්චි කිරීමට බලකර සිටියත් ලෝකයේත් ඉහත නිෂ්පාදන සඳහා භාවිතා කරන්නේ ෆාම් ඔයිල් ය.

කෙසේ වුවත් පොල්තෙල් ආනයනකරුවන්  පමණක් නොව මේ වන විට ෆාම් ඔයිල් ආනයනකරුවන් පොදු ප්‍රශ්නයකට මුහුණ දී සිටින්නේ සීනි බදු සඳහා නිකුත් කළ ගැසට් නිවේදන ආකාරයට තම කර්මාන්තය සඳහා ද ගැසට් නිවේදන නිකුත් වේ දැයි යන සැක සංකාව  පවතින නිසාය.

නැතිනම් ෆාම් ඔයිල් හෝ පොල් තෙල් ආනයනය  ආණ්ඩුවේ ගජමිතුරු සමාගමක ඒකාධිකාරයකට යටත් කර දී අනිත් කර්මාන්තකරුවන් අතු ගා දමයි ද  යන බියක් පවතී.

විමල්ගෙන් කොප්පරා බලකායක් !

මේ අතරතුර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පොල් තෙල් / පිසින තෙල්  සඳහා වන තීරු බදු ඉහළ නංවා ගැනීමේ උත්සාහයක නිරතවන බව ඒ ආශ්‍රිත  කර්මාන්තකරුවන් පවසයි.

වාර්තා වන ආකාරයට ඒ පොල් තෙල් ආනයනය දුර්වල කිරීම සඳහාය.

ඒ තුල තෝරාගත් පිරිසකට කොප්පරා ආනයනය  කිරීමට  බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීමට යන බවත් ඒ හරහා නව කොප්පරා ව්‍යාපාරික ප්‍රජාවක් නිර්මාණය කිරීමේ උත්සාහයක් පවතින බවත් ඔවුන් පවසයි.

එහි මූලික පියවරක් වශයෙන් මීට මාසෙකට පමණ පෙර කොප්පරා ටොන් 13000  ආනයනය කිරීමට රජයේ BCC ආයතනයට අවසර ලබාදී ඇති නමුත් ඒ සඳහා  ඔවුන්ට දැනුමක් සහ මූල්‍ය ශක්තියක් නැති බවත් එබැවින් මේ වන විට එම ව්‍යාපෘතිය අඩාල  වී ඇති බවත්  වෙළෙඳපොළ ආරංචි මාර්ග හරහා  දැනගන්නට ඇත.

පාරිභෝගිකයන් අමාරුවේ !

මේ අතර වෙළෙඳපොළ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරියේදී පොල් තෙල් / පිසින තෙල් මෙන්ම ෆාම් ඔයිල් ආශ්‍රිත සියළු නිශ්පාදන මිල ඉහළ යාමේ අනතුරක් පවතින බවය.

එසේ වුවහොත් බේකරි නිශ්පාදන ඇතුලු භාණ්ඩ මිල ඉහළ යාමක් සිදුව මිනිසුන්ගේ ජීවන බර තවත් උග්‍ර කරනු ඇති බවත් එම ආරංචි මාර්ග අවධාරණය කරයි.

මේ සම්බන්ධව මුදල් අමාත්‍යංශ පාර්ශ්වයෙන් සිදුකළ  විමසීමේදී ඔවුන් සඳහන් කර සිටියේ  ආනයන දුර්වල  කිරිමේ ප්‍රතිපත්තියකට රජය ගමන් කර සිටින බවයි .

ඒ මේ වන විටත් ක්ෂය වෙමින් පවතින ඩොලර්  සංචිතය ප්‍රවේශම් කර ගැනීමට බවත් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න